සුපුන් ළහිරු ප්‍රකාශ් විසිනි 

“ගල්ඔය ව්‍යාපාරය අපේ පාරම්පරික බිම් සී සීකඩ කලා දැන් පිටරට කොම්පැණියක් අපිව පාරට ඇදලා දාන්න යනවා අපි මේ පොළොවේ මුල් උරැමක්කාරයෝ අපේ අක්මුල් තියෙන්නේ මේ මහා කැළයේ.” 

රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩලාගේ සුදාවන්නිලා ඇත්තන් හට තමන්ගේ වරිගයේ අතීත මුතුන් මිත්තන් ඔබ මොබ ඇවිදගිය ඌව බිම්තැන්නේ මහා වන ප්‍රවාහයේ අනාගතය පිළිබඳව වූ අවිනිශ්චිත බවකින් පැවසුවේය.

ඔවුන්ගේ පරම්පරාව මහා පාරට ඇද දැමීමට මේ වනවිට ආණ්ඩුවේ නොමද සහාය ලබන විදේශීය සමාගමක් කැස කවමින් සිටින්නේ උක් වගා ව්‍යාපෘතියක් පාදක කරගනිමිනි. ඒ සඳහා ඩොලර් කුට්ටි වලට යටවූ දේශීය හවුල්කරා ඒජන්තවරයෙකු මෙන්ම මෙරට ජනතාවගේ බදු මුදලෙන් යැපෙන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියද තම සක්‍රීය දායකත්වය සැපයීම ජුගුප්සාජනකය බවද ඔහු විසින් පැවසුවේය.

අම්පාර, මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක තුනට අයත් වනාන්තර, පුරාවිද්‍යා භූමි සහ ස්වදේශීය ජනතාවගේ පාරම්පරික වාසභූමි ඇතුළු ඉඩම් අක්කර 62500ක් උක් වගා ව්‍යාපෘතියක් සඳහා විදේශීය සමාගමකට පැවරීමට මේ වනවිට සියලු සැළසුම් සකස්කර හමාරය. තවද ඊට අදාල උක් කර්මාන්තශාලාව ඉදි කිරීමට බිබිල සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ඇකිරියන්කුඹුර හා දෙහිගම යන ග්‍රාම සේවා වසම් වල පවුල් 169ක් පමණ ජීවත්වූ පාරම්පරික වාසභූමි අක්කර 575ක් සමතලා කර ශුද්ධ-බුද්ද කිරීම මේ වන විට ලහි ලහියේ සිදුවෙමින් පවතියි. 

ගෙපැලක් විනාශ කර ඇති ආකාරය. ඡායාරූපය: සජීව චාමිකර 

පසුගිය දිනවල ඒ වෙනුවෙන් ගොවි ජනතාවගේ පාරම්පරික වගා බිම් වනසා දමමින් ගොවීන් පළවා හැරීමට කටයුතු කෙරුණි. ව්‍යාපෘතියේ දේශීය හවුල්කාර සමාගම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ, සහ ශ්‍රී ලංකා පොලීසියේ අවිගත් ආරක්ෂකයන් පිරිවරාගෙන පැමිණ විදේශීය කොම්පැණියක් වෙනුවෙන් තම ගම-බිම්, ඉඩ-කඩම් පැහැරගන්නා විට අසරණවූ ජනතාවට ඒ දුක කියන්නට කිසිවෙකු ඉතිරිවී සිටියේ නැත.

බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද මිරිහන-දෙහිගම ප්‍රදේශය මුල්කර ගනිමින් අවුරුදු 17ක් තිස්සේ ඇරඹීමට උත්සාහ දරන “බිබිල සීනි සංවර්ධන ව්‍යාපෘතිය” මෙතෙක් අතරමග නැවතී ඇත්තේ ඒ කෙරෙහි එල්ලවී ඇති බලවත් මහජන විරෝධය නිසාවෙනි. 2006 වසරේ එංගලන්ත බුකර්ටෙට් සමාගමත්, පසුව මෙරට අයි.එම්.එස්. හෝල්ඩින් සමාගම සමග සම්බන්ධව තවත් විදේශීය සමාගමකුත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සහ කලත් එය අසාර්ථක විය. වර්ථමානයේ මෙම ව්‍යාපෘතියට ආයෝජනය කිරීමට එකග වී ඇත්තේ සිංගප්පූරුවේ පෞද්ගලික සමාගමකි. 

යෝජිත සීනි සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවිය හැකි පාරිසරික හානිය හා සමාජ බලපෑම ප්‍රථමයෙන් අනාවරණය කරන ලද්දේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත් යෝජිත භූමිය පුරාවිද්‍යාත්මකව වැදගත් බව සාක්ෂි සහිතවම පෙන්වා දී තිබීම නිසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බාධා ඇති විය. මෙම තත්ත්වය වලක්වාගැනීම සඳහා ආණ්ඩුව සිදු කළේ 1979 අංක 23 දරණ ශ්‍රී ලංකා මහවැලි අධිකාරි පනතේ 3(1) වගන්තිය ප්‍රකාරව අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය හා පදියතලාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 2000.05.04 දිනැති අංක 1130/13 දරණ ගැසට් පත්‍රය මගින් හා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය 2010.09.02 දිනැති අංක 1130/41 දරණ ගැසට් පත්‍රය මගින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදවාගෙන මහවැලි බල ප්‍රදේශයන් ලෙස නම් කිරීමය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තමන්ට කන්නට ඕනෑ වූ විට කබරගොයාත් තලගොයා කරගන්නේ එසේය.

නමුත් බෝඩ් ලෑල්ල වෙනස් කලද ආණ්ඩුවේ දෙපාර්තමේන්තු විසින්ම පෙන්වාදී ඇති ගැටළු නිරාකරණය වනවාද යන්න විමසිය යුතුව ඇත.

ඩෝසර් යන්ත්‍ර යොදා ජනතාවගේ ඉඩම් වලින් ඔවුන් පලවා හැරීමට කටයුතු කරන ආකාරය. ඡායාරූපය: නයනජීව බණ්ඩාර 

යෝජිත උක් වගා ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවන පාරිසරික බලපෑම පිළිබඳව අදහස් දක්වමින් ජේෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර මහතා ප්‍රකාශ කළේ උක් වගා ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට අපේක්ෂිත අක්කර 65000ක භූමිය ප්‍රධාන වශයෙන් මෙරටට අනන්‍ය ජෛව කලාප හතරින් එකක් වූ ඌව පතන්බිම් වලට අයත්වන බවය. මෙම කලාපය විශාල ජෛව විවිධත්වයක් සහිත වන අලි සුලභව ගැවසෙන සහ ඔවුන්ගේ සංචරණ මාර්ග රැසක් වැටි ඇති එමෙන්ම ඉතා ජලසංවේදී  කලාපයක් බවය. 

තවද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙන්නේද නීති විරෝධි ආකාරයට බව හෙතෙම අවධාරණය කරයි. අදාල සමාගම නිවැරදි ආකාරයට පරිසර බලපෑම් තක්සේරැවක් සිදුකර නොමැති බවත්, ඉඩම් අත්පත්කර ගැනිම සිදුකරන්නේද බලහත්කාරය යොදවමින් බවත් ඔහු වැඩි දුරටත් පැවසීය. 

මෙම කලාපයේ දශක ගණනාවක් තිස්සේ සාම්ප්‍රදායික හේන් වගාව සිදුවන බව පෙන්වාදුන් පරිසරවේදී සජීව චාමිකර මහතා සඳහන් කළේ එසේ හේන් වගා කරන ගොවීන් විශාල සංඛ්‍යාවක් සිටින බැවින් ඔවුන් මෙම භූමියෙන් ඉවත්කර විකල්ප ඉඩම් ලබාදීමට සිදුවුවහොත් අලුතින් කැලෑ එළිපෙහෙළි කිරීමට සිදුවන බවය. එය තවත් විනාශයක මූලාරම්භය විය හැකි බැවින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් ඇතිවිය හැකි පාරිසරික විනාශය අති විශාලය.

2010 – 2019 කාලසීමාව තුල ශ්‍රී ලංකාවේ වාර්තාවූ අලි-මිනිස් ගැටුම් සම්න්ධයෙන් සිදුකළ විද්‍යාත්මක අධ්‍යනයක් මගින් පර්යේෂකයින් අනාවරණය කළේ ලොව අලි-මිනිස් ගැටුම් හේතුවෙන් වැඩිම අලි ඇතුන් ප්‍රමාණයක් වාර්ෂිකව ඝාතනය වන රට ශ්‍රී ලංකාව බවය. එසේම මෙම නිරන්තර අරගලයට ගොදුරුවන දෙවැනි වැඩිම මිනිසුන් සංඛ්‍යාව වාර්තාවන්නේද ශ්‍රී ලංකාවෙනි. අධ්‍යනයට ලක්වූ කාලසීමාව තුල අලි-මිනිස් ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වැඩිම දේපොළ හානි සංඛ්‍යාවක් වාර්තාවූ දිස්ත්‍රික්කය අම්පාර දිස්ත්‍රික්කයි. අලි-මිනිස් මරණ සහ මිනිසුන්ට සිදුවූ ශාරීරික හානි වැඩිවශයෙන් වාර්තාවූ දිස්ත්‍රික්ක අතර තුන්වැනි ස්ථානය හිමිවන්නේද අම්පාර දිස්ත්‍රික්කයටමය. එබැවින් යෝජිත උක් වගා ව්‍යාපෘතිය මගින් අලි ඇතුන්ගේ වාසභූමි අහිමිවීම සහ සැරුම් මාවත් අවහිරවීම ඉදිරියේදී මෙම ප්‍රදේශවල අලි-මිනිස් ගැටුම උග්‍ර අතට හැරීමට ප්‍රභල හේතුවක් වන බව අවධාරණය කළ යුතුය.      

ඩෝසර් කිරීම සුදානම්වන වගාබිමක්. ඡායාරූපය: සජීව චාමිකර 

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැනුම්දීම මත, ඌව පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂකගේ උපදෙස් අනුව දියතලාව ප්‍රාදේශීය කාර්යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ සහකාර එම්. රංජිත් කුමාර මහතාගේ මූලිකත්වයෙන් ඇකිරියන්කුඹුර, දෙහිගම සීනි කර්මාන්තශාලාව ඉදිකිරිමට යෝජිත භූමියේ 2007 ඔක්තෝබර් මස 09, 10 හා 11 තෙදින තුල සිදුකෙරුණු පුරාවිද්‍යා ගවේෂණය මගින් හෙළිදරව්ව වුණු කරුණු විමතිය දනවන සුළුය. ඊට අදාල පර්යේෂණ වාර්ථාවට අනුව යෝජිත කර්මාන්තශාලා භූමියේ මැදගොඩ නම් ස්ථානයේ කටාරම් හා ගල් පඩිපෙළවල් සහිත ගල් ලෙන් රැසක්ද, අවශේෂ වු ඉපැරණි ගොඩනැගිලි නටඔුන් රැසක්ද නිරීක්ෂණය කර තිබේ. එමෙන්ම එම ගොඩනැගිලි අවශේෂයන්ට වයඹ දිශාවෙන් මීටර් 400ක් පමණ දුරින් පැරණි ස්ථුපයක කොටස් හා වාරි කර්මාන්තයක ලක්ෂණ හමුවන බවත් මෙම වාර්ථාව මගින් අනාවරණය විය. ඊට අමතරව වැවට ඊශාන දිසාවෙන් මිටර් 100ක් පමණ දුරින් පැරණි සොහොන් කොත් රැසක් හමුවන බවත් වෙනත් පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් නටඹුන් තැනින් තැන විසිර පවතින බවත් වැඩි දුරටත් හෙළිදරව් විය. ඒ අනුව යෝජිත සීනි කර්මාන්තශාලා භූමිය පුරා පුරාවිද්‍යාත්මකව වටිනා ස්ථාන රැසක් දක්නට ඇති බවත්, වඩාත් සියුම් ගවේෂණයකට ලක්කලහොත් තවත් වටිනා පුරාවිද්‍යාත්මක ස්මාරක හා ප්‍රාග් ඓතිහාසික මෙවලම් සොයාගැනීමට හැකිවනු ඇති බවත් වාර්ථාකර තිබුණි.

තවද නොබෝදා මෙම භූමියේ ගවේෂණයකට එක් වෙමින් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසුවේ මෙතෙක් ගවේෂණයට  ලක්නොවු  පුරාවිද්‍යා භුමියක් මේ ආකාරයෙන් උක් කර්මාන්ත ශාලාවක් ඇරඹීමට යොදාගැනීමට දරන උත්සහය සියලු දෙනා එක්ව පරාජය කල යුතු බවය. තම ගවේෂණයේදී යෝජිත කර්මාන්තශාලා ඉදිකිරීම් භූමියේ පමණක් පුරාවිද්‍යාත්මක වටිනාකමි සහිත ස්ථාන 10ක් පමණ නිරික්ෂණය කළ බව හෙතෙම පැවසීය. ඉතා සමීපව පිහිටා තිබෙන එම ස්ථාන සලකා බලන විට මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත සමස්ථ කලාපයේම, ප්‍රාග් ඵෛතිහාසික ස්ථාන හැර මෙවැනි ස්ථාන දහස්ගනනක් තිබිය හැකි බව හෙතෙම අවධාරණය කළේය. ඒ නිසා ආණ්ඩුව මෙහි උක් වගා ව්‍යාපෘතියක් ආරම්භකර සිදුකිරීමට යන විනාශය පරාජයකල යුතු බවද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය. මෙම ගවේෂණ  චාරිකාවට සම්බන්ධවූ කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජවිද්‍යා පිඨයේ හිටපු පීඨාධිපති ජේෂ්ඨ මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ මෙම ප්‍රදේශය මෙරට ගිණිකොණ දිග ආර්ය ජනාවාසවල ප්‍රධාන කලාපයක් බව මෙම සංචාරයේදී හමුවූ පුරාවිද්‍යා සාධක මගින්ද සනාථවන බවය.

කිසිවෙකුටත් කරදරයක් හිංසාවක් නොමැතිව, බොහෝ උපේක්ෂාවෙන් තමන්ගේ සරළ අල්පේච්ඡ ජීවිත ගැටගසාගත් මෙම ප්‍රදේශවල මිනිස්සුන් තමන්ගේ පාරම්පරික වාසභූමි වලින් බල්ලන් බළල්ලුන් මෙන් එලවා දැමීමට කටයුතු කිරීම, ඔවුන් බොහොම ආයාසයෙන් වගාකරගත් බවභෝග ඩොසර් කිරීම කුමන අවාසනාවක පෙර නිමිතිද? එබැවින් අද දවසේ ඔවුන්ට අත්වී ඇති ඉරණම ආපස්සට හැරවීමට සියළු සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ පාරිසර සංරක්ෂනවේදීන් එක් බලවේගයකට එකතු විය යුතු නොවේද?