තරුෂි පිටිගල විසිනි.

ශ්‍රී ලංකාවේ බටහිර මුහුදේ කොළඹ වරායට නාවික සැතපුම් 9.5 දුරින් නවතා ඇති X-press Pearl නෞකාවේ ඇති වූ හදිසි ගිනි ගැනීම සහ පිපිරීම හේතුවෙන් එම නැවෙහි තිබු බහාලුම් පෙට්ටි දහයක් පමණ මැයි 25 දින මුහුදට වැටුනු අතර අද (මැයි 26) උදෑසන වන විට එහි අඩංගු රසායනික ද්‍රව්‍ය ඇති ඇසුරුම් සහ විනාශ වූ ඇසුරුම් වලින් පිටතට පැමිණි රසායනික ද්‍රව්‍ය බොහොමයක් මිගමුව සහ කොළඔ ආශ්‍රිත වෙරල කලාපයට ගොඩ ගසා තිබේ. මෙලෙස වෙරළට ගොඩ ගසා ඇති රසායනික ද්‍රව්‍ය හා බහාලුම් අතර ප්ලාස්ටික් හා පොලිතින් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යයක්වන පොලිප්‍රොපලින් අංශු විශාල ප්‍රමාණයක් වේ. මෙම පොලිප්‍රොපලින් අංශු ප්‍රථමික ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු විශේෂයක් ලෙස සැලකිය හැකිය. මෙලෙස පොලිප්‍රොපලින් අංශු  ඉතා අධික ප්‍රමාණ වලින් එකවර සාගර ජලයට නිකුත් වීමෙන් සිදුවන පාරිසරික හානිය තක්සේරුකළ  කල නොහැක.

සාගර ජලය තුල ඇති ක්ෂුද්‍ර අංශු වර්තමානයේ විශාල ගැටළුවක්ව පවතින අවස්ථාවක මෙලෙස ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ඉතා අධික ප්‍රමාණ වලින් එකවර සාගර ජලයට නිකුත් වීම ඇවිලෙන ගින්නකට පිදුරු දැමීම වැනි තත්වයක්වන  අතර මෙමඟින් සිදුවිය හැකි පාරිසරික හානිය ඉතා විශාලයි සහ දීර්ඝ කාලීන වේ.

මිනිස් පරිභෝජනයෙන් පසු හෝ වෙනත් ආකාරයකින් බැහැර කරනු ලබන ප්ලාස්ටික් හා පොලිතින් සම්පුර්ණ වියෝජනය වීමක් සිදු නොවී, ක්ෂුද්‍ර අංශු ලෙස විභේදනය වීමක් සිදුවනවන අතර මෙසේ විභේදනයවන ප්ලාස්ටික් අතරේ මිලි මීටර් පහකට වඩා කුඩා ප්ලාස්ටික්, අංශු මයික්‍රෝ ප්ලාස්ටික් නැතිනම් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ලෙස සැලකේ. මෙසේ පරිසර පද්ධති තුල පවතින ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු එය සෑදෙන ආකාරය අනුව ප්‍රාථමික හා ද්විතියික ලෙස ආකාර දෙකකට පවතී. 

මෙතෙක් කල් ශ්‍රී ලංකාව අවට සාගර ජලයට විශාල ලෙස ක්ෂුද්‍ර අංශු ප්ලාස්ටික් අංශු එක්වුයේ ද්විතියික ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ලෙසයි. ද්විතීක ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු සැදෙන්නේ ඉවතලන ලද ප්ලාස්ටික් බෑග්, මත්ස්‍ය දැල් සහ ප්ලාස්ටික් බෝතල් වැනි වැරදි ලෙස කළමනාකරණය කරන ලද අපද්‍රව්‍ය සහ විශාල ප්ලාස්ටික් නිෂ්පාදනයන් සමුද්‍රීය පරිසරයට නිරාවරණය වීමෙන් පසු කුඩා ප්ලාස්ටික් කැබලිවලට විභේදනය වීමෙනි. 

එයට අමතරව මිනිසා විසින් විවිධ කාර්යයන් අරමුණු කර ගනිමින් කුඩා අංශු ලෙස නිෂ්පාදනය කොට ඇති  ක්ෂුද්‍ර පබළු අඩංගු රුපලාවන්‍ය නිෂ්පාදන හා සනීපාරක්ෂක නිෂ්පාදන, තීන්ත වර්ග හා කෘතිම රෙදි වර්ග වැනි මිනිස් නිෂ්පදනයන් තුල අඩංගු ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අංශු, ප්‍රාථමික ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ලෙස පරිසරයට මුදා හැරිම සිදු වේ. 

ඒ අනුව X-press Pearl  නෞකාවෙන් නිකුත් වූ පොලිප්‍රොපලින් අංශු හේතුවෙන් විශාල පරිසර දුෂණයක් සිදු විය හැකි අතර එය කොතෙක් කල් බලපායිදැයි යන්න පිළිබඳව මේ වන විටත් තක්සේරු කොට නොමැත. මිට පෙර මෙවැනිම අනතුරක්  2012 වර්ෂයේදී හෝන්කෝන් හි සිදු වී ඇති අතර එහි පාරිසරික බලපෑම මේවන විටත් දක්නට ලැබේ.

බොහෝමය වෙලාවට ක්ෂුද්‍ර ප්ලාස්ටික් මිනිස් ඇසට පහසුවෙන් නොපෙනෙන අතර, එහි බලපෑම් අඩු බවක් බැලු බැල්මටම පෙනුනද  ඒවා සාගරයට එක් වීමෙන් මිනිසාට මෙන්ම අනෙකුත් ජිවින්ටද බොහෝ හානිකර ප්‍රතිඵල ගෙනදිය හැකිය. එමෙන්ම මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඉතා සැහැල්ලුවන අතර බොහොමයක් ජලයේ පාවෙමින් පවති. 

බොහොමයක් සාගර ජීවින් මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් උවදුරට ලක් වේ. පෙරා බුදින ආහාර රටාවක් සහිත විශේෂයන්ගේ මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් ශරීරගත වීම වැඩි බව විද්‍යාඥයින් පවසයි. මත්සයින්ගේ මෙන්ම සාගර ක්ෂිරපායින්ගේ ශරීර තුලත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් තැන්පත් වීම සිදු වේ. මත්සයින්ගේ කරමල් ආශ්‍රිතව තැන්පත් වූ විට ශ්වසන අපහසුතා ඇතිවී මත්සයින් මිය යාමට ලක්වේ. එපමණක් නොව මෙම අංශු ඒක සෛලික ජිවින්ගේ ශරීර තුල සිර වීම නිසා ඔවුන් හටද මරණය අත්වීඳීමට සිදු වේ. 

ආහාර දාමය තුල ක්ෂුද්‍ර ප්ලාස්ටික් එකතු වීම ඒ අතරින් ප්‍රධාන ගැටලුවක් වේ. ආහාර දාමයේ පහල පුරුක්හි එක්රැස්වන ප්ලාස්ටික් අංශු ඉහල පුරුක්හි විශාල ලෙස එක්රැස් වීමෙන් එහි සිටින ජීවින් හට විවිධ සෞඛ්‍ය ගැටළු ඇතිවේ. සර්ව භක්ෂක ආහාර රටාවක් ඇති මිනිසා, මුහුදු ආහාර පරිභෝජනයේදී ඔවුන්ගේ ශරීරය තුළටත් මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු එක විය හැක. මෙසේ එක්වන ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු; ක්ෂුද්‍ර ප්ලාස්ටික් ශරීරගත වීමෙන් හෝ ශ්වසනය මගින් සතුන්ගේ පටක තුලට ද ඇතුළු විය හැකි අතර එහි අඩංගු රසායනික විෂ හේතුවෙන් පිළිකා වැනි රෝග තත්වයන් ඇති කිරීමට පවා හේතුවේ. මෙම මයික්‍රෝ ප්ලාස්ටික් අංශු, නැනෝ ප්ලාස්ටික් අංශු ලෙස විභේදනය වූ පසු සාගර ජිවින්ගේ රුධිර සංසරණ  පද්ධතියට පවා ඇතුළු වී ජෛව සමුච්චය විය හැකි අතර එම නැනෝ අංශු මිනිසා ඇතුළු සත්වයින්ගේ මොලය තෙක් රුධිර සංසරණ පද්ධතිය හරහා ගමන් කල හැක.

මිනිසා විසින් භාවිතා කොට නිසි ලෙස බැහැර නොකරනු ලබන ප්ලාස්ටික් හා පොලිතින් නිහඬ මැරයෙක් ලෙස පෙරලා මිනිසා සොයා පැමිණ ඇත.