• එක්ස් ප්‍රෙස් පර්ල් නැමැති භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාව වසරකට පෙර ගිලා බැසීම, ලෝකයේ සිදු වූ දරුණුතම ප්ලාස්ටික් සමුද්‍ර දූෂණයට වගකිව යුතු බව, ව්‍යසනයෙන් සිදු වූ හානිය තක්සේරු කරන කමිටුව පවසයි.
  • නයිට්‍රික් අම්ලය මෙට්‍රික් ටොන් 25ක් සහ ප්ලාස්ටික් පබළු බිලියන 50ක් පමණ අඩංගු භාණ්ඩ තොගයක් කාන්දු කරමින් නෞකාව කොළඹට ඔබ්බෙන් ගිණිගෙන ගිලී ගියේය.
  • වසරකට පසු තවමත් ප්ලාස්ටික් පෙති වෙරළට ගසාගෙන එන අතර, ඒවා ස්වේච්ඡා සේවකයන් විසින් ඉවත් කරනු ලබයි. ශ්‍රී ලංකාව, එම නෞකාවට අදාළ සිංගප්පූරුව පදනම් කරගත් ක්‍රියාකරුවන්ගෙන් වන්දි ඉල්ලීමට උත්සාහ කරයි.

එහි ප්‍රථිපලයක් ලෙස මූලික වන්දි ඩොලර් මිලියන 3.7ක් ලැබී ඇත. නමුත් විශේෂඥයින් පවසන්නේ පාරිසරික හානිය සඳහා සම්පූර්ණ වන්දිය ඩොලර් බිලියන 7ක් තරම් ඉහළ අගයක් ගත හැකි බවය. එය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙන ශ්‍රී ලංකාවට ජීවන මාර්ගයක් වනු ඇත.

X-Press Pearl නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාව ගිලී වසරක් ගතවී ඇතත්, එම යාත්‍රාවෙන් බැහැර වූ ප්ලාස්ටික් ඇට වලින් විනාශ වන වෙරළ තීරය පිරිසිදු කිරීම, ශ්‍රී ලංකාව දිගටම කරගෙන යයි. ඒ අතර තුර, සිදු වූ පාරිසරික හානිය සඳහා වන්දි ඉල්ලා සිටීමටද මෙරට බලධාරීන් තවමත් උත්සාහ කරයි.

රටේ සාගර හා වෙරළාසන්න පරිසරයට සිදුවන හානිය පිළිබඳ විමර්ශනය කරන විද්වත් කමිටුව නිගමනය කර ඇත්තේ, සාගරයෙහි රසායනික හා ප්ලාස්ටික් දූෂණය සම්බන්ධයෙන් ගත් කල, මෙම ව්‍යසනය දරුණුතම ව්‍යසනය බවයි. “එක්ස් ප්‍රෙස් පර්ල් හානිය තක්සේරු කිරීමේ කමිටුවේ සම සභාපති සහ මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා පවසයි.

නෞකාවේ සිංගප්පූරුව පදනම් කරගත් මෙහෙයුම්කරුවන්ගෙන් වන්දි ඉල්ලා සිටීම සඳහා කමිටුව සිය තක්සේරු වාර්තාව නීතිපති කාර්යාලයට ඉදිරිපත් කර ඇත.

“කෙසේ වෙතත් වාර්තාව, හානිය තක්සේරු කිරීමේ පළමු සංස්කරණය පමණක් වන අතර, අධීක්ෂණය මත පදනම්ව වැඩිදුර තක්සේරු කිරීම් දිගටම කරගෙන යනු ඇත” ද අල්විස් මොන්ගාබේ වෙත පැවසීය.

සමුද්‍රීය නීති විශේෂඥ ඩෑන් මාලික ගුණසේකර පැවසුවේ, වන්දි ඉල්ලා නඩු ගොනු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් බොහෝ කාලයක් ගත කර ඇති අතර, ජාත්‍යන්තර අධිකරණ වසර ගණනාවක් තිස්සේ දැඩි නීතිමය සටන්වල සිටීමට මැලිකමක් දක්වන බවයි. ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 3.7ක අතුරු ගෙවීමක් අලාභ වශයෙන් ලබාගෙන ඇති නමුත් ගුණසේකරට අනුව රටට ඩොලර් බිලියන 5 සිට ඩොලර් බිලියන 7 දක්වා ප්‍රමාණයක් ඉල්ලා සිටිය හැකි බවයි.

ශ්‍රී ලංකාව මේ වන විට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයේ ගිලී සිටී. එම සංඛ්‍යා, විදේශ මුදල් ලබා ගැනීම සඳහා බෙහෙවින් අවශ්‍ය බව ඔප්පු වනු ඇත. එහෙත් තවදුරටත් ප්‍රමාද කිරීම, පාරිසරික හානිය සඳහා ප්‍රමාණවත් වන්දියක් ලබා ගැනීමේ අවස්ථාව හීන කුරනු ඇතැයි ගුණසේකර මොන්ගාබේ වෙත පැවසීය.

එක්ස්-ප්‍රෙස් පර්ල් හි සුන්බුන් මතු කර එය විසුරුවා හැරීමේ ගැලවීමේ කටයුතු සිදු වෙමින් පවතී. ඡායාරූපය: X-Press Feeders/ මොන්ගාබේ  

දරුණුම ප්ලාස්ටික් සමුද්‍ර දූෂණය 

2021 මැයි 20 වැනි දින කොළඹට ඔබ්බෙන් ගිණි ගෙන ගිලෙන්නට පටන් ගන්නා විට X-Press Pearl කන්ටේනර් 1,486ක් රැගෙන යමින් සිටියේය. එහි තිබූ කන්ටේනර් අසූ එකක ‘අනතුරුදායකයි’ ලෙස ලේබල් කර තිබූ අතර, නයිට්‍රික් අම්ලය මෙට්‍රික් ටොන් 25ක්ද ඇතුළත් විය. ඒවා පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන අතර ගින්නට හේතු විය හැකි සාධකයක් ලෙසද හුවා දක්වන ලදී. නැව ගිලී යාමට මත්තෙන් පිපිරීම් කිහිපයක්ද සිදු වූ අතර ගින්න පාලනය කිරීමට සතියකට වැඩි කාලයක්ද ගත විය. ගැඹුරු මුහුදට යාත්‍රාව ඇදගෙන යාමට දැරූ උත්සාහයද අසාර්ථක වූ අතර, අවසානයේදී 2021 ජුනි 2 වන දින ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට කිලෝමීටර් කිහිපයක් ඔබ්බෙන් වූ එම ප්‍රවාහන නෞකාව ගිලී ගියේය.

මෙම නෞකාවේ නර්ඩ්ල්ස් කන්ටේනර් 400ක් ද රැගෙන ගොස් ඇත. එම ඇට බිලියන 50කට වැඩි ප්‍රමාණයක් පිටවීම නිසා මෙය ලෝකයේ නරකම ප්ලාස්ටික් සමුද්‍ර දූෂණ සිදුවීම බවට පත් වූ අතර එම පෙති ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ වේගයෙන් පැතිර ගියේය.

එක්ස්-ප්‍රෙස් පර්ල් නැව ගිලී යාමේ ප්‍රතිඵලයක් ලෙස ප්ලාස්ටික් සමුද්‍ර දූෂණය පිළිබඳ ලොව දරුණුතම සිදුවීම සිදුවී ඇත. ඡායාරූපය: U.N. උපදේශන මෙහෙවර වාර්තාව/මොන්ගාබේ 

රජය මූලික වශයෙන් වෙරළ පිරිසිදු කිරීමක් සිදුකළ නමුත් පසුව පිරිසිදු කිරීම තරුණ සංවිධානයක් වන ‘පර්ල් ප්‍රොටෙක්ටර්ස්’ වැනි ස්වේච්ඡා සංවිධානයක සේවකයන් විසින් සිදු කරන ලදී.

“අපි ප්‍රධාන වෙරළ තීරයේ ප්‍රධාන පිරිසිදු කිරීමේ මෙහෙයුම් 28ක් සිදු කළ අතර, නර්ඩ්ල්ස් කිලෝග්‍රෑම් 1,500ක් (රාත්තල් 3,300ක්) එකතු කර ගැනීමට අපට හැකි විය,” ‘පර්ල් ප්‍රොටෙක්ටර්ස්’හි සම්බන්ධීකාරක මුදිත කටුවාවල පැවසීය.

නමුත් තවත් නර්ඩ්ල්ස් වෙරළ තීරයට සේදී එන අතර, දිවයිනෙහි පවතින නිරිතදිග මෝසම් කාලගුණය නිසාවෙන්, මුලින් මුහුදු පත්ලට ගිලී ගිය හෝ කොරල්පර වැනි දිය යට ව්‍යුහයන් තුළ සිරවී තිබූ නර්ඩ්ල්ස් යළි සෝදාගෙන ගොඩබිමට පැමිණෙමින් තිබේ.

“එබැවින් අඛණ්ඩව පිරිසිදු කිරීම අවශ්‍ය වේ” කටුවාවල පැවසීය.

‘පර්ල් ප්‍රොටක්ටර්ස්’, මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන වටා ඇති අනෙකුත් ස්වේච්ඡා සංවිධාන මෙන් නොව, ආර්ථික අර්බුදයෙන්ද පීඩා විඳිති. මැයි මාසයේදී උද්ධමනය වාර්තාගත ලෙස 39%කින් ඉහළ යාමත් සමඟ පසුගිය මාස කිහිපය තුළ, පිරිසිදු කිරීම් සංවිධානය කිරීමේ පිරිවැය දෙගුණ වී ඇත. රට ප්‍රථම වරට ණය ගෙවීම පැහැර හැර ඇති අතර දේශීය මුදල් ඒකකය වන රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පහත වැටී ඇත.

මුහුදේ පාවෙන එක්ස්-ප්‍රෙස් පර්ල් නැවෙන් කන්ටේනරයක්. ඡායාරූපය :ශ්‍රී ලංකා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA)/මොන්ගාබේ 

ගැලවීමේ මෙහෙයුම

X-Press Pearl හි සුන්බුන් සම්බන්ධයෙන් ගත් කල, එය දැන් ගලවා ගනු ලබන්නේ ෂැංහයි ගැලවීමේ සමාගම (SSC) විසිනි, එය නෞකාවේ හිමිකරුවන් වන සිංගප්පූරුව පදනම් කරගත් X-Press Feeders විසින් භාර දෙන ලදී. ප්‍රකාශයක් නිකුත් කරමින්, X-Press Feeders පැවසුවේ, ගලවා ගැනීමේ මෙහෙයුමට, මෙහෙයුම අතරතුර විසුරුවා හැරිය හැකි සුන්බුන් හෝ වෙනත් දූෂක සමඟ කටයුතු කිරීමට පැය 24 පුරාම සිදුවන නිරීක්ෂණ ඇතුළත් බවයි. එම ස්ථානයේ නිතිපතා ජල නියැදීමක් සිදු කරන බවත්, තෙල් කාන්දු වුවහොත් වහාම ප්‍රතිචාර දක්වන බවත් එය පවසයි.

SSC ට අනුව, X-Press පර්ල්ගේ බඳ අඩකින් කැඩී ඇත. එබැවින් සුන්බුන් වෙනම කොටස් දෙකක් ලෙස ප්‍රතිසාධනය කරනු ලැබේ. නිරිතදිග මෝසම නිසා ඇති වූ රළු මුහුදු ප්‍රදේශ හේතුවෙන් අප්‍රේල් මස අවසානයේ මෙහෙයුම් අත්හිටුවන ලදී.

බඳේ කොටස් දෙක පිරිසිදුව වෙන් කිරීම, මෝසමෙන් පසු නොවැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත අතර, එසවීම 2023 පෙබරවාරි මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. අවසන් අදියර, 2023 සැප්තැම්බර් වන විට අවසන් කිරීමට නියමිත අතර, සුන්බුන් සම්පූර්ණයෙන්ම විසුරුවා හැර, ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබේ.

එක්ස්-ප්‍රෙස් පර්ල් සමුද්‍ර ව්‍යසනයෙන් පසු නර්ඩ්ල් විස්ථාපනය. ඡායාරූපය: U.N. උපදේශන මෙහෙවර වාර්තාව/මොන්ගාබේ

මූලික අධ්‍යයන නොමැතිකම

මීට පෙර ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසර ආරක්ෂණ ඒජන්සියේ (MEPA) ප්‍රධානියා වූ සමුද්‍ර ජීව විද්‍යාඥයෙකු වන Terney Pradeep Kumara පැවසුවේ පරිසර දූෂණය, X-Press පර්ල් සමඟ සම්බන්ධ කරන සාක්ෂියක් ලෙස ඇත් නම්, ගැලවීමේ මෙහෙයුමේදී දත්ත රැස් කිරීම වැදගත් බවයි. නැව් අනතුරෙන් පසුව, සමුද්‍ර ජීව විද්‍යාඥයින් අසාමාන්‍ය ලෙස ඉහළ මුහුදු කැස්බෑ මරණ සංඛ්‍යාවක් සටහන් කළ අතර, එය පරිසර දූෂණයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සැක කරන නමුත්, ඒ සඳහා දැනට නිශ්චිත සාක්ෂි නොමැත.

‘මෙම පාරිසරික තක්සේරුව සිදු කිරීමේදී පාරිසරික තත්ත්වයන් පිළිබඳ මූලික පදනමක් නොතිබීම විශාලතම අභියෝගයක් වී ඇත,” X-Press Pearl හානිය තක්සේරු කිරීමේ කමිටුවේ අනෙක් සම සභාපතිනි ප්‍රසන්ති ගුණවර්ධන පැවසුවාය. ඊට විවිධ ක්ෂේත්‍රවල සාමාජිකයින් සහිත විවිධ අනුකමිටු 30 ක් පමණ තිබූ අතර, අධීක්ෂණ ක්‍රියාවලියේදී විවිධ රාජ්‍ය ආයතනවලින් අදහස් ලබා ගැනීම අභියෝගයක් වූ බව ගුණවර්ධන මොන්ගාබේ වෙත පැවසීය.

Malaka Rodrigo විසින් Mongabay වෙත ලියන ලද A year since X-Press Pearl sinking, Sri Lanka is still waiting for compensation නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.