දිර දිරා යනවිටත් පස් එක්ක සීරුවට – ගස් කඳන් වැලපුණා බදාගෙන මහ පොළොව
දිය බිංදු එක්ක දුන් ආදරේ හින්දාම – බිම් මලක් පිපි කිව්වෙ ආදරේ කතාවය
ගිම්හානේ පත්ර ටික වැටෙන විට කහ පැහැට – ඉපල් වී අඬන විට තුරු මුදුන් දුක්බරව
වසත් කල දළු දාලා හිනහෙනා අතු පතර – කහපාට පත් කිව්වේ අතහැරීමෙ අරුත
සුනිල පැහැ දිය දහර ගලන් යන සීරුවට – ගල් අතර වැදී දුන් රිදී පැහැ මිහිරැතිය
සිසිලසක් මුසු කරපු අතරමඟ නොම රැදුණු – ඇළ පාර නේ කිව්වේ ජීවිතෙ ගමන් මඟ
දාර උස වනස්පති එක්ක එතෙමින් හැදෙන – පුස් වැලට සවිය විය ඇදෙන්නට ඉහළටම
තුරු මුදුන් මල් නොපිපෙමින් වැජඹෙන – කල්වැල් එතී සරසයි මල් තුරු හිස් මුදුන
සිත් සේ සරමි වන පෙත් පුරාවට – කිරිල්ලියක සේ ඉගිල වනයකින් වනයකට
ජීවිතේ මිහිරැතිය සහ සවිය පන්නරය – වනයකින් ලද හැකිය සරසවියක දැනුම
තරුෂි පිටිගල විසිනි.
Comments are closed for this post.