• ආවේණික මිරිදිය මත්ස්‍ය විශේෂයක් වන “ගල්පාඬියා” (Garra ceylonensis), ශ්‍රී ලංකාවේ විවිධ ගංගා ද්‍රෝණිවල සමාන පෙනුමක් ඇති නමුත් ජානමය වශයෙන් වෙනස් ගහන හයක් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
  • G. ceylonensis විශේෂයෙහි මුතුන් මිත්තන් මීට වසර මිලියන 3 සිට මිලියන 4 කට පමණ පෙර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් පාලම මත තිබු ගංගා හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, පසුව ඇති වූ දේශගුණික විපර්යාස නිසා ඔවුන් දිවයිනේ සිරවී ඇති බවත්, එමඟින් මෙම මත්ස්‍ය විශේෂය පරිණාමය වූ බවත් පර්යේෂණය මඟින් ඇස්තමේන්තු කරයි.
  • ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා හුදෙක් සත්ත්ව විශේෂ මට්ටමේ අධ්‍යනයන්ට වඩා ජානමය වශයෙන් වෙනස් වූ ජනගහනයක් සංරක්ෂණය කිරීම සඳහා නව්‍ය ප්‍රයත්නයන්හි අවශ්‍යතාව අධ්‍යයනය මගින් අවධාරණය කරයි
  • G. ceylonensis, “ඩොක්ටර් ෆිෂ්” ලෙසද හැඳින්වෙන අතර මළ සම ඉවත් කිරීම සඳහා පාද සම්බාහන මධ්‍යස්ථාන වල  භාවිතා කරන ජනප්‍රිය මසුන් විශේෂයක් වන බැවින් මින් මැඳුරු සඳහා වනාශ්‍රිත ගහනය එකතු කිරීම් වැඩි වී තිබේ.

ශ්‍රී ලංකාවේ වේගයෙන් ගලා යන මිරිදිය දිය පහරවල් විවිධාකාර සුන්දර මසුන්ගේ නිවහන වන අතර, ඔබ ඔබේ පාද වතුරට දැමුවහොත් ඔවුන් වේගයෙන් පීනා යනු නිසැකයි. නමුත් “ෆිෂ් ස්පා”වල භාවිතය සඳහා යොදා ගන්නා  “ගල් පඬියා” (Garra ceylonensis) එසේ නොවේ. ඔවුන් අමුත්තන්ගේ පාදවල සමේ, මිය ගිය සෛල ඉවත් කරයි.

ඔවුන් ශ්‍රී ලංකාවේ බහුලවම ව්‍යාප්ත වී ඇති මිරිදිය මත්ස්‍ය විශේෂයන් අතර වේ. එම ව්‍යාප්තිය පිළිබඳ නව අධ්‍යයනයෙන් පෙනී යන්නේ දිවයින පුරා විවිධ ගංගා ද්‍රෝණිවල වෙසෙන G. ceylonensis ගහන භෞතික වශයෙන්, ප්‍රමාණයෙන්, ශරීර රටාවන්ගෙන්, වර්ණයෙන් සමානවන නමුත් ඒවා ජානමය වශයෙන් වෙනස් වන බවයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි විද්‍යා ආයතනයේ ප්‍රධාන පර්යේෂකයෙකුවන අණුක ජීව විද්‍යාඥ හිරන්‍ය සුදසිංහ පැවසුවේ විවිධ ස්ථානවලින් G. ceylonensis විශේෂයේ ජානමය වශයෙන් වෙනස් ගහනයන් හයක් හමු වුණු බවයි.

මිරිදිය මත්ස්‍ය විශේෂ 91 ක් ශ්‍රී ලංකාවේ වාසය කරන අතර ඉන් 50ක්ම පෘථිවියේ වෙනත් තැනක දක්නට නොලැබේ.

නමුත් G. ceylonensis වේගයෙන් ගලා යන ජලයේ නොනැසී පැවතීමට අනුවර්තනය වී ඇති අතර, ගල් ආශ්‍රිතව ඇලි වැඩෙන ඇල්ගී ආහාර ගනිමින් වාසය කරයි. G. ceylonensis හි පරිණාමීය ඉතිහාසය මේ වන තෙක් විමර්ශනය කර නැති නමුත්, නිවර්තන-දූපත් පසුබිමක පුළුල්, නමුත් රූප විද්‍යාත්මකව විශේෂිත වූ මිරිදිය මසුන්ගේ පරිණාමීය ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමට මොවුන් කදිම උදාහරණයක් බව සුදසිංහ මහතා පවසයි.

සුදසිංහ සහ ඔහුගේ කණ්ඩායම මෙම පර්යේෂණය සඳහා ශ්‍රී ලංකාව පුරා ගංගා ද්‍රෝණි 16 ක ස්ථාන 38 කින් නිදර්ශක එකතු කරගෙන තිබේ. මෙහිදී මෙම විශේෂය දිවයිනට පැමිණි ආකාරය සහ එහි මුතුන් මිත්තන් පිළිබඳවත් විමර්ශනය කරයි. මීට වසර මිලියන 4.3 සිට මිලියන 3.2 දක්වා වූ ආරම්භක ප්ලියොසීන් යුගයේ අග දක්වා වූ බව අධ්‍යයනයෙන් කියැවේ. මුහුදු මට්ටම බෙහෙවින් අඩු මට්ටමක පැවති සමයේ ශ්‍රී ලංකාව ඉන්දියාවට සම්බන්ධ කරමින් පෝල්ක් සමුද්‍ර සන්ධිය හරහා ගොඩබිම් පාලමක් තිබී ඇත.මීට වසර මිලියන 5 කට පමණ පෙර ප්ලියෝ-ප්ලයිස්ටොසීන සමයේ තිබු වියළි දේශගුණය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ගංගා වියළී ගොස් සම්බන්ධතා බිඳ වැටීම නිසා ගරාගේ මුතුන් මිත්තන්ගේ ගහනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත වී ඇති අතර, පසුව ඔවුන්ට වෙනම විශේෂයක් බවට පත්වී දිවයින පුරා ජානමය වශයෙන් වෙනස් ගහනයක් පුරා පැතිර තිබේ.

සමාන නමුත් වෙනස් වන ආකාරය 

අධ්‍යයනයේ සම කර්තෘ සහ පරිණාමීය ජීව විද්‍යාඥ මහාචාර්යය මාධව මීගස්කුඹුර පවසන පරිදි, ඉන්දියානු පඳුරු ගෙම්බන්, ශ්‍රී ලංකාවට ගොඩබිම් පාලම හරහා තරණය කර පැමිණි නමුත්, පසුව ආවේණික විශේෂයක් ලෙස පරිණාමය වූ බවයි. ඔහු මොන්ගාබේට පවසන්නේ ගරා සම්බන්ධයෙන් ගත් කල, මෙම විශේෂය පඳුරු ගෙම්බන් මෙන් නොව, විශේෂිත නව විශේෂ කිහිපයකට බෙදී නැති බවයි, මෙය බොහෝ විට ඇළ දොළ සහ වෙනත් ජල මාර්ග පද්ධති හරහා ජාන ප්‍රවාහය වීම නිසා විය හැකිය.

තවත් හේතුවක් වන්නේ මෝසම් වැසි සමඟ කීටයන් හට දිගු දුරක් ගමන් කිරීමට හැකි වීමයි. මෙම ක්‍රියාවලීන් දෙකම එක්ව, මත්ස්‍ය ගහණය හුදෙකලා නොවී ඵලදායී ලෙස නව විශේෂ වර්ධනයට ඉඩ සැලසීම සඳහා ප්‍රමාණවත් තරමේ කාලයක් සහතික කළ බව මහාචාර්යය මීගස්කුඹුර පවසයි.

සංරක්ෂණ ප්‍රමුඛතා

මිරිදිය මත්ස්‍යයින් පිළිබඳ ගෝලීය විශේෂඥයෙකු සහ අයි.යූ.සී.එන් හි ජීවී පැවැත්ම පිළිබඳ කොමිෂන් සභාවේ (SSC) හිටපු නියෝජ්‍ය සභාපති, අධ්‍යයන සම කර්තෘ රොහාන් පෙතියගොඩ පවසන්නේ, G. ceylonensis විශේෂයෙහි නව සොයාගැනීම්, සංරක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ඉතා හොඳ ආරම්භයක් බවයි.

“හිරන්‍යගේ අධ්‍යයනය මගින් G. ceylonensis විශේෂයෙහි ගැඹුරු ජාන විද්‍යාව දෙස සිත්ගන්නා සුලු ප්‍රශ්න කිහිපයක් යොමු කරනවා. වඩාත්ම වැදගත් දෙය නම්, එය ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයන් සංරක්ෂණය කිරීමේ දිශාව පිළිබඳ අවබෝධයක් ලබා දෙනවා.” යැයි ඔහු Mongabay වෙත පැවසුවේය. “එයින් පෙනී යන්නේ විශේෂ සංරක්ෂණය කෙරෙහි අපගේ අවධානය සමහර අවස්ථාවලදී  අස්ථානගත වී ඇති බවයි. ඒ වෙනුවට අප අවධානය යොමු කළ යුත්තේ ජානමය වශයෙන් වෙනස් වූ කණ්ඩායම් සංරක්ෂණය කිරීමටයි.”

ශ්‍රී ලංකාවේ දකුණු පළාතෙහි කිරිඳි ඔයෙන් පෝෂණයවන ජලවිදුලි හා වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී ඔහු උපුටා දැක්වුවේය. ප්‍රමාණවත් ජල සැපයුමක් සහතික කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ දිගම ගංගාවවන මහවැලි ගඟෙහි අතු ගංගාවක්වන උමා ඔයා වෙතින් කිරිඳි ඔයට ජලය හරවා යවනු ලැබේ. මෙමඟින් මහවැලි ගඟේ සිට මසුන් සහ කීටයන් කිරිඳි ඔය වෙත ජලය හරහා පැමිණෙනු ලබන අතර මෙමඟින් ගංගා දෙකෙන් G. ceylonensisගේ ජානමය මිශ්‍රණයක් ඇතිවන බව, පෙතියගොඩ මහතා පවසයි. ද්‍රෝණි අතර ජලය හරවා යැවීම නිසා ඇතිවිය හැකි පාරිසරික ගැටලු මෙයින් ඉස්මතුවන බව ඔහු තවදුරටත් විස්තර කරයි.

පෙතියගොඩ මහතාට අනුව, මෙම මූලධර්මය මත්ස්‍යයින්ට පමණක් නොව, පරපෝෂිතයන් වැනි අනෙකුත් ජීවීන්ට ද අදාළ වන අතර, මේ ආකාරය රෝග සම්ප්‍රේෂණය වීමටද හේතු විය හැකි අතර එවැනි මැදිහත්වීම් ප්‍රවේශමෙන් තක්සේරු කිරීමේ වැදගත්කම විදහා දක්වයි.

1990 පමණ කාලයේ පෙතියගොඩ, ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් ගවේෂණය කිරීමේ පුරෝගාමීත්වය දැරු නමුත් ජාන විශ්ලේෂණයන් භාවිතා කරමින් වර්තමාන නවීන අධ්‍යයන මට්ටමට සාපේක්ෂව එය “ප්‍රාථමික වැඩ” ලෙස හැඳින්වේ. සුදසිංහ වැනි තරුණ විද්‍යාඥයින් විසින් කරන ලද මෙම නව අධ්‍යයනයන් මගින් 21වන සියවසට ශ්‍රී ලංකා මත්ස්‍ය අධ්‍යයනයන් ගෙන එනු ලබන අතර මෙම විශේෂ අධ්‍යනය, පරිණාමය සහ සංරක්ෂණය පිළිබඳව අපගේ අවබෝධය, නව ප්‍රබෝධයකින් සහ අඛණ්ඩ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට උපකාරී වන ලෙසින් පිබිද ඇති බව පෙතියාගොඩ මහතා පවසයි.

සුදසිංහ විසින් මීට පෙර කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තරණය කිරීමෙන් පසු තවත් මිරිදිය ප්‍රභේදයක් වන Devario නම් විශේෂය පරිණාමය වී ඇති ආකාරයයි. පැරණිතම මිරිදිය මසුන් මීට වසර මිලියන 30 කට පමණ පෙර දිවයිනට පැමිණ ඇති බව පෙනේ, නමුත් ඊට පෙර ශ්‍රී ලංකාවේ මසුන් සිටින්නට ඇතැයි පෙතියගොඩ පවසයි, නමුත් ඒවා වඳ වී ගියේ කෙසේද සහ කවදාද යන්න පැනයකි.

මත්ස්‍ය කුල 30 ක් පමණ සිටින දකුණු ඉන්දියාව හා සසඳන විට ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය විවිධත්වය අඩුය. නවතම අධ්‍යයනය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව පුරා දරුණු වඳ වී යෑමකට හේතු වූයේ වෙනස්වන දේශගුණය විය හැකි බවයි.

දේශගුණික විපර්යාස, ජෛව විවිධත්ව සංරක්ෂණයට අප විසින් සාධක කළ යුත්තේ කවදාද යන්න ඇතුළුව ඔවුන්ගේ පිළිතුරු අනාගත සංරක්ෂණ ප්‍රතිපත්තියට මග පෙන්වීමක් වියහැකි බැවින් මෙවැනි ප්‍රශ්න අපට අදාළ වේ.

උපුටා දැක්වීම්

Sudasinghe, H., Dahanukar, N., Raghavan, R., Senavirathna, T.,  Shewale, D. J., Paingankar, M. S., … Meegaskumbura, M. (2021). Island  colonization by a ‘rheophilic’ fish: The phylogeography of Garra ceylonensis (Teleostei: Cyprinidae) in Sri Lanka. Biological Journal of the Linnean Society132(4), 872-893. doi:10.1093/biolinnean/blaa221
  
Sudasinghe, H., Pethiyagoda, R., & Meegaskumbura, M. (2020). Evolution of Sri Lanka’s giant danios (Teleostei: Cyprinidae: Devario): Teasing apart species in a recent diversification. Molecular Phylogenetics and Evolution, 149, 106853. doi:10.1016/j.ympev.2020.106853

Malaka Rodrigo  විසින් Mongabay  වෙත ලියන ලද Genetic diversity of Sri Lanka’s ‘spa fish’ highlights need for informed conservation නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.