තරුෂි පිටිගල විසිනි.

ජෛව විවිධත්වයෙන් අනූන දූපත් රාජ්‍යයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ, අසමසම පාරිසරික හා භූගෝලීය විවිධත්වය මෙන්ම ඉපැරණි කෘෂිකාර්මික සංස්කෘතියද, රටේ වටිනාකම දෙගුණ කිරීමට සමත් වී ඇත. ලොව අනෙකුත් රටවල්වල මෙන්ම ශ්‍රී ලංකාවේද පරිසර පද්ධති සහ එහි ජෛව විවිධත්වය, මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස තර්ජනයට ලක් වී ඇත. ලෝක බැංකු සංවර්ධන දර්ශක එකතුවට අනුව 2020 දී ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රමාණය, භූමි ප්‍රමාණයට සාපේක්ෂව 34.16%ක් ලෙස වාර්තා විය. මෙසේ වනාන්තර ආවරණය ක්‍රමක්‍රමයෙන් අඩු වීම දේශගුණික විපර්යාසයන්ට සෘජුව බලපානු ලබයි.

කෘෂි කාර්මික සංස්කෘතියකින් පැවත එන ශ්‍රී ලංකාවේ ගොවිතැන් අතර හේන් ගොවිතැන් හා කුඹුරු ඉතා වැදගත් අංගයකි. අතීතයේදී තිරසාර කෘෂිකර්මාන්තයක් පැවතුනද වර්තමානයේ එම තත්වය අයහපත් අතට වෙනස් වී ඇත. 

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ බොහෝ ස්වභාවික පරිසර පද්ධතිවල වනාන්තර ඛණ්ඩනය වීමට ප්‍රධානතම හේතුව මිනිස් ජනාවාස ඇතිවීමයි. මීට අමතරව තේ, රබර් සහ කුරුඳු වැනි කෘෂි ආර්ථික බෝග සඳහා මහා පරිමාණයෙන් වනාන්තර එළිපෙහෙළි කිරීම, වන වැස්ම අඩු වීයාමට ප්‍රබල හේතුවක් වී ඇත.

ශ්‍රී ලංකාව දැනට මුහුණදෙමින් පවතින ආහාර අර්බුධයට විසඳුමක් ලෙසත්, පරිසර සංරක්ෂණයට දායක වෙමින් ආර්ථික වාසි ලබා ගැනීමට හැකි කදිම විසඳුමක් ලෙසත් සදෘශ වන වගාව සැලකිය හැකි බව පෘථිවි ප්‍රතිෂ්ඨාපන ආයතනයේ සභාපති, බෙලිපොල සදෘශ වන වගාවේ නිර්මාතෘ, සංරක්ෂණවේදි, ආචාර්යය රනිල් සේනානායක ප්‍රකාශ කළේය.

බෙලිපොල සදෘශ වන වගාවේ නිර්මාතෘ, සංරක්ෂණවේදි, ආචාර්යය රනිල් සේනානායක. ඡායාරූපය: බෙලිපොල ආර්බෝරිටම් 

සදෘශ වන විද්‍යා සංකල්පය 

“යම් ප්‍රදේශයක පවතින ස්වභාවික වනාන්තර පද්ධතියක් අනුකරණය කරමින් කෘෂි පැල ඇතුළු ගස් වැල් සහ පැළෑටි වගා කිරීමේ ක්‍රියාවලිය සදෘශ වන වගාව ලෙස සැලකිය හැකියි. එහිදී මෙම නිර්මාණය කරණු ලබන පරිසර පද්ධතිය, ස්වභාවිකව සහ තිරසාරව පරිණත වන වගාවක් වීමට ඉඩ සලසයි.” ආචාර්යය සේනානායක පැහැදිලි කළේය.

එම පරිසර පද්ධතිය ව්‍යුහාත්මකම සහ පරිසර ක්‍රියාකාරිත්වය අතින් බොහෝ සෙයින් ස්වභාවික පරිසර පද්ධතියකට සමාන වන බව ඔහු පැවසුවේය. 

ආචාර්ය සේනානායක මහතා සදෘශ වනවගාවක් නිර්මාණය කිරීම ආරම්භ කරන ලද්දේ දශක හතරකට පමණ පෙර බණ්ඩාරවෙල මිරහවත්ත ප්‍රදේශයේ අක්කර 17ක ඉඩමකය. 

එය පැරණි වගා භූමියක් වූ අතර ඔහුගේ පළමු කාර්යය වුයේ පසෙහි ගුණාත්මක බව වැඩි කිරීමයි. එය වර්තමානයේ ඉතා සාර්ථක සදෘශ වන වගාවක් දක්වා නිර්මාණය වී ඇත. එය ලොව පළමු සදෘශ වන වගාව වන අතර මේ වන විට රටවල් 22 තුල මෙම සංකල්පය ව්‍යාප්ත වී ඇත.

“බෙලිපොල අපෙගේ සදෘශ වන වන වගාව පාරිසරික හා ආර්ථික වටිනාකම් ගෙන දෙන ඉතා වටිනා පරිසර පද්ධතියක්” ඔහු විස්තර කළේය.

සදෘශ වන වගාවේ වැදගත්කම 

“මෙම ක්‍රමය මගින් පසෙහි සාරවත් බව සහ ගුණාත්මක බව ඉහළ නංවනවා. ඒ මෙන්ම පසෙහි ජලය රඳවා තබා ගැනීමටත් විශාල දායකත්වයක් ලබා දෙනවා.” යැයි ආචාර්යය සේනානායක ප්‍රකාශ කළේය.

එමෙන්ම ජෛව විවිධත්වය ඉහළ නැංවීමටත් මෙමගින් විශාල දායකත්වයක් ලැබේ. විවිධ සත්ත්ව හා ශාක විශේෂයන් හට, ඔවුන්ට වඩාත් උචිත පරිසර තත්වයන් සදෘශ වන වගාවකදී ලැබීම විශේෂත්වයකි.


සදෘශ වන වගාවක් විශාල ශාක විවිධත්වයකින් සමන්විත වේ. ඡායාරූපය: බෙලිපොල ආර්බෝරිටම් 

“උඩවැඩියා වැනි ශාක විශේෂ සිට රූස්ස ගස් දක්වා, සදෘශ වන වගාවක් තුල අඩංගු වීම විශේෂත්වයකි” ආචාර්යය සේනානායකගේ අදහසයි.

“මෙම වන වගාවේදී කිසිදු කෘමි නාශකයක් හෝ රසායනික පොහොරක් භාවිතා නොකරන බැවින් පාංශු ජෛව විවිධත්වය ඉතා ඉහළ අගයක් ගැනීම සුවිශේෂී කරුණක්. පාංශු ක්ෂුද්‍ර ජිවින්ගේ සිට ගැඩවිලා වැනී ජීවීන් දක්වාම මෙහි වාසය කරණ බවත් ඔවුන් පාංශු සංරක්ෂණයට විශාල දායකත්වයක් සපයන බවත්  පරිසරවේදී ආනන්ද් විජය වේලායුදම් ප්‍රකාශ කළේය.

මෙම වන වගාව තුල වාසස්ථානයන්හි ගුණාත්මක බව වැඩි කිරීම සඳහා සාදනු ලබන කුඩා පොකුණු බත්කූරන් සහ අනෙකුත් කෘමින්ටත්, ගෙම්බන්, දිය නයි වැනි සතුන්ටත් වාසස්ථාන සපයයි. 

“වගාව තුළ වගා කොට ඇති අනෝදා සහ  කුරුඳු වැනි ශාක සමනලුන්ට කීට පෝෂක ශාක ලෙස ක්‍රියාකරනවා වෙනවා මෙන්ම මිනිසුන්ටත් ආර්ථික ප්‍රයෝජන ලබා දෙනවා. එය සමනල් විවිධත්වය වැඩි කිරීමට දායක වෙනවා.”යැයි ආනන්ද් ප්‍රකාශ කළේය.

මෙලෙස ජෛව විවිධත්වය වැඩි දියුණු වන විට සදෘශ වන වගාව තුළ ස්වභාවික පරිසර පද්ධතියකට සමාන පරිසරයක් ක්‍රමයෙන් ගොඩ නැගෙන බවත් එය මිනිසා විසින් ආර්ථික වාසි ලබා ගනිමින් පරිසර සංරක්ෂණය සිදු කිරීමට වඩාත් උචිත ක්‍රමවේදයක් ලෙස මෙය සැලකිය හැකි බව ආනන්ද් පැවසුවේය.

පෘථිවිවාසීන් සියල්ලම වර්තමානයේ මුහුණ දෙමින් පවතින සහ පාලනයකින් තොර වුවහොත් අනාගතයේදී ඉතා දරුණු ලෙස අත්විඳීමට සිදුවන දේශගුණික විපර්යාසයන්ට ප්‍රධාන හේතුවක් වන්නේ පොසිල ඉන්ධන දහනය සහ කාබන් තිර කිරීමට තරම් ප්‍රමාණවත් වන වැස්මක් නොතිබීමයි. මෙම සදෘශ වන වගා සංකල්පය දේශගුණික විපර්යාසයන්ට එරෙහිව කටයුතු කරනු ලබනවා යැයි ආචාර්යය සේනානායක අදහස් දැක්විය.

ඉහළ සිට නිරීක්ෂණය කල විට බෙලිපොල සදෘශ වන වගාවේ වන වැස්ම පෙනෙන අයුරු  . ඡායාරූපය: බෙලිපොල ආර්බෝරිටම් 

“සදෘශ වන වගාවක් තුල වාණිජ බෝග වගා කිරීමෙන් ආර්ථිකමය වාසි රැසක් අත්පත් කරගත හැකියි. බෙලිපොලහි නිර්මාණය කොට ඇති අපගේ සදෘශ වන වගාවෙහි එවැනි බෝග රාශියක් එකතු කොට තිබෙනවා.”  ආචාර්යය සේනානායක පැවසුවේය.

එම බෝග අතර කෝපි, කුරුඳු, එනසාල්, කරාබු නැටි, සේර, අලිපේර, රඹුටන් වැනි පලතුරුද පිච් ප්ලාම් වැනි විදේශීය පලතුරු වර්ගද වගා කොට ඇත.

එමෙන්ම සදෘශ වන වගාවක් තුළ විවිධ ශාක වර්ග රැසක් ඇති බැවින් බෝග අස්වනු ඵල දරන්නේ විවිධ කාලවලදීය. එනිසා වසර පුරාම පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් අනූන අහාර සැපයීමට මෙම වන වගාවට හැකි වීම සුවිශේෂී කරුණක්. එමෙන්ම මෙහි ඇති බෝග විවිධත්වය නිසා වගාකරන්නන් හට වසර පුරාම විවිධ කාලයන්හි ඒ ඒ අස්වනු ලැබීම නිසා, වෙළඳ පොළ වෙත විවිධ බෝග සැපයීමට හැක. එය ගොවියන් හට ආර්ථික වශයෙන්ද ඉතා වාසි දායක වේ.

මෙම වගා ක්‍රමවේදය සම්පුර්ණ ස්වභාවික ක්‍රමවේදයක් වේ. කිසිදු රසායනික පොහොර වර්ගයක් හෝ කෘමි නාශක හෝ නොයොදන බැවින් වගා බෝග සඳහා කාබනික බව තහවුරු කරන ලද තත්ත්ව සහතියකයක්ද ලබා ගත හැක. 

වර්තමාන සුපිරි වෙළඳසල්හි කාබනික එළවලු, පලතුරු සහ කුළුබඩු කෙරෙහි පවතින විශේෂ ඉල්ලුමක් තිබේ. එබැවින් වගාකරුවන් හට තම බෝග කාබනික තත්ත්ව සහතිකය යටතේ ඉහල මිලකට වෙළඳපොළ වෙත යොමු කිරීමටද මෙහිදී අවස්ථාව සැලසෙයි.

සදෘශ වන වගාව පිළබඳව පුහුණු වැඩසටහක් අතරතුර. ඡායාරූපය: බෙලිපොල ආර්බෝරිටම් 

“බෙලිපොල පරිසර මධ්‍යස්ථානය මඟින් දේශීය මෙන්ම විදේශීය බොහෝ දෙනෙකුට අතර සදෘශ වන වගාව ප්‍රචලිත කිරීමට පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබනවා.” යැයි ආචාර්යය සේනානායක පැවසීය.

මෙම වන වගා ක්‍රමය ශ්‍රී ලංකාවේ සියලුම කුඩා ගෙවතු උද්‍යාන වෙත ගෙන ආ හැකි බවත් සදෘශ වන වගාව වෙත ජාතික මට්ටමෙ අවදානයක් යොමු කළහොත් ශ්‍රී ලංකාව තුල ආහාර සුරක්ෂිතාවය ඇති කල හැකි බවත් ආචාර්යය සේනානායකගේ අදහසයි.