• සත්ව සුභසාධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ යල් පැන ගිය නීති වසර 115 ක් පැරණි වන අතර ඒවා බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය යටතේ සිටියදී හඳුන්වා දෙන ලදී.
  • සතුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නිතර වාර්තා වීමත් සමඟ, සත්ව හිංසනයට එරෙහිව සටන් කිරීම සඳහා දැඩි නීති සම්පාදනය කරන ලෙස සත්ව හිමිකම් කණ්ඩායම් ඉල්ලා සිටිති.
  • සතෙකුට හිරිහැර කිරීම සඳහා වත්මන් දඬුවම රුපියල් 100ක් (ඩොලර් 0.27) වන අතර එය දකුණු ආසියාවේ අඩුම දණ්ඩන අතර වේ.
  • අවස්ථා 44කදී මෙය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළත් යෝජිත සත්ත්ව සුබසාධන නීතියක් සම්මත කරගෙන නැත.
  • ශ්‍රී ලංකාවේ අවුරුදු 1 1/2 ක් වයසැති රොට්වයලර් සතෙකුට මාරාන්තික වෙඩි තැබීමක් සිදුවීම, රටේ යල් පැන ගිය සත්ව හිංසන නීති පිළිබඳ කනස්සල්ල අලුත් වීමට හේතු වී තිබේ.

කොළඹ අගනුවරට කිලෝමීටර් 170ක් (සැතපුම් 105ක්) පමණ ඊසාන දෙසින් පිහිටි ගල්ගමුව ප්‍රදේශයේදී, ‘රෙක්සි’ අතුරුදහන් වූ අතර දින තුනකට පසු වනාන්තරයක තිබී උගේ මළසිරුර සොයා ගන්නා ලදී.

“අගෝස්තු 8 වෙනිදා උදේ 6.30ට විතර අපිට වෙඩි සද්දයක් ඇහුණා. අගෝස්තු 11 වනදා අපි වනාන්තරය පීරා සෙවීමට තීරණය කළ අතර එහිදී රෙක්සිව විසි කරගොස් තිබූ ස්ථානයෙන් දුර්ගන්ධයක් ඇති විය.

ප්‍රබල දුර්ගන්ධයක් පිටවීම වැළැක්වීම සඳහා වෙඩික්කරු සුනඛයාගේ මළකඳ මත ග්‍රීස් වත් කොට තිබූ බව ඔහු පැවසීය. සමාජ මාධ්‍යවල පළ කරන ලද සිද්ධියේ පින්තූර, සුරතල් සතුන්ට ආදරය කරන්නන් ඇතුළු බොහෝ දෙනා හට කෝපයක් ඇති කල අතර, දැඩි නීතිමය ක්‍රියාමාර්ගවල අවශ්‍යතාවයද හෙළිදරව් කර ඇත.

“මේක කරපු අයට ශාප වෙන්න ඕන. ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. මේ වගේ ක්‍රියා හරහා මිනිස්සු තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරනවා” යැයි එක් ෆේස්බුක් පරිශීලකයෙක් ප්‍රකාශ කළේය.

තවත් පරිශීලකයෙක් අදහස් දක්වමින්, “වෙඩික්කරු දවසක මේ පාපයට ගෙවනු ඇත.”

වෙඩික්කරු, රොට්වයලර්ගේ වම් පාදයට වෙඩි පහක් එල්ල කර ඇති අතර එම උණ්ඩ උගේ උදරයට ගමන් කර ඇති බව පොලිසිය පවසයි.

“ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා උසාවියට ​​ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා දුන්නා,” මාධ්‍යයට කතා කිරීමට බලය නොමැති බැවින් නිර්නාමිකභාවය මත කතා කළ පොලිස් නිලධාරියෙක් මොංගාබේට පැවසීය. “සතුන්ට හිරිහැර කිරීමේ ආඥාපනත යටතේ අපි ඔවුන්ට චෝදනා කළා.”

සතුන්ට හිංසා කිරීමේ ආඥාපනත යටතේ සැකකරුවන්, වරදකරුවන් වුවහොත් ඔවුන්ට ශ්‍රී ලංකා රුපියල් 100ක දඩයකට (ඩොලර් 0.27) මාස තුනක සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකටම යටත් වනු ඇත.

රොට්වයලර්ගේ මළකඳෙන් උණ්ඩ කොටස් සොයා ගැනේ. ඡායාරූපය: රොෂාන් වර්ණකුලසූරිය/මොන්ගාබේ 

පැරණි නීති ඉවත් කරන ලෙස ඉල්ලා සිටී

1907 දී හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ සත්ව හිංසනය පිළිබඳ ආඥාපනත බොහෝ විට යල් පැන ගිය සහ සත්ව හිංසනයට එරෙහි ඵලදායි බාධාවක් නොවීම සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනයට ලක්ව ඇත.

2018 වසරේ එම නීතිය යටතේ වැරදි 772ක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය විසින් ලබා දී ඇති නවතම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

මොන්ගාබේ විසින් ඊමේල්, ඇමතුම් සහ වට්ස්ඇප් පණිවිඩ හරහා නවතම නඩු සංඛ්‍යාව ලබා ගැනීමට ගත් බහුවිධ උත්සාහයන්ද නිෂ්ඵල විය.

කොළඹට දකුණින් කිලෝමීටර් 160 (සැතපුම් 99) පමණ දුරින් අහංගම ප්‍රදේශයේ අයාලේ යන සුනඛයන්ට ප්‍රතිකාර කිරීම සඳහා අභයභූමියක් පවත්වාගෙන යන පුද්ගලික ආයතනයක් වන ‘සත්ත්ව SOS’ වෙත 2022 වසරේ මේ දක්වා සත්ව හිංසනය පිළිබඳ පැමිණිලි 85ක් වාර්තා කර ඇති බව පැවසීය.

“අපට උදව් කළ නොහැකි කුරිරු සිද්ධීන් පිළිබඳ තවත් බොහෝ වාර්තා අපට ලැබේ,” ව්‍යාපෘතියේ නිර්මාතෘ කිම් කූලින් මොන්ගාබේ වෙත පැවසීය. “අපේ සායන හැමවිටම පිරී ඉතිරී යනවා. ඵලදායී නීති නොමැතිකම සහ පැමිණිලි බැරෑරුම් ලෙස නොගැනීම ප්‍රධාන සාධකයකි.

සත්ව හිංසන ක්‍රියාවන් සඳහා ශ්‍රී ලංකාව ලබා දෙන දඩුවම් දකුණු ආසියාවේ අඩුම දඬුවම් අතර වේ.

සත්ව හිමිකම් කණ්ඩායම් පවසන්නේ රුපියල් 100 ක දේශීය දඩයක් ($0.27) පලක් නොමැති අතර දශක ගණනාවක් තිස්සේ ඔවුන් දැඩි දඬුවම් ඉල්ලා සිටි බවයි.

“මෙය ප්‍රමාද කිරීමෙන් අහිංසක සතුන්ගේ ජීවිත අහිමි වෙනවා. එය කනගාටුදායක තත්ත්වයකි. අපි සාර්ථක වුණොත් අපිට ලැබෙන්නේ සතුට මිස වෙන දෙයක් නෙවෙයි.” සත්ව ක්‍රියාකාරිනියක් වන චම්පා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වැනි, රජයේ නිවාඩු දිනවල පවා ක්‍රියාත්මක වන ව්‍යාපෘති වල නීති, කඩිනමින් අත්සන් කල වාර්තාවක් අප සතු වුවද, සත්ව හිංසනය පිළිබඳ නීති සඳහා වසර 16ක් ගතවී ඇති බව මෙම ක්ෂේත්‍රයේ විශේෂඥ නීතිඥවරු දෙති.

වෙඩි තබා දින තුනකට පසු රෙක්සිගේ මළ සිරුර වනාන්තරයක දිරාපත්ව තිබියදී සොයා ගන්නා ලදී. ඡායාරූපය: රොෂාන් වර්ණකුලසූරිය/මොන්ගාබේ 

“දේශපාලකයින්, ඔවුන්ගේ ඡන්දදායකයින් අහිමි කර ගැනීමට අකමැති නිසා නීති සංශෝධනය කිරීමට උනන්දු නොවේ. තවද මස් කර්මාන්තයට සෘජුවම සම්බන්ධ බැවින් විවිධ ජාතීන්ට අයත් පුද්ගලයින්ට මේ කාරණය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් දෘෂ්ටිකෝණයන් ඇත” නීතිඥ දුල්කි සීතාවකා මොන්ගාබේ වෙත පැවසුවාය.

“සත්ත්ව හිංසනය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ලෝකයේ ප්‍රබලම නීතියක් ඉන්දියාව සතුව ඇත. ශ්‍රී ලංකාව වෙනත් පැතිවලින් ඉන්දියාවේ හඳුන්වා දී ඇති නීති සම්මත කිරීමට ඉක්මන් වුවද, එය එසේ සිදුවී නැත.

නව නීති සම්පාදනය කඩිනම් කිරීමට නිලධාරීන් ප්‍රමාද වීමේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ බටහිර ප්‍රදේශයේ, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල සත්ව හිංසන සිද්ධීන් බෙහෙවින් ප්‍රමුඛ වන බව නිරීක්ෂණය වී ඇත.

2006 වසරේ ජාතික නීති කොමිෂන් සභාව විසින් නව සත්ත්ව සුබසාධන නීතියේ පළමු කෙටුම්පත සකස් කරන ලදී. එතැන් සිට ආණ්ඩු පහක් පිහිටුවා ඇතත්, පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීම සඳහා පාර්ලිමේන්තු විවිධ අදියරයන් අවසන් කර නොමැත.

යෝජිත නීතිය සම්මත වුවහොත්, කෲර ලෙස සතෙකු මැරීම සම්බන්ධයෙන් වරදකරු වූ සැකකරුවෙකුට රුපියල් 125,000 (ඩොලර් 343) ක දඩයකට සහ වසර හතරක සිර දඬුවමකට යටත් විය හැකිය.

“මේ පනතට පක්ෂව නොව, මස් කර්මාන්තය සහ වෙනත් පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කරන ලද තර්ක සපුරාලීම දැවැන්ත අරගලයක් විය” ජාතික නීති කොමිෂන් සභාවේ අනුකමිටුවේ නීතීඥ ලලනි පෙරේරා මොංගාබේ වෙත පැවසුවාය.

“අධිකරණ ක්‍රියාමාර්ගයක් ගොනු කිරීමට ඕනෑම පුද්ගලයෙකුට බලය ලබා දී ඇති අතර අද එම බලය ඇත්තේ පොලිසියට පමණක් වීම මෙම පනත් කෙටුම්පතේ ඉතා වැදගත් ලක්ෂණයකි.”

මෙම වසරේ සංශෝධිත පනත් කෙටුම්පතේ නවතම අනුවාදය මඟින් 2006 කෙටුම්පතේ යෝජනා කර ඇති පරිදි සත්ව සුබසාධන අධිකාරියක් වෙනුවට සත්ව සුබසාධන උපදේශක කමිටුවක් පිහිටුවීමට යෝජනා කරයි.

වෙඩික්කරු රොට්වීලර්ගේ වම් පාදයට වෙඩි පහක් එල්ල කර ඇත. ඡායාරූපය: රොෂාන් වර්ණකුලසූරිය/මොන්ගාබේ 

නව නීති සම්පාදනයේ තත්ත්වය

රජයේ පනත්, කථානායකවරයා විසින් නීතිගත කිරීමට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කියවීම් තුනකට සහ කාරක සභා අවස්ථා සංශෝධන ක්‍රියාවලියකට භාජනය වේ.

සත්ව සුබසාධන පනත් කෙටුම්පත කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ පළමු කියවීම සඳහා සභාගත කර තිබුණේ මාර්තු 24 වැනි දින කැබිනට් අනුමැතිය ලැබී, මාස දෙකකට මඳක් අඩු කාලයකට පසුවය.

අප්‍රේල් 5 වැනි දින දෙවැනි වර කියවීම සඳහා එය කැඳවීමට නියමිතව තිබුණද, පෙර නොවූ විරූ මූල්‍ය අර්බුදයක් හේතුවෙන් දිවයිනේ ආර්ථිකයට බලපෑ ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය, අප්‍රේල් 3 වැනි දින සමූහ වශයෙන් ඉල්ලා අස්වීමත් සමඟම එම පනත් කෙටුම්පත දෙපසට වැටී රට අගාධයකට ඇද වැටුණි.

පනත් කෙටුම්පත 44 වතාවක් න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබුණද, එය පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීමට ගෙන නොතිබුණි. අලුත්ම ඇතුලත් කිරීම සැප්තැම්බර් 23දින වේ.

“සත්ත්ව සුභසාධන පනතේ අරමුණු ඉටුකර ගැනීමට නම්, එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව, පොලිසිය ඇතුළු සියලු දෙනා, සතුන්ට ජීවය ඇති බවට සිහියෙන් සිටිය යුතුයි” පෙරේරා පැවසීය.

ශ්‍රී ලංකාව තුළ, දැඩි නීති සඳහා වන ඉල්ලීම් බොහෝ විට බිහිසුණු සිදුවීමකින් පසුව මතුවන අතර තවත් ඛේදවාචකයක් සිදුවන තෙක් අමතකව තිබේ. ක්‍රියාකාරිකයින් පවසන්නේ, ප‍්‍රමාද වී ක්‍රියා කිරීම වඩා හොඳ බවත්, පැරණි නීතියක් වෙනුවට නවීන නීතියක් සහ වරදට සරිලන දඬුවම් සමඟින් සතුන්ට වඩා හොඳ ආරක්ෂාවක් ලබා දීම ඉතා හොඳ බවය.

Hassaan Shazuli  විසින් Mongabay වෙත ලියන ලද Dog shooting highlights Sri Lanka’s need for stricter animal cruelty laws නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.