සාගර පරිසර පද්ධතිය කෙරෙහි විශාල සේවාවන් රැසක් සිදුකරන මෝරුන් කෙරෙහි ශ්‍රී ලංකාව තුල ඇත්තේ ඉතා අඩු අවධානයක් වුවත් ගෝලීය වශයෙන් මෙම විශේෂ විශාල අවධානයකට ලක් වී ඇත. එයට ප්‍රධානම හේතුව වන්නේ මෙම සත්ත්ව කාණ්ඩ කෙරෙහි බලපා ඇති තර්ජනයන්ය.

මෝරුන් අයත් වන්නේ කාටිලේජමය මත්ස්‍ය වර්ගයේ එලෙස්මොබ්‍රාන්ච් උප වර්ගයටය. එලෙස්මොබ්‍රාන්ච් උප වර්ගයට අයත් සත්ත්ව විශේෂ සාගර පරිසර පද්ධතියේ ආහාර දාමයෙහි ඉහල පුරුකක් ලෙස ක්‍රියාකරන අතර සාගර පරිසර පද්ධතිය සමතුලිත කිරීමෙහි ලා ඉතා විශාල සේවයක් සිදුකරයි. ලොව පුරා මෝරුන් විශේෂ 450ක් පමණ හමු වේ. ශ්‍රී ලංකා මුහුදේ මෝර විශේෂ 63ක් වාසය කරන අතර, ඉන් කිහිපයක් ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ (IUCN) තර්ජනයට ලක්ව ඇති විශේෂයන්ගේ රතු ලැයිස්තුවේ වඳවීමේ තර්ජනයට ලක්ව  ඇති කාණ්ඩයට අයත් වේ.

මත්ස්‍යයන් වැනි මෝරුන් ඉතිහාසයේ ඈත අතීතයේ සිට පැවත එන බැවින් බොහෝ විද්‍යාඥයන් මෝරුන් හඳුන්වන්නේ ‘සජීවී පොසිල’ ලෙසයි. 

ලෝක මෝරුන් පිළිබඳ දැනුවත් කිරීමේ දිනය

ලෝක මෝරුන් පිළිබඳ දැනුවත් කිරීමේ දිනය 2022 ජූලි 14 දින සමරනු ලැබේ. මෙම දිනය සමරනු ලබන්නේ මෝරුන් පිළිබඳව පවතින මිත්‍යා මත සහ අනියත බිය දුරු කිරීම සඳහා සත්‍ය තොරතුරු සමාජ ගත කිරීමේ අරමුණෙනි.

මෝරුන් යනු සාගර ආහාර දාමයේ සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරන අග්‍ර විලෝපිකයන් විශේෂයකි. මෙම අග්‍ර විලෝපිකයන් නොමැති වුවහොත් ආහාර දාම බිඳ වැටෙන අතර සමස්ථ මත්ස්‍ය ගහනයම කඩා වැටෙනු ඇත.

ධීවර වරායට ගොඩ බෑ ගැහැණු මත්ස්‍යයකුගේ කුස තුල සිටි නොමේරු පැටවෙක්. ඡායාරුපය: තරුෂි පිටිගල 

මෝරුන් සහ ධීවර කර්මාන්තය 

 එලෙස්මොබ්‍රාන්ච් උප වර්ගයට අයත් මෝරුන් සහ මඩු මත්ස්‍යයින් පිළිබඳව ශ්‍රී ලංකාව තුල පර්යේෂණ සිදුකරනු ලබන සමුද්‍ර පර්යේෂණ හා සංරක්ෂණ ආයතනයක් වන Blue Resources පදනමෙහි සමාරම්භකයකු වන ඩැනියෙල් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කලේ, අහිතකර පරිසර තත්වයන් හේතුවෙන්, අධික ලෙස මසුන් ඇල්ලීමෙන්, වාසස්ථාන අහිමි වීමෙන් සහ ඇතැම් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම විශේෂ වඳ වී යාමේ තර්ජනයන්ට ලක්ව තිබෙන බවයි.

ඖෂධ, විවිධ අහාර සහ සුප් වර්ග සැදීම පිණිස මෙම විශේෂයන්ගේ කරමල්, අක්මාව සහ වරල් කෙරෙහි ඉතා අධික ඉල්ලුමක් පවතී. ඒ හේතුවෙන් මොවුන් ඉලක්ක කර ගනිමින් ධිවර කර්මාන්තයේ යෙදෙන බොහෝ පිරිසක් ශ්‍රී ලංකාව තුලත් ජීවත් වන බැව්ද, එය මෙම විශේෂ කෙරෙහි තදින් බලපාන බවද තව දුරටත් ඩැනියෙල් අනවාරණය කරන ලදී.

ශ්‍රී ලංකාව යනු දුපතක් බැවින් මිනිසුන්ගේ රැකියා අවශ්‍යතාවයන් සැලකිය යුතු ප්‍රමාණයක් ධීවර වෘත්තීන් මගින් සැපයෙන බවත් ඒ හේතුවෙන් ප්‍රෝටීන් සහ පෝෂ්‍ය පදාර්ථයන් බහුල ආහාරයක් ලෙස මෙම මත්ස්‍යයින් කෙරෙහි ධීවර කර්මාන්තයේ වැඩි නැඹුරුවක් ඇති බවයි.

“වසරකට මිලියන ගණනින් බිත්තර දමන ටූනා මත්සයින් මෙන් නොව මෝරුන් සහ මඩුවන් හට තිබෙන්නේ වෙනම ජිවන චක්‍රයක්ය. එය බොහෝ දුරට අලියාගේ සහ කොටියාගේ ජීවන චක්‍රයට සමානයි” යැයි ඩැනියෙල් පැවසුවේය.

බොහෝ අවස්ථාවන්හි මෝරුන් සහ මඩුවන් එක්වරකදී බිහි කරනුයේ පැටවුන් 1-2ත් අතර ප්‍රමාණයක් බවත්, බොහෝ විශේෂ පැටවුන් බිහි කරනුයේ වසර තුනත් හයත් අතර කාලයකට වරක් බැවින් එය ඉතා මන්දගාමී ප්‍රජනන ක්‍රියාවලියක් බවත් ඔහු පැවසීය. මෙම වර්ගයේම ප්‍රජනන ක්‍රියාවලිය වේගවත්ව සිදුකරනු ලබන ඇතැම් විශේෂ වසරකට වරක් ප්‍රජනන සමයේදී තම වර්ගයා බෝ කරයි.

මෙම විශේෂයන්ගේ වර්ධන සීඝ්‍රතාව ඉතා මන්දගාමී වීම සහ අඩු ප්‍රජනන හැකියාව හේතුවෙන්, මොවුන්ට ඇති තර්ජන සැලකිල්ලට ගනිමින් ගෝලීයව මෙම විශේෂ සංරක්ෂණය කෙරෙහි ඉතා විශාල අවදානයක් යොමු වී තිබේ. මෝරුන් සංරක්ෂණය සඳහා විවිධ රාජ්‍යයන් එක්ව ගෝලීය සම්මුතීන් පිහිටුවා අත්සන් තබා ඇත. එපමණක් නොව කලාපිය වශයෙන් හා තනි තනි රාජ්‍යයන් වශයෙන් ලොව පුරා විවිධ රටවල් විසින් සංරක්ෂණ ක්‍රියාමාර්ගයන් රැසක්ම ඒ සම්භන්ධයෙන් අනුගමනය කරනු ලබයි.

ශ්‍රී ලංකාව තුල පවතින අධික ධීවර කටයුතු මෙම විශේෂ කෙරෙහි ඉතා විශාල ලෙස බලපා තිබෙන බව අප අවබෝධ කර ගත යුතුයි. කිසිදු සංරක්ෂණ හා කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක නොවුනහොත් තත්වය ඉතා දරුණු වී මෙම සතුන් වඳ වී යා හැකියි” යැයි ඩැනියෙල් තවදුරටත් පැවසීය.

බොහෝ රටවල් විසින් තම මුහුදු සීමාවන් තුල ඇතැම් මෝරු විශේෂ ඇල්ලීම සම්පුර්ණයෙන් තහනම් කොට ආරක්ෂක සත්ත්ව විශේෂ ලෙස නම් කොට තිබෙන අතර, අනෙක් සත්ත්ව විශේෂ සඳහා මසුන් ඇල්ලීම සීමා කරමින් දැඩි නීති ක්‍රියාත්මක කොට තිබේ. බොහෝ රටවල් මෙම විශේෂයන්ගේ ප්‍රජනන සමයේදී ඇල්ලීම තවකාලිකව නවතා ප්‍රජනන කාර්යයන් සඳහා සහය දක්වන බවත් පැටවුන් කුස තුල සිටින ගැහුණු සත්ත්වයින් ඇල්ලීම සම්පුර්ණයෙන් තහනම් කොට ඇති බවත් ඩැනියෙල් ප්‍රකාශ කළේය.

මෝරුන් සාගර පරිසර පද්ධතිවල ප්‍රධාන විලෝපිකයන් ලෙස සැලකේ. මෝර වරල් සඳහා වෙළඳපල වටිනාකම ඉහල මට්ටමක පැවතීම හේතුවෙන් මෙම ඉහලම විලෝපිකයන් මත මසුන් ඇල්ලීමේ පීඩනය සැලකිය යුතු ලෙස වැඩි වී ඇති අතර වර්තමානයේ ඔවුන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සාගර පෘෂ්ඨවංශික කණ්ඩායමක් ලෙස සැලකේ.

මෝර වරල් වියළන ආකාරය. ඡායාරූපය: ලෙනින් ද සිල්වා

ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් වන අතර ප්‍රධාන මත්ස්‍ය වරායන් 21ක් දිවයින පුරා පවතී. එමෙන්ම ශ්‍රී ලංකාව මෝර මසුන් ඇල්ලීමේ ප්‍රමුඛ රටවල් 20 න් එකකි. මෝර මස් සහ වරල් සඳහා දේශීය හා ගෝලීය ඉල්ලුම වැඩි වීමත් සමඟ, ශ්‍රී ලාංකිකයන් විසින් පරිභෝජනය කරන විශේෂ මෙන්ම ගොඩබෑමේ විශේෂ සංයුතිය ද ප්‍රශ්නයට ලක්ව ඇත. 

පරිසර දූෂණය, වාසස්ථාන විනාශය සහ සාගර උෂ්ණත්වය ඉහළ යාම නිසා මෝරුන්ගේ පැවැත්ම තර්ජනයට ලක්ව ඇති අතර, අධික ලෙස මසුන් ඇල්ලීම ගෝලීය පරිමාණයේ විශාලතම තර්ජනයයි. ඇස්තමේන්තු කර ඇති පරිදි සෑම වසරකම ගෝලීය වශයෙන් මෝරුන් මිලියන 100 ක් ධීවර කර්මාන්තය විසින් මරා දමනු ලබන අතර, මෙම ඉහළ සාගර විලෝපිකයන්ගේ ගහනය අඩුවීම උග්‍ර කරයි.

ශ්‍රී ලංකාවේ මෝරුන් විශේෂ පහක් නීතියෙන් ආරක්ෂා කර ඇත. පොල්කොළ මෝරා (Carcharhinus longimanus), මිනිමුතු මෝරා ( Rhinocodon typus)සහ කස මෝරුන් විශේෂ තුන (Alopius pelagicus, Alopias superciliosus, Alopias vulpinus) එම විශේෂ වේ.

මෝරුන්ගේ වරල් කැපීම සහ මළකුණු මුහුදේ ඉවත දැමීම තහනම් වන අතර (2001 ඔක්තෝබර් 17 දිනැති ගැසට් 1206/20). ගොඩබසින සහ ගොඩබිමට ගෙන එන සියලුම මෝරුන්ගේ වරල් ශරීරයට සවිව තිබිය යුතුය.

ශ්‍රී ලංකාව තුල මෝරුන් සංරක්ෂණයේදී ඒ සඳහා ඇති ප්‍රධානම ගැටලුව වන්නේ අප භෞමික පරිසර පද්ධති සංරක්ෂණය පිළිබඳව දක්වන තරම් උනන්දුවක් සාගර පරිසර පද්ධති කෙරෙහි නොදැක්වීම බව ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය.