විමර්ශන වාර්තාකරණ මධ්‍යස්ථානය (CIR) විසින් සංවිධානය කරන ලද ‘ශ්‍රී ලාංකීය පරිසරයට කොවිඩ් -19 බලපෑම්’ පිළිබඳ පළමු හරිත සංවාදය පසුගිය බදාදා (ජූනි 16) පැවැත්වූ අතර එහිදී ප්‍රධාන වශයෙන් අවධාරණය කළේ වසංගතයෙන් මතුවන පාරිසරික තර්ජන සහ එම තර්ජන වැළැක්වීමේ පියවරයන් හා තර්ජන වලක්වා ගැනීම සඳහා අවශ්‍ය නව්‍ය ක්‍රම භාවිත කිරීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳවයි.

මෙම සංවාදය සඳහා සම්පත් දායකයන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය උපදේශක, ප්‍රජා වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය, කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්යය රංගිකා බණ්ඩාර මහත්මිය සහ ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්යය හසින්ත විජේසේකර මහතා සහභාගි විය. Internews හි ආසියානු සෞඛ්‍ය මාධ්‍ය උපදේශක ආචාර්ය ජයා ශ්‍රීධර් මහත්මිය විසින් මෙම සංවාදය මෙහෙයවනු ලැබිය.

කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා භාවිතා කරනු ලබන මුහුණු ආවරණ හේතුවෙන් දිනකදී එක්වන කසල ප්‍රමාණය සහ එක් වරක් භාවිතා කොට ඉවත් කරනු ලබන ප්ලාස්ටික් භාවිතයෙන් වැඩි වීම හේතු කොටගෙන පාරිසරික උපද්‍රවයන් රැසකට මුහුණ දෙන දූපතක්වන ශ්‍රී ලංකාව, නව අභියෝග රැසකටද මුහුණ දීමට ඉඩ ඇති බවත්, එම කසල අවසානයේදී සාගරය වෙත එක වීමෙන් සාගර පරිසර පද්ධතීන් වෙත විශාල තර්ජනයක් ඇතිවිය හැකි බවත් කමිටු සාමාජිකයින් පවසන ලදී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය උපදේශක, ප්‍රජා වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය අවධාරණය කළේ ලොව පුරා සිදුවන මරණ සම්බන්ධව, විශාල පාරිසරික අවදානමක් ද ගිනිකොණදිග ආසියාවෙන් වාර්තාවන බවයි.
අධික මරණ සංඛ්‍යාවක් සිදු වූ පරිසරයකට ඇති අවදානමට අමතරව වායු දූෂණයද සැලකිය යුතු සාධකයක් බවත් ඊට අමතරව රසායනික භාවිතය, දේශගුණික විපර්යාස යනාදිය මිනිසුන්ගේ විවිධ රෝගී තත්වයන්ට මෙන්ම මරණයට හේතුවන අවදානම් සාධක බවත් වෛද්‍ය සුරවීර මහත්මිය තවදුරටත් පෙන්වා දුන්නා ය.

වසංගත සමයේදී අඛණ්ඩ අගුලු දැමීමේ තත්වයත් සමඟ පරිසරයට වාසිදායක දේවල් කිහිපයක් සිදුවූ බවත් එම කාලය තුළදී වායු දුෂණයද යම්තාක් දුරට අඩු වූ බවත් සුරවීර මහත්මිය කියා සිටියා ය. ශ්‍රී ලංකාවේ එළිමහන් වායු දූෂණයට ප්‍රවාහන අංශය සැලකිය යුතු දායකත්වයක් සපයන අතර මේ දිනවල වාහන මඟින් සිදුවන කාබන් විමෝචනය අවම මට්ටමක පැවතීමෙන් වායු දුෂණය අඩුව ඇති බවත් එතුමිය තව දුරටත් අදහස් දක්වමින් පැවසුවා ය.
මෙවැනි වසංගත තත්වයක් තුළ එහි පාරිසරික බලපෑම ධනාත්මක හා ඍණාත්මක ලෙස ඇති විය හැකි බව වෛද්‍ය සුරවීර මහත්මිය විසින් වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.

නමුත් වසංගතය තුළ ධනාත්මක පාරිසරික බලපෑම් රාශියක් වාර්තා වී ඇතිමුත්, එම බලපෑම් මඟින් පරිසරය ආරක්ෂාවන බව සහතික කිරීම සඳහා නව්‍ය ක්‍රමවේදයන් සකස් නොකළහොත් එම වාසි තාවකාලික පදනමක් මත පමණක් විය හැකි බව ඇය වැඩි දුරටත් අවධාරණය කළා ය.

ආචාර්යය හසින්ත විජේසේකර මහතා අනතුරු ඇඟවූයේ, රෝහල් තුළ භාවිතයට ගන්නා මුඛ ආවරණ සහ පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) භාවිතය වැඩිවීම නිසා ප්ලාස්ටික් භාවිතය ඉහළ ගොස් ඇති බැවින් එම අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකොට පුළුස්සා දැමුවහොත් වායු දූෂණය ඉහළ යාමේ විශාල අවදානමක් ඇති බවත්, නිසි පරිදි කළමනාකරණය නොකළ හොත් නුදුරු අනාගතයේ ජෛව උපද්‍රවයක් බවට පත්වනු ඇති බවයි.

කොවිඩ් වෛරස ආසාදනයෙන් ආරක්ෂා වීම සඳහා පරිසර හිතකාමී ප්ලාස්ටික් හිස් ආවරණය (හෙල්මට්) සොයා ගැනීම සඳහා දායක වූ ආචාර්යය රංගිකා බණ්ඩාර සඳහන් කළේ තම කණ්ඩායම නව සැලසුමක් ඉදිරිපත් කිරීමට ප්‍රධාන හේතුව වූයේ සෞඛ්‍ය සේවකයින් විසින් පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) අධික ලෙස භාවිතා කිරීම බවයි.
“එය මනසේ තබා ගනිමින් අපට අවශ්‍ය වූයේ භාවිතයට පහසු, ලාභදායී හා දැරිය හැකි මිලකට යමක් නිර්මාණය කිරීමයි. වැදගත්ම දෙය නම් එය ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් වලින් ද සාදා තිබීමයි.” ආචාර්ය බණ්ඩාර මහත්මිය අදහස් දක්වමින් පැවසුවාය.

මෙම සාකච්ඡා මාලාව විමර්ශන වාර්තාකරණ මධ්‍යස්ථානය (CIR) හි ‘Stories from the Margin’ වැඩසටහන යටතේ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් වශයෙන් පැවැත්වුනු අතර ඊට Earth Journalism Network සහය ද ලැබුණි.