තරුෂි පිටිගල විසිනි.

මෝරුන්ගේ නම ඇසූ ඇසූ සැනින් අපට මතක් වෙන්නේ ඉතා භයානක මුහුදු සත්ත්ව කොට්ඨාශයකි. චිත්‍රපට හා නවකතා ක්ෂේත්‍රයෙහි පතුරවනු ලැබූ නොයෙකුත් මිත්‍යාවන් සහ මෝරුන් මුල් කොටගෙන නිෂ්පාදනය කෙරූ ත්‍රාසජනක චිත්‍රපට හා කතන්දර හේතුවෙන්, මිනිසුන් විශ්වාස කරන්නේ මෝරුන් ඉතා භයානක සත්ත්ව කොට්ඨාශයක් බවයි. ලොවපුරා මෝරුන් විශේෂ හාරසියයකට අධික ප්‍රමාණයක් වාර්තා වුවද මිනිස් මරණ සහ ප්‍රහාරයන්‍ සඳහා හේතුවන්නේ විශේෂ 5කට ආසන්න ප්‍රමාණයක් පමණි. ඔවුන්ගේද, ප්‍රහාර 70ක් පමණ වසරකට වාර්තාවන අතර ඒ හේතුවෙන් වසරකට මිනිස් මරණ 7-10 අතර ප්‍රමාණයක් සිදුවේ.

මෝරුන්ගේ පැවැත්ම වසර මිලියන හාරසිය විස්සක් තරම් ඈත අතීතයකට දිව යන බව පොසිල වාර්තා මඟින් අනාවරණය වී ඇති අතර එය ඩයිනෝසර් යුගයටත් පෙර කාලයේ වේ. 

මෝරුන් කාටිලේජීමය මත්ස්‍යයන් විශේෂයක් වේ. මොවුන් ජීව විද්‍යානුකූලව පරිණත වීමට විශාල කාලයක් ගතවන සත්ත්ව කොට්ඨාශයකි. මෝරුන් ආහාර ලෙස ලබා ගන්නේ ප්ලවාංගවන අතර මිය ගිය සත්ව කොටස්ද ආහාරයට ගනි. ඇතැම් මොරුන් විලෝපිකයන් ලෙස හැසිරේ. 

මෝරුන්ට ඇති විශාලතම තර්ජනය වන්නේ ඔවුන්ගේ වරල් යොදා ගනිමින් සාදන ‘මෝර වරල් සුප්’ සඳහා ආසියාතික රටවල්හි ඇති අධික ඉල්ලුමයි. සුප් සෑදීම සඳහා වසරකට මිලියන සියයකට අධික මෝරුන් ප්‍රමාණයක් මරා දමන බව වාර්තාවල සඳහන් වේ. 

මීට අමතරව ධීවර කර්මාන්තයේදීත් මිනිස් පරිභෝජනය සඳහා විශාල ලෙස මෝරුන් අල්ලා ඝාතනය කරනු ලබයි. මෝරුන්ගේ අක්මාව යොදා ගනිමින් නිපදවන මෝරතෙල් සඳහාද ඇත්තේ විශාල ඉල්ලුමකි. 

ලොව පුරා මෝරුන් විශේෂ 400කට අධික ප්‍රමාණයක් වාර්තා වේ. ඒ අතරින් විශේෂ 201ක්, IUCN රතු දත්ත වාර්තාවට අනුව වී යාමේ තර්ජනයට මුහුණ පා ඇත.

ශ්‍රී ලංකාව අවට සාගර කලාපයේ මෝරුන් විශේෂ 66ක් පමණ වාසය කරන අතර මෙම විශේෂ අතරින් බොහෝමයක්, තර්ජනයට ලක්ව තිබේ.

මෙරට මෝර විශේෂ 66 අතරෙන් අනතුරට අත්‍යාසන්න (Critically Endangered) විශේෂ 2ක්ද, අනතුරට පත් (Endangered) විශේෂ 3ක්ද (Scalloped Hammerhead සහ Grate Hammerhea) ඇතුලුව, තර්ජනයට ආසන්න විශේෂ (Near Threatened) 25ක්ද, අනතුරට භාජනය විය හැකි (Vulnerable) විශේෂ 17ක්ද, අඩු අනතුරු තත්වයේ (Least Concerned) විශේෂ 3ක්ද, තොරතුරු මද (Data deficient) විශේෂ 9ක්ද ඇතුලත්ය.

ධීවර දෙපාර්තමේන්තුවේ වාර්තාවනට අනුව ශ්‍රී ලංකාව තුල මෝරුන් සැලකිය යුතු ප්‍රමාණයක් ධීවර කර්මාන්තයේ දී ඝාතනයට ලක් වේ. CITES ජාත්‍යන්තර සම්මේලනය මගින් ප්‍රකාශයට පත් කොට ඇති ආකාරයට ආරක්ෂිත මෝර විශේෂ අතරින් කිහිපයක්ම ශ්‍රී ලංකා  මුහුදු කලාපයේ වාසය කරන අතර Ocenic white tip මෝර විශේෂයද ඊට ඇතුළත්ය. නීති විරෝධී ලෙස මෝරුන් ඝාතනය කරන රටවල් ලයිස්තුවට ශ්‍රී ලංකාවද ඇතුළත් වීම නම් කණගාටුවට කරුණකි.

ගැඹුරු මුහුදේ මෙන්ම නොගැඹුරු මුහුදේත් ජීවත්වන මෝරුන්, පරිසර පද්ධති කෙරෙහි ඔවුන්ගේ වැදගත්කම මෙන්ම ඔවුන් මුහුණපා ඇති තර්ජනයන් පිළිබඳව මිනිසුන් දැනුවත් කිරීම සඳහා මෝරුන් පිළිබඳ දැනුවත් කිරීමේ දිනයක් ප්‍රකාශයට පත් කරන ලදී. 2021 වර්ෂයේ මෝරුන් පිළිබඳව දැනුවත් කිරීමේ දිනය ජූලි මස 14 වැනි දිනට යෙදී තිබේ.