සවනි ශේෂාධි විසිනි.

ශ්‍රී ‘මානව ශිෂ්ඨාචාරයේ තිඹිරිගෙය’, ‘හරිත පෙනහලු’, මෙන්ම ‘ජෛව විවිධත්වයේ තොටිල්ල’ ලෙසින් හඳුන්වන තෙත්බිම් පරිසර පද්ධති, මිහිපිට කිසිවෙකුටත් මිල කල නොහැකි දෑ ගනයට සදාකාලිකවම අයත්ය. නමුත් ඉඩම් කට්ටි කොට විකුණන මුදලාලිලාගේ ගණන් හිලව් බැලිල්ලට, තෙත් බිම් නතුව තිබෙන බව අප කාටත් නොරහසකි. පොත් පිරෙන්නට නීති තිබුණද ඒවායේ හිඩැස් අතරින් රිංගා ගොස් තෙත් බිම් වනසන අවස්ථා දැන් එමටය. 

තෙත් බිම් ගණයට අයත් වන විල්ලු පරිසර පද්ධතිය. ඡායාරූපය: තරුෂි පිටිගල 

තෙත් බිමක් යනු

රැම්සා සම්මුතියට අනුව තෙත් බිමක් ලෙස හඳුන්වන්නේ බාදිය මට්ටමේ සිට මීටර් 6ට අඩු මුහුදු ප්‍රදේශද ඇතුළත්ව, ගලායන හෝ නිශ්චලව පවතින මිරිදිය, කිවුල් දිය හෝ ලවණ ජලයෙන් තාවකාලිකව හෝ ස්ථිරව යට වී ඇති ස්වාභාවික හෝ කෘත්‍රිම වගුරු බිම්, විල්ලු, ජලාශ, ජල මාර්ග, ඇල ඉඩම් සහ පිහිටි ඉඩම්ය. 

ඒ අනුව ගංගා, වැව්, කුඹුරු, ජල මාර්ග, ජලාශ, කළපු, ගං මෝය, කඩොලාන පරිසර පද්ධති, වගුරු බිම් ආදිය තෙත් බිම් ලෙස සැලකේ. තෙත් බිමක් යනු ජෛව විවිධත්වයෙන් අනූන වූ පරිසර පද්ධතියකි. එහි වැවෙන ශාක සේම ජීවත්වන සත්ත්ව ප්‍රජාවද එම පරිසර පද්ධතියට ආවේණික වූ සුවිශේෂී අනුවර්තනයන් දක්වයි.

රැම්සා සම්මුතියය

ලෝකයේ දැනට ක්‍රියාත්මක පැරණිතම අන්තර්ජාතික එකඟතාව ලෙස සැලකෙනුයේ රැම්සා සම්මුතියයි. ඉරානයේ රැම්සා නුවරදී 1971 වසරේ රටවල් 18ක නියෝජිතයන් විසින් මෙසේ අන්තර්ජාතික වශයෙන් සම්මුතික එකඟතාවයකට එළැඹීම සඳහා පාදක වූයේ 1960 දශකයේදී යුරෝපය තුළ ශීඝ්‍ර ලෙස තෙත් බිම් ප්‍රමාණ අඩුවීම හා එනිසා ජලාශ්‍රිත පක්ෂීන් වඳවී යෑමට පටන් ගත් නිසායි. 

තෙත් බිම් සුරැකීම සඳහා සන්ධානගත වීමේ ප්‍රතිඵලයක් ලෙස 1971 වසරේ පෙබරවාරි 2 වනදා රැම්සා නගරයට රැස්වී පොදු ප්‍රජාවක් ලෙස අත්සන් තැබුණු සම්මුතිය, 1975 වසරේ සිට ලෝකය පුරා ඇති රටවල තෙත් බිම් සංරක්ෂණය උදෙසා බලාත්මක විය. රැම්සා සම්මුතිය සමඟ මේ වනවිට ලොව රටවල් 171කට අධික සංඛ්‍යාවක් බැඳී ඇති අතර එහි පරමාර්ථය ලෙස දැක්වෙනුයේ ‘ලොව පුරා තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීම උදෙසා ස්ථානීය මෙන්ම ජාතික හා අන්තර් ජාතික සහයෝගිතාව මගින් සියලු තෙත් බිම් සංරක්ෂණය කිරීම හා නැණවත්ව භාවිත කිරීම’ යන්නය. 1978 වසරේ ජූනි 22 වන දින ශ්‍රී ලංකාවද රැම්සා සම්මුතියේ පාර්ශ්වකරුවකු විය.

තෙත් බිමක වැදගත්කම

ජලය පිරිපහදු කරමින් භූගත ජල ගබඩාවක් සේ ක්‍රියා කරන තෙත් බිම් පරිසර පද්ධති ගංවතුර පාලනයට ලබා දෙනුයේ මහඟු පිටුවහලකි. වර්ෂාධික කාලයේදී ගලා යන වැඩි ජල ප්‍රමාණ අවශෝෂණය කර ගනුයේද තෙත් බිමය. ඒවා යළි මුදා හැරෙන්නේ නියං සමයේදීය. තෙත් බිම් සැබැවින්ම ක්‍රියා කරනුයේ ස්පොන්ච් එකක් ලෙසය. ගලා යන ජලයෙහි පවත්නා විස ද්‍රව්‍ය තෙත් බිම් තුල තැන්පත් වේ. ජලය පිරිපහදු කරන පෙරහන්කඩක් ලෙසද තෙත්බිම් ක්‍රියා කරයි. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ ලොව පුරා වසරකට ජලය ගැලුම් මිලියන 15ක් තෙත් බිම් මගින් උරා ගන්නා බවයි.

තවද ස්වාභාවික වනාන්තරයකින් අවශෝෂණය කර ගන්නා කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙන් ඉහළ ගුණයක කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වඩා කාර්යක්ෂම අයුරින් තෙත් බිම් පරිසර පද්ධතියකින් අවශෝෂණය කරගනී. සැබවින්ම ඒවා කාබන් සංචිත ලෙස ක්‍රියා කරයි. නයිට්‍රජන්, කාබන්, පොස්පරස් ආදී පෝෂක රඳවා ගනිමින් පෝෂණ චක්‍රයද පවත්වා ගෙන යයි. ගෝලීය උෂ්ණත්වය පාලනයෙහිලා සුවිශේෂී හැකියාවක් තෙත් බිම් සතු වන්නේද මේ නිසාමය. අවට පරිසරයේ වෙසෙන සතුන් බොහෝ ගණනක් තෙත් බිම් ආශ්‍රිතව දිවි ගෙවනවා සේම එය සංචාරක කුරුල්ලන්ගේද පාරාදීසයකි. වසරකට වතාවක් මෙරටට සංක්‍රමණය කරන දස දහස් ගණනක් වූ සංචාරක කුරුල්ලෝ තෙත් බිම්වල කැදැලි තනා තම පැටවුන් බිහිකරති.

සංචාරක කුරුළු පාරාදීසයක් වූ තෙත් බිම් පරිසර පද්ධතිය. ඡායාරූපය: විශ්ව සචිත්

ලෝකයේ ප්‍රධාන ආහාරයක් වන සහල් නිෂ්පාදනයද සිදුකරනුයේ නිවර්තන කලාපීය රටවල කෘෂි තෙත් බිම් තුලය. බාහිර පද්ධති සමග තෙත් බිම් අන්තර් වශයෙන් බැඳී ඇති නිසා ගංගා, ඇළ‍ දොළ, ජල මූලාශ්‍ර, කළපු, වගුරු වැනි උප පද්ධතිවලටත්, වැලි, මැටි, රොන්මඩ හා කාබනික කොටස් වෙරළට පරිවහනය කිරීමෙන් වෙරළ පෝෂණයටත්, එකවර විශාල ජල පරිමාවක් ගබඩා කරගනිමින් ජලාශ හා ගංගා පිටාර ගැලීම වළක්වා ගැනීමටත් තෙත් බිම් ඉවහල් වේ.

ශ්‍රී ලංකාවේ තෙත් බිම්……….

මේ වන විට වර්ග කිලෝමීටර 2,740කට ආසන්න ප්‍රමාණයක් පුරා තෙත් බිම් හතළිස් එකක් පමණ ව්‍යාප්තව ඇතැයි සැළකේ. එම සංඛ්‍යා ලේඛන නිශ්චිත බව සහතික කළ නොහැක්කේ මේ වන විට වන භුමි සේම තෙත් බිම්ද මිනිස් ග්‍රහණයට නතුව පවතින නිසාය. රැම්සා සම්මුතියට ප්‍රකාරව මෙරට සියලු තෙත් බිම්වල අයිතිය පැවරී ඇත්තේ වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටය.   අභ්‍යන්තර මිරිදිය තෙත් බිම්,  කෘත්‍රිම තෙත් බිම්,කරදිය තෙත් බිම් ලෙස මෙරට පිහිටි තෙත් බිම් ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනක් යටතට ගැනේ. 

ලංකාවේ රැම්සා තෙත් බිම්…

ලෝකයේ රටවලට සාපේක්ෂව ලංකාව ඉතා කුඩා රටක් වුවත් ජෛව විවිධත්වය අතින් පොහොසත් රටක් බව නොරහසකි. බූන්දල ජාතික වනෝද්‍යානය (හෙක්ටයාර් 6210), ආනවිලුන්දාව වැව් අභයභූමිය (හෙක්ටයාර් 1397), මාදු ගඟ අභයභූමිය (හෙක්ටයාර් 915), වන්කාලෙයි අභය භූමිය (හෙක්ටයාර් 4839), කුමන කුඩුම්බිගල තෙත්බිම (හෙක්ටයාර් 19011) හා විල්පත්තු ජාතික වනෝද්‍යානය  (හෙක්ටයාර් 165800) අන්තර්ජාතික වශයෙන් වැදගත් “රැම්සා තෙත්බිම්” ලෙස නම් කොට තිබේ.

මෙරට ප්‍රථම තෙත් බිම ලෙස සැලකෙනුයේ 1969 දෙසැම්බර් 05 වැනි දින අභය භූමියක් ලෙසටත් 1993 ජනවාරි 04 වැනි දින ජාතික උද්‍යානයක් බවටත් පත්වූ 1990 වර්ෂයේ ඔක්තෝබර් 15 වැනි දින ප්‍රකාශයට පත් කෙරුණු බුන්දල ජාතික වන උද්‍යානයයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි මෙහි බිම් ප්‍රමාණය හෙක්ටයාර් 6216ක් පමණ වේ. මාදුගඟ, රැම්සා තෙත් බිමක් ලෙස 2003 වසරේදී ප්‍රකාශයට පත් කෙරුණු අතර එය 2006 ජුනි 20 වැනි දින අභය භූමියක් ලෙසද නම් කෙරිණි. හෙක්ටයාර් 2300ක් පුරා පැතිර ඇති මෙහි අභ්‍යන්තර තෙත් බිම් මෙන්ම දූපත් විශාල සංඛ්‍යාවක්ද පවතී. පුත්තලමේ පිහිටි ආනවිලුන්දාව 1997 ජුනි 11 දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ අභයභූමියක් ලෙස නම් කෙරුණු අතර එය  2001 අගෝස්තු 03 දින මෙරට රම්සා තෙත් බිම අතරට ඇතුළත් කෙරිණි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් 1980දී අධ්‍යාපන හා සංරක්ෂණය කළ යුතු කලාපයක් ලෙස හඳුනාගත් බෙල්ලන්විල, අත්තිඩිය ප්‍රදේශය අභය භූමියක් ලෙස 1990 ජූලි 25 වැනි දින ප්‍රකාශයට පත් කලේය.  හෙක්ටයාර 372ක පමණ බිම් ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අත්තිඩිය ආසියාවේ වැදගත්ම තෙත් බිම් නාමාවලියටද ඇතුළත්ව ඇත. බෙල්ලන්විල, බොරලැස්ගමුව, පැපිලියාන, නැදිමාල, නුගේගොඩ ආදී නාගරික ප්‍රදේශවලට පතිත වන වැසි ජලය උරාගෙන රඳවා තබා ගන්නා භූමිය වන්නේද මෙයයි.

හෙක්ටයාර 1285ක භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇති මුතුරාජවෙල, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අභය භූමියක් ලෙසට ප්‍රකාශයට පත් කලේ 1996 ඔක්තෝබර් 31දාය. හැමිල්ටන් ඇළ ආශ්‍රිතව පිහිටි මේ බිම සංචාරක පක්ෂීන්ගේ සුන්දර නවාතැන්පොළකි. 

ප්‍රථම තෙත් බිම් අගනගරය…..

ලෝකයේ ප්‍රථම වතාවට 2019දී ප්‍රකාශයට පත් කළ රැම්සා තෙත් බිම් නගර 18 අතරට කොළඹ හා ශ්‍රී  ජයවර්ධනපුර නාගරික තෙත්බිම් ප්‍රකාශයට පත්වන්නේ ලෝකයේ නගර තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත්වන අග නගරයක් ලෙසටයි. රැම්සා සම්මුතිය මගින් කොළඹ නගරය ලෝකයේ ප්‍රථම තෙත් බිම් අග නගරය ලෙස නම් කෙරුණේ 2019දී ඩුබායිහි පැවැති එහි පාර්ශ්වකරුවන්ගේ සැසිවාරයේදීය. ලෝකය ඉතා වේගයෙන් නාගරීකරණය කරා ගමන් කරද්දී නොදැනීම හරිත භූමි කොන්ක්‍රීට් භූමි බවට පත් වේ. කොළඹට වැටෙන වැසි ජලයෙන් 39%ක් රඳවා තබා ගන්නේ නාගරික තෙත් බිම් මගින් වුවත් අද වනවිට නාගරික තෙත් බිම් විශාල ප්‍රමාණයක් විනාශ වී අවසන්ය.

රටක් ලෙස ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සහ පාරිසරික සුවිශේෂීත්වය ඇගැයුමට ලක්කරමින් කොළඹ නගරය අන්තර්ජාතික වශයෙන් ඉතා ඉහළ පිළිගැනීමකට ලක්විය. රැම්සා සම්මේලනය මගින් 2015 සිට තෙත් බිම් නගර සංකල්පය ලොවට හඳුන්වා දුන් අතර කෝට්ටේ අභයභූමිය, බැද්දගාන තෙත් බිම් උද්‍යානය, කොළොන්නාව තෙත් බිම්, බේරේ වැව, තලවතුගොඩ දියසරු උයන කේන්ද්‍රීය තෙත්බිම්, තලංගම වැව පාරිසරික ආරක්ෂණ කලාපය, බෙල්ලන්විල, අත්තිඩිය අභයභූමිය ආශ්‍රිතව පිහිටි තෙත්බිම් කොළඹ නාගරික තෙත් බිම් යටතට ගැනේ.

මිනිස් ක්‍රියාකාරකම් සහ ජීවනෝපායන් රාශියක් තෙත් බිම් ආශ්‍රිතව සිදු වේ. ඡායාරූපය: තරුෂි පිටිගල 

මිනිස් ක්‍රියාකාරකම් ක්‍රියාකාරකම් නිසා තර්ජනයට ලක් වී ඇති තෙත් බිම් 

බොහෝ කර්මාන්ත ශාලාවල අපජලය රහසේම තෙත් බිම් වෙත බැහැර කෙරෙන බව කවුරුත් දන්නා කරුණකි. ඒ හැරුනු කොට මස් පිණිස මරණ සතුන්ගේ අතුණු බහන්, පොලිතීන්, ප්ලාස්ටික්, ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය, කඩා ඉවත දැමූ ගොඩනැගිලිවල අබලි ආදී දේවල්ද එම ලැයිස්තුවෙහි පෙළ ගැස්විය හැක.

බොහෝ ඉස්සන් කොටු ඇත්තේද තෙත් බිම් ආශ්‍රිතවය. ඒවා ඉදි කරනුයේ ඒ අසළ ඇති කඩොලාන කපා දමාය. එසේ කපන අතුවලින්ම ඉස්සන් කොටු සාදති. තෙත්බිම් ආශ්‍රිත සංචාරක ව්‍යාපාර නිසා නිතර දෙවේලේ දිය පාර අතරින් ගමන් කරන බෝට්ටු ආදියද මේ පරිසරයට එක් කරනුයේ සුළු පටු තර්ජනයක් නොවේ. වැලි ගොඩ දැමීමද තෙත්බිම් පද්ධතිවලට කරනුයේ දැවැන්ත විනාශයකි. තවද සමහරු තෙත්බිම ගිනි දල්වා ලීමටද උත්සුක වේ. පසුගිය කාල වකවානුවේදී මීගමුව ආශ්‍රිතව එවන් ගිනි තැබීම් කිහිපයක්ම වාර්තා විය. ඒ බෙහෝ දුරට දඩයම් කිරීම සඳහාය. නැති නම් අනවසරයෙන් ඉඩම් අල්ලා ගැනීමටය. ඒ අයුරින් මුතුරාජවෙල, පිළියන්දල, බෙල්ලන්විල, අත්තිඩිය, බොල්ගොඩ, මාදිවෙල ආදී ප්‍රදේශ කිහිපයක තෙත්බිම් ගොඩ කිරීම් පහුගිය වකවානුවේ අනාවරණය විය.

අතීතයේ පැවති මුළු තෙත්බිම් භූමි ප්‍රමණය අද වන විට සංඛ්‍යා දත්ත අනුව ක්‍රමයෙන් පහළ යයි. මීගමුව මුන්නක්කරය ප්‍රදෙශයේ කලපුවට අයත් භූමියක් ක්‍රීඩා පිටියක් සේ සංවර්ධනය කිරීමටට පසුගිය දිනවල බොහෝ පිරිසක් උත්සහා දැරූහ. එම භූමියට කැළි කසළ පවා බැහැර කර ඇති අයුරු එහි ගිය අයකුට දැක ගත හැකි සුලබ කරුණක් විය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදි කිරීම් කරන සමයේ ඒ අවට වූ තෙත්බිමෙහි වපසරිය අක්කර දහසක් පමණ යැයි ගණන් බලා තිබුණද පසුගිය කාලය වන විට එහි සමස්තය අක්කර හයසිය ගණනක් දක්වා පහළ බැස ඇති බවට පරිසරවේදීහු අනුමාන කරති. දියවන්නා ඔයෙහි වැවෙන ඇල්ගී විශේෂයක් නිසා එහි ජලයෙහි පැහැය වෙනස්වීම ඇතුළු තවත් කාරණා ගැන සොයා බැලීමට පරිසර අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පිරිසකගෙන් සමන්විත කමිටුවක්ද පත් කලේය. එහිදී අනාවරණය වී තිබුණේ දියවන්නා ඔය පෝෂණය වන කුඩා දිය පාරවලට අධික ලෙස විෂ රසායන එක් වීම ඊට මූලික වශයෙන් බලපාන බවය. 

දිනෙන් දින ඉහළ යන උෂ්ණත්වය හමුවේ තෙත්බිම් විනාශ වීමත් එක් අඳුරු පැති කඩකි. එමෙන්ම වායු දූෂණය ඉහළ යාම තවත් එක් අනතුරු ඇඟවීමකි. ලංකාවට බලපෑ සුනාමි තත්ත්වයේදී සමහර ප්‍රදේශ ප්‍රචණ්ඩ මුහුදු රළින් ආරක්ෂා වූයේ ස්වාභාවික බැම්මක්ව තිබූ කඩොලාන පරිසර පද්ධති නිසා බවද නොරහසකි. එහෙත් අද වන විට එම ස්වාභාවික තෙත් බිම් කොතරම් ප්‍රමාණයක් ඉතිරි වී ඇත්ද යන්න පැනයකි.