තරුෂි පිටිගල විසිනි
පුරවැසි විද්‍යා සංකල්පය මෑත කාලය තුළ ලොව පුරා වැඩි වැඩියෙන් ප්‍රචලිත වූ සංකල්පයක් වේ. එය වඩාත් ප්‍රචලිත වෙමින් පවතින්නේ විද්‍යාත්මක දැනුම වැඩි කිරීම සහ විද්‍යාත්මක පර්යේෂණ සඳහා මහජන සහභාගීත්වය, සහයෝගීතාවය මත පදනම්ව දත්ත අධීක්‍ෂණය සහ එකතු කිරීමේ වැඩසටහන් වැඩි වශයෙන් යොදා ගන්නා බැවිනි.
පුරවැසි විද්‍යාව වැඩි වශයෙන් යොදාගන්නේ මහජනතාව භෞතික ලෝකය තුලින් තමන් නිරීක්ෂණය කරන දේ, විද්‍යාත්මක ක්‍රම වේදයකටහෝ ක්‍රමවත් ක්‍රම වේදයකට අනුව සිදු කොට ප්‍රජාවට තොරතුරු වශයෙන් සැපයීමේදීය. මෙමගින් සාමාන්‍ය ජනතාව තුළ විවිධ ක්ෂේත්‍රයන් කෙරෙහි සිදු කරනු ලබන නිරීක්ෂණ සහ දැනුම, විද්‍යාත්මක පර්යේෂණ සිදු කරනු ලබන විද්‍යාඥයින්ට ප්‍රයෝජනයට ගත හැකි අයුරේ වැදගත් සංකල්පයක් ද වන බැවින්, පුරවැසි විද්‍යා කණ්ඩායම් ප්‍රචලිත කරනු ලබන දත්ත, විද්‍යාඥයින් හා තිරසාර සංවර්ධන සැලසුම් සකසන අය සඳහා ඉතා වැදගත් මූලාශ්‍රයන් බවට පත්ව ඇත. එම දත්ත විද්‍යාත්මක තොරතුරු වල නිරවද්‍යතාව වැඩිදියුණු කිරීම සඳහා විශාල වශයෙන් ඉවහල් වේ.
පුරවැසියන්, පුරවැසි විද්‍යාවේ නියැලීමේ ප්‍රතිලාභ ලෙස පාරිසරික යුක්තිය වැනි සමාජ අරමුණු විශේෂයෙන් සැලකිය හැක. එමෙන්ම පුරවැසි විද්‍යා දත්ත තුළ දිගුකාලීන වටිනාකමක් සහ විද්‍යාත්මක පර්යේෂණ සඳහා වැදගත් දායකත්වයක් ඇති බව ලොව පුරා විවිධ විද්‍යාඥයින් බොහෝ දෙනෙකු හඳුනාගෙන ඇත.
අනෙක් වැදගත්ම දේ නම් කුතුහලයෙන් හෝ අවදානයෙන් සිටින පුද්ගලයන් හට හා තම වටපිටාව තුළ පර්යේෂණ දියුණු කිරීමට ආශාවෙන් පෙළඹී සිටින පුද්ගලයින් හට, පුරවැසි විද්‍යාව හරහා විද්‍යාව තුළ ඇති හිඩැස් නැති කිරීමට හැකියාවක් ලැබීමයි.
“යම් අයෙකු කුමක් හෝ ක්ෂේත්‍රයක විද්‍යාත්මක පර්යේෂණ හෝ නිරීක්ෂණ සිදුකරනවා නම් හෝ එම දත්ත විධිමත් ආකාරයකට සටහන් කරන්නේ නම් හෝ ජනතාව ඉදිරියට ගෙන එනවා නම්, එවැනි පුද්ගලයකු ජනතා විද්‍යාඥයකු/ පුරවැසි විද්‍යාඥයකු ලෙස හඳුන්වනු ලබනවා” යැයි ආචාර්යය ජගත් ගුණවර්ධන පැවසුවේය.
මෙම පුරවැසි විද්‍යාඥ සංකල්පය A සිට Z දක්වාම පරාසයක ව්‍යාප්තව පවතින සංකල්පයක් වන අතර A නියෝජනය තාරකා විද්‍යාව (Astronomy) සහ පුරාවිද්‍යා (Archeology) ක්ෂේත්‍ර ද Z සත්ත්ව විද්‍යාව (zoology)ද නියෝජනය වන බව ආචාර්යය ගුණවර්ධන පැවසුවේය.
“පුරවැසි විද්‍යාඥයෙකු වීමට විශේෂයෙන් වැදගත් වනුයේ එම පුද්ගලයා තුල ඇති අසීමිත උනන්දුවයි.” ආචාර්යය ගුණවර්ධන විශේෂයෙන් සඳහන් කළේය.
දියුණු වන ජංගම දුරකථනයේ වැදගත්කම
පසුගිය වසර කිහිපය තුළ, පුරවැසි විද්‍යා ක්ෂේත්‍රය වඩාත් වේගයෙන් ව්‍යාප්ත වී ඇත්තේ, ඩිජිටල් මාධ්‍ය හරහා වැඩි වශයෙන් තොරතුරු බෙදා ගැනීමට ඇති පහසුකම හේතුවෙනි. වර්තමානයේ සෑම කෙනෙකුම පාහේ අන්තර්ජාලය සහ ස්මාර්ට්ෆෝන් සමඟ දැඩි සම්බන්ධතාවයක් පවතින අතර බොහෝ ජංගම දුරකථනයන්හි තත්‍ය කාලීන GPS ග්‍රාහක හා සම්බන්ධ වීමේ පහසුකම ඇත. එසේ තත්‍ය කාලීන GPS ග්‍රාහක ඇති දුරකථන වලින් සන්නද්ධ පුරවැසි විද්‍යාඥයින් හට විශේෂයන් පිළිබඳ හෝ පරිසර තත්වයන් පිළිබඳ නිවැරදි භූ-ස්ථාන තොරතුරු පහසුවෙන් ලබා දිය හැක.
එබැවින් ලොව පුරා මිලියන සංඛ්‍යාත පුද්ගලයින් ඔවුන්ගේ වටපිටාව නිරීක්ෂණ කරමින් එම දත්ත බෙදාගන්නා අතර යම් විද්‍යාත්මක පර්යේෂණයක් සඳහා නිවැරදි දත්ත සැකසීමටත්, නව සත්ව හා ශාක විශේෂයන් හඳුනා ගැනීමටත්, දැනටමත් සොයා ගෙන ඇති සත්ත්ව විශේෂයන්ගේ නව වාසස්ථාන හා ඔවුන් ව්‍යාප්තව ඇති ආකාරය වඩා නිරවද්‍ය ලෙස වාර්තා කිරීමටත් උදව් කරයි. අද වන විට මේ සඳහා උනන්දුවක් දක්වන තරුණ පිරිස් පුරවැසි විද්‍යාඥයන් ලෙස විශාල කර්තව්‍යක් ඉටු කරමින් සිටි.
“වර්තමානයේ වෘත්තීමය වශයෙන් විවිධ ක්ෂේත්‍රහි නිරත වී සිටින පුද්ගලයින් ඔවුන්ගෙ ක්ෂේත්‍රයෙන් පරිබාහිරව පරිසර ක්ෂේත්‍රයේ පුරවැසි විද්‍යාඥයින් ලෙස නිරත වීමට ප්‍රධානම හේතුවක් ලෙස කැමරා සහිත ජංගම දුරකතතන සැලකිය හැකියි. ශාක සම්බන්ධ නිරීක්ෂණ බොහෝ දෙනා ජංගම දුරකතන මඟින් ජයාරූප ලබා ගනී.” ශාක නීරීක්ෂණ හා පර්‍යේෂණ කටයුතු වල නියුතුව සිටින සනත් හේරත් පැවසුවේය.
iNaturalist අන්තර්ජාල මෙවලම ශ්‍රී ලංකාවේ ප්‍රචලිත එවැනි විශාල පුරවැසි විද්‍යා ජාලයකට ඉතා හොඳ උදාහරණයකි. බොහෝ පර්යේෂකයන්ට නව සත්ත්ව විශේෂ සම්බන්ධවත්, සත්ත්ව විශේෂයන්ගේ නව වාසස්ථාන පිළිබඳවත්, සත්ව විශේෂයන්ගේ ව්‍යාප්තිය හා වර්ණරූපී ආකාර මෙන්ම ඔවුන්ට ඇති තර්ජන දැනගැනීමටත් මෙම ජාලය යොදාගනු ලබනවා. මීට අමතරව විවිධ විද්‍යාත්මක පැතිකඩයන් සඳහා Zooniverse, Global Citizen Science Partnership, Budburst, SciStarter, earthdive, eBird, NestWatch වැනි ක්‍රියාකාරී පුරවැසි විද්‍යා මෙවලම්ද භාවිතයේ ඇත.
200,000 අධික සහභාගිවන්නන් මිලියන 5කට අධික වර්ගීකරණයකට දායක වීම; සතියක් තුළ, වසර 48ක පර්යේෂණයකට දායක වීමකට සමාන වන බව Zooniverse වාර්තා කොට තිබුණි. ඊට අමතරව පුරවැසි විද්‍යාඥයින් සක්‍රීය පර්යේෂණ ව්‍යාපෘති සමඟ සම්බන්ධ කරන වෙබ් අඩවියක් වන SciStarter, 2020 වර්ෂය තුළ ව්‍යාපෘති සඳහා දායකත්වයේ විශාල වැඩිවීමක් තිබෙන බව වාර්තා කළේය. California Academy of Sciences සහ National Geographic Society හි ඒකාබද්ධ මුලපිරීමක් වන iNaturalist, 2021 වර්ෂයේදී නිරීක්ෂණ මිලියන 30ක් සම්පුර්ණ කොට තිබුණි. කුරුළු කූඩු නැරඹීමට මිනිසුන් දිරිමත් කරන NestWatch හි පරිශිලකයන්ද විශාල ලෙස වැඩි වී තිබු බව ඔවුන් වාර්තාකොට තිබුණි.
ආචාර්යය ජගත් ගුණවර්ධන පවසන්නේ බොහෝ ජනතා විද්‍යාඥයින් ඔවුන් හට එම ගෞරව නාමය ලැබී ඇති බව පවා නොදන්නා බවයි. නමුත් inaturalist, ebird මෙන්ම ඉතා විශාල ඉතිහාසයක් ඇති පක්ශි කවය, තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය වැනි සංගම් වල විද්‍යාත්මක නිරීක්ෂණ හා දත්ත රැස් කොට ඉදිරිපත් කරන සියල්ලන්ම පුරවැසි විද්‍යාඥයින් ලෙස ඔහු සලකනු ලබන බවත් පැවසුවේය.
විද්‍යාත්මක පර්යේෂණ සඳහා වර්තමාන දායකත්වය
පුරවැසි විද්‍යාඥයින් බොහෝ අවස්තාවන්හීදී පුර්ණකාලීන විද්‍යාඥයින් නොවන නමුත්, බොහෝ විට විද්‍යාත්මක ක්ෂේත්‍රයක සේවයේ නියුතු, පුහුණු වෘත්තීමය විද්‍යාඥයින් සමඟ සහයෝගීව කටයුතු කළ හැකි ප්‍රජාවන් වේ. මෙම පුරවැසි විද්‍යා සංකල්පය එවැනි ප්‍රජාවන්ගේ සහයෝගයෙන් සිදු කරනු ලබන විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාවලියක් වේ. පුරවැසි විද්‍යාඥයින් හට වෘත්තීමය විද්‍යාඥයින් ලෙස සේවයේ යෙදී සිටින ප්‍රවීණයන්ගෙන් විද්‍යා අධ්‍යාපනය ලබා ගැනීමට හෝ පර්යේෂණවලට සහභාගි වීමට හැකියාවක් ලැබේ.
මහාචාර්යය සුරේෂ් පී. බෙන්ජමින්, ශ්‍රී ලංකාවේ සිටින කීර්තිමත් විද්‍යාඥයකු වන අතර ඔහු තම පර්යේෂණ කටයුතු සඳහා පුරවැසි විද්‍යාඥයින්ගේ සහය නිරතුරුව ලබා ගනී.
“විද්‍යාඥයකු ලෙස අපට රටෙහි සෑම තැනකටම යෑමට නොහැකියි. නමුත් පුරවැසියන් තමන්ගේ වටපිටාවේ නිරීක්ෂණ වෙබ් අඩවි වෙත හා ට්විටර් ජාලය වෙත යොමු කරනු ලබනවා. එවිට එම සත්ත්ව විශේෂයන්ගේ ව්‍යාප්තිය පිළිබඳව ප්‍රාරම්භක පරීක්ෂණ සිදු කිරීමට පහසුයි.” මහාචාර්යය බෙන්ජමින් ප්‍රකාශ කළේය.
විද්‍යාවට උනන්දුවක් දක්වන තරුණ ප්‍රජාව දිරිමත් කිරීමෙහි අරමුණින් පුරවැසි විද්‍යාවෙහි නියැලෙන තරුණ තරුණියන් හා පරිසරය කෙරෙහි උනන්දුවක් දක්වන, පාසල් අධ්‍යාපනය නිම වී සිටින සිසුන් හා විශ්ව විද්‍යාලයන්හි ඉගෙනුම ලබන සිසුන් හට මහාචාර්යය බෙන්ජමින් ඔහුගේ පර්යේෂණ කටයුතු සමඟ නියැලීමට අවස්ථාව ලබා දෙන බවත් එම අවස්ථාවන්හිදී තරුණ ප්‍රජාව ඉතා උනන්දුවෙන් ඒ සඳහා යොමු වන බවත් වැඩි දුරටත් ප්‍රකාශ කළේය. “එවැනි අවස්ථාවන්හිදී ඔවුන් ස්ථානීය මාර්ගෝපදේශකයන් ලෙසද සහය දක්වනවා.” ඔහු ප්‍රකාශ කළේය.
තම ගෙවත්තේ වාසය කරන කෘමි සතුන් නිරීක්ෂණය කරමින් පුරවැසි විද්‍යාඥ දිවිය ආරම්භ කල චතුරි ජයතිස්ස ගාල්ල හෙද විද්‍යාලයේ හෙද සිසුවියකි. ඇය ශ්‍රී ලංකාවේ කෘමි සතුන් පිළිබඳව නිරීක්ෂණය කිරීමට දැඩි ප්‍රියතාවයක් දක්වන අතර තම නිරීක්ෂණයන් iNaturalist අන්තර්ජාල මෙවලම වෙතට යොමු කොට විශේෂ හඳුනාගැනීම් සිදු කරනු ලබයි.
ඇය ගෙවත්තේ සිටි මකුළු විශේෂ කිහිපයක් ඡායාරූපගත කොට හඳුනාගැනීම් සඳහා iNaturalist වෙත යොමු කළාය. ඉන් සමහරක් මකුළු විශේෂයන්ගේ ව්‍යාප්තීන් ඇය ජීවත්වන ප්‍රදේශයේ පෙර වාර්තා නොවී තිබු අතර ඒවා නව ස්ථානීය වාර්තා ලෙස පසුව විද්‍යාඥයින් විසින් සලකනු ලැබු බව චතුරි ජයතිස්ස ප්‍රකාශ කළාය.
“කීර්තිමත් විද්‍යාඥයකු වන මහාචාර්යය සුරේෂ් පී බෙන්ජමින්ගේ මකුළුවන් පිළිබඳව සිදුකල පර්යේෂණ සමග පුරවැසි විද්‍යාඥයකු ලෙස සහභාගී වීමට ලැබීම මා ලැබූ විශාල භාග්‍යයක් ලෙස මම සලකනවා. එහිදී මකුළු විශේෂ විශාල ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීමටත් විෂය කරුණු රැසක් ඉගෙනීමටත් මට හැකි වුණා” යැයි චතුරි පැවසුවාය.
“ගැහැනු ළමයෙකු ලෙස මා මකුළුවන් කෙරෙහි විශේෂ අවදානයක් යොමු කිරීමෙන් පසු මගේ අනෙකුත් සමාජ මාධ්‍ය මිතුරන් පවා ඒ සඳහා යොමු වූවා. මේ වන විට ඔවුන් ඔවුන්ගේ ගෙවත්ත තුළ විධිමත් ක්‍රම වේදයන්ට අනුව මකුළු විශේෂ නිරීක්ෂණය ආරම්භකොට තිබෙනවා. එය මා හට විශාල සතුටක්.” චතුරි පැවසුවාය.
ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරියෙකු වන ඇයගේ සොහොයුරා වන ඉන්දික ජයතිස්ස පුරවැසි විද්‍යාඥයකු ලෙස ඉතා වටිනා නිරීක්ෂණ රැසක් සිදුකොට තිබේ. ඔහු වැඩිපුර නිරීක්ෂණය කරනුයේ පක්ෂි විශේෂ සහ සමනල විශේෂයන් ය. සංචාර අතරතුරදී ඔහු සතුන් නිරීක්ෂණය කරනු ලබන බවත් එම නිරීක්ෂණ සමාජ මාධ්‍ය හා iNaturalist වෙත යොමු කරනු ලබන බවත් ඔහුගේ නිරීක්ෂණ සඳහා ඉතා හොඳ ප්‍රතිචාර ලැබී තිබෙන බවත් ඉන්දික ප්‍රකාශ කළේය.
“සංචාරයක් අතරතුර නිල්ගලදී හමු වූ ඇහැටුල්ලාගේ දුඹුරු පැහැ රූපානු දර්ශය මාගේ විශිෂ්ඨ නිරීක්ෂණයක් ලෙස මා සිතනවා. මේ වන විටත් ඔහු විද්‍යාඥයන් සමඟ එක්ව ඒ සම්බන්ධව පර්යේෂණ සිදු කිරීමට කටයුතු කරමින් සිටිනවා. පුරවැසි විද්‍යාඥයෙකු ලෙස ඒක මට විශාල සතුටක්” ඔහු පැවසුවේ ය.
ඊට අමතරව සර්ප විශේෂඥයෙකුගේ ඉල්ලීමක් පරිදි සර්පයින් සම්බන්ධ විද්‍යාත්මක පොතක් සඳහාත් එම ඡායාරුපය ලබා දීමට සුදානම්ව සිටින බවත් ඉන්දික වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
පුරවැසි විද්‍යාව කෙරෙහි අනෙක් රටවල්හි විශාල යොමු වීමක් තිබෙන බවත් ශ්‍රී ලංකාව තුළ මහජනයාගේ, විශේෂයෙන්ම තරුණ ප්‍රජාවගේ යොමු වීමේ වර්ධනයක් ඇති මුත් එය තවදුරටත් වර්ධනය වීම ශ්‍රී ලංකාව වැනි රටකට විශාල වාසියක් බවත් ඉන්දිකගේ අදහසයි.
පුරවැසි විද්‍යාඥයන්ගේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා කොටියා පිළිබඳව රට පුරා පර්යේෂණ සිදු කරනු ලබන රාජ්‍ය නොවන සංරක්ෂණ සංවිධානයක් වන ලෙපකෝන් හි තරුණ විද්‍යාඥයකු වන සෙතිල් මුහන්දිරම් පැවසුවේ, වෘත්තීමය විද්‍යාඥයන් තුළ ඇති විද්‍යාත්මක දැනුම සහ පුරවැසියන් තුළ ඇති ප්‍රායෝගික දැනුම එක් තැනකට ගෙන ඒමට මෙම පුරවැසි විද්‍යා සංකල්පය ඉවහල් වන බවයි.
“පුරවැසි විද්‍යාඥයන් සහ වෘත්තීමය විද්‍යාඥයන්ගේ මෙම එක් වීම, විද්‍යාව එක තැන පල් නොවීමට ඉතා හොඳ සංකල්පයක්. එසේම එමඟින් පුරවැසියන් තුල පරිසර සංරක්ෂණය කෙරෙහි විශාල උනන්දුවක් ඇති කරනවා.” මුහන්දිරම් පැවසුවේය.
මෙහි ඇති වැදගත්කම වන්නේ විද්‍යාත්මක පර්යේෂණ කෙරෙහි හෝ පරිසරය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන ඕනෑම ක්ෂේත්‍රයක, ඕනෑම වයසක සිටින අයෙක්ට මේ සඳහා සහභාගී වීමට හැකි වීමයි. එපමණක් නොව ඇතැම් අවස්ථාවලදී ද්වි භාෂා කථන හැකියාව ඇති පුරවැසි විද්‍යාඥයින්, පර්යේෂණ සඳහා එක් කර ගැනීමෙන් භාෂා ගැටළු මගහරවා ගනිමින් විද්‍යාත්මක පර්යේෂණ සඳහා දත්ත එකතු කිරීමට ලෙපකෝන් සංවිධානයට හැකි වූ බව මුහන්දිරම් පැවසුවේය.
සාමාන්‍ය පුරවැසියන් උනන්දු කොට පුරවැසි විද්‍යාව කෙරෙහි යොමු කිරීමෙන් ශ්‍රී ලංකාව වැනි පාරිසරික ගැටළු බොහොමයක් පවතින රටක සංරක්ෂණ ගැටළු සඳහා සාර්ථක විසඳුම් වෙත යොමු විය හැකි බවත් මුහන්දිරම් විසින් වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.
පසුගිය වසරේ (2021) මෙරට තුල පුරවැසි විද්‍යාඥයින් සහ පුරවැසි විද්‍යාව, යම් විධිමත් පිලිගැනීමකට ලක් වූවත් පුරවැසි විද්‍යා සංකල්පය සහ පුරවැසි විද්‍යාඥයින් තවදුරටත් විධිමත් ලෙස පිළිගැනීමකට ලක් විය යුතු බව ආචාර්යය ගුණවර්ධන මහතාගේ අදහසයි.
Comments are closed for this post.