- ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මී මැසි විශේෂඥයෙකු, සීගිරිය බලකොටුවට පැමිණෙන අමුත්තන්ට ප්‍රකෝපකාරී නොවන ලෙස දැනුම් දුන්නේය. මන්ද මී මැස්සන් ප්‍රහාර එල්ල වීමට හේතු වී ඇත්තේ මිනිසුන් සිදු කරනු ලබන දුර්වල වැසිකිළි පුරුදු වේ.
- මෙම ජනප්‍රිය සංචාරක අඩවියේ ප්‍රමාණවත් තරම් වැසිකිළි පහසුකම් නොමැති බැවින්, අමුත්තන්, කොටුවේ සැඟවුණු තැන් වල මුත්‍රා කරන අතර ඉන් පිටවන සෝඩියම් සහ සීනි වෙත මී මැස්සන් ආකර්ශනය වෙයි.
- වසන්ත පුංචිහේවා පවසන්නේ සීගිරියට ක්‍රමවත් වැසිකිලි පහසුකම් සැලසීම, මී මැසි ප්‍රහාර අවසන් කිරීමට ධනාත්මක පියවරක් වනු ඇති බවත්, මී මැසි ජනපද තුරන් කිරීමට බලධාරීන් නැවත නැවතත් දරන උත්සාහයේ වෙනසක් වන බවත්ය.
- “මී මැස්සන් නරක නැත. අප සෞඛ්‍ය සම්පන්න පුරුදු පවත්වා ගනිමින් සහ අනවශ්‍ය සමීප හමුවීම් වළක්වා ගනිමින් සංචාරය කරන්නේ නම් අපට සහජීවනයෙන් සිටිය හැකියි” ඔහු පවසයි.
ඔවුන් වැරදි ලෙස බඹරුන් සහ දෙබරුන් හැඳින්වූ නමුත් උන්ගේ ආක්‍රමණශීලී බව ප්‍රතික්ෂේප කළ නොහැකිය. සංචාරකයින් අතර ජනප්‍රිය, මධ්‍යම ශ්‍රී ලංකාවේ ඉපැරණි පාෂාණ බලකොටුවක් වන සීගිරියේ, යෝධ මී මැස්සන් (Apis dorsata) විශාල රංචු වශයෙන් අමුත්තන් හට පහර දීම, ලොව පුරා විදේශීය සංචාරකයන් අතර ප්‍රකටව ඇත.
වසර ගණනාවක් පුරා පර්යේෂකයන් මෙයට හේතුව සඳහා හැකි පැහැදිලි කිරීම් ඉදිරිපත් කර ඇති නමුත් ඒවා කිසිවක් නොගැලපෙන බව පෙනෙන්නට තිබුණි. යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන සීගිරිය නැරඹීමට පැමිණෙන අමුත්තන්ගේ හඬ මී මැස්සන් කළඹන බව දැනට පවතින මතවාදයයි. පාෂාණ බිත්ති මත තම ජනපද ගොඩනඟන “බඹරුන්ට” බාධා නොවන පරිදි නිශ්ශබ්දව සිටින ලෙස අමුත්තන්ගෙන් ඉල්ලා සිටින පුවරු එහි සම තැනකම සවි කර ඇත.
නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ මී මැසි විශේෂඥයෙකු සහ මී මැසි සංරක්ෂණය, මීමැසි පාලනය පිළිබඳ රජයේ උපදේශකයෙකු වන වසන්ත පුංචිහේවා මෙම කාරණාවට එකඟ නොවේ.
“ඉතා ඝෝෂාකාරී ස්ථානවලට සමීපව මී මැසි ජනපද ඇති තැන් මම දැක ඇත්තෙමි. නමුත් මී මැස්සන් කලබල වන ලකුණු නොපෙන්වයි,” ඔහු මොන්ගාබේට පවසයි.
තවත් මතයක් නම්, බඹර උකුස්සා (Pernis ptilorhynchus) විසින් මි මැසි ජනපද වැටලීම් වලදී මී මැස්සන් කෝපයට පත් වන අතර පසුව පෙනෙන ඕනෑම දෙයකට පහර දෙන බවයි. නමුත් මී මැසි ජනපද අධ්‍යයනය කිරීමට නිතර සීගිරියට යන පුංචිහේවා පවසන්නේ තමන් කිසි දිනක මී මැසි ප්‍රහාරවලට ගොදුරු නොවූ අතර කරදරයක් නැතිව එන බවයි.
මී මැස්සන් ඔවුන්ගේ ජනපදවල සිට බලකොටුවේ පාමුල ඇති මල් දක්වා පියාසර කරන මාර්ගයට පඩිපෙළක් හරහා ඇතුළු වන අමුත්තන් නිසා බාධා ඇති වන බවත්, මෙම හමුවීම් වලට පහසුවෙන් ප්‍රහාර එල්ල කළ හැකි බවත් න්‍යායක් තිබේ.
මෙය සීගිරි මී මැස්සන්ගේ හැසිරීම් සඳහා විය හැකි හේතුවක් ලෙස නොසලකා හැරියත්, මී මැස්සන් සහ මිනිසුන් අතර කටුක හමුවීම් වලට එය ප්‍රමාණවත් තරම් ප්‍රබල හේතුවක් බව තමාට ඒත්තු ගැන්විය නොහැකි බව පුංචිහේවා පවසයි. ප්‍රශ්නය කෙතරම් උග්‍ර වී ඇත්ද යත්, බලධාරීන් මීට පෙර ජනපද රසායනිකව පුළුස්සා දැමීමට උත්සාහ කළ අතර, මී මැස්සන්ගේ ආක්‍රමණයට සැබෑ හේතුව සොයා ගැනීම පුංචිහේවා සිය මෙහෙවර කරගෙන ඇත. දැන් ඔහු එය සොයා ගත් බවද විශ්වාස කරයි.
වැසිකිලියක අවශ්‍යතාව
පුංචිහේවා සීගිරියේ සිටියේ මී මැස්සන්ගේ ප්‍රහාර පිළිබඳ හෝඩුවාවන් සොයමින් ය. ඔහු එකල රජ මාලිගාවේ දොරටුව අසල සුප්‍රසිද්ධ සිංහ පාදය ලඟ රැඳී සිටියේ මී මැසි ජනපද ගැන දැඩි අවධානයෙන්ය. විශාල ජල ටැංකි පිටුපසින් අර්ධ වශයෙන් සඟවා තිබූ බලකොටුවේ කොනක් දෙසට කාන්තාවන් දෙදෙනෙකු ගමන් කරන බව ඔහු දුටුවේ එවිටය. මිනිත්තු කිහිපයකට පසු ඔවුන් මතු වූ අතර ඔවුන්ගේ සංචාරක කණ්ඩායමට සම්බන්ධ වීමට ඉක්මන් වූහ.
මී මැසි ජනපද එම ප්‍රදේශයට මදක් ඉහළින් පිහිටා තිබූ බැවින්, එල්ලෙන මී වද දෙස හොඳින් බැලීමට පුංචිහේවා ඇවිද ගිය අතර, මී මැස්සන් 30 ක් පමණ තෙත් ස්ථානයකට ගොඩ බැස ඇති බව දැක පුදුමයට පත් විය.
මෙම සැඟවුණු ස්ථානය, සීගිරියේ වැසිකිළි පහසුකම් නොමැති බැවින් අමුත්තන් මුත්‍රා කිරීම සඳහා බහුලව භාවිතා කරන බව පෙනී ගියේය. සමනලුන් ඛනිජ ලවණ අවශෝෂණය කර ගැනීම සඳහා තෙත් පසෙහි ගැවසෙන ආකාරයටම මී මැස්සන් මුත්‍රා වල ගැවසෙමින් සිටියහ. අනෙකුත් කෘමීන් මුත්‍රා වල ගැවසෙන බව දන්නා පුංචිහේවා පැවසුවේ එහි ඇති සෝඩියම් හෝ සීනි සඳහා මීමැස්සන් පැමිණෙන බවයි.
මී මැස්සන් ගැවසෙන ප්‍රදේශයක මුත්‍රා කිරීම තුළින් අමුත්තන්ගෙන් කෘමීන්ට බාධාවක් විය හැකි බවත් උන්, ඉන් රංචු පිටවන බවත් පුංචිහේවා ප්‍රකාශ කළේය.
මී මැස්සන් සමග සහජීවනය
පුංචිහේවා මෙම න්‍යාය බලධාරීන්ට ඉදිරිපත් කර ඇතත් මෙතෙක් ඔවුන් ඊට ප්‍රතිචාර දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. සංචාරක භූමියේ වැසිකිලි සැපයීම ධනාත්මක පළමු පියවරක් වනු ඇති බවත්, මී මැස්සන් සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ පෙර ප්‍රවේශයන් සාදරයෙන් පිළිගන්නා බවත් ඔහු පැවසීය.
නරඹන්නන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මීමැසි ගම්මාන සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ උත්සාහයන් කිහිපයක් අතීත ක්‍රියාමාර්ගවලට ඇතුළත් විය. 2010 දී ජනපද රසායනිකව පුළුස්සා දැමීමට උත්සාහ කළ නමුත් මී මැස්සන් ඊළඟ වසරේ ආපසු පැමිණියේය.
“මී මැස්සන් නරක නැත, අපට සෞඛ්‍ය සම්පන්න පුරුදු පවත්වා ගැනීමට සහ අනවශ්‍ය සමීප හමුවීම් වළක්වා ගත හැකි නම් අපට සහජීවනයෙන් සිටිය හැකිය” පුංචිහේවා පවසයි.
ශ්‍රී ලංකාව මී මැස්සන් විශේෂ 149ක නිවහනකි. මෙම කෘමීන් වන ශාකවල මෙන්ම කෘෂිකාර්මික භෝගවල ප්‍රධාන පරාගණයද ඉටු කරයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට (FAO) අනුව, මිනිසුන් ආහාර සඳහා යැපෙන ලොව පුරා භෝග හතරෙන් තුනක්ම, අවම වශයෙන් සහ අර්ධ වශයෙන් මී මැස්සන් වැනි පරාගකාරක මත රඳා පවතී. මේ අනුව, මී මැස්සන්ගේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන් විසින් මැයි 20 ලෝක මී මැසි දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
මී මැස්සන් ගැවසෙන ප්‍රදේශයක මුත්‍රා කිරීමෙන් අමුත්තන්ට බාධාවීමක් විය හැකි බවත්, එවිට උන් රංචු වශයෙන් පිටවන බවත් පුංචිහේවා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ මී මැස්සන්ගේ භූමිකාව අගය කිරීමට සමාජය අපොහොසත් වී ඇති බව පුංචිහේවා පවසයි. තම ගෙවත්තේ හෝ ගොඩනැගිලි තුළ මී මැසි ජනපද සොයා ගන්නා අය සාමාන්‍යයෙන් ප්‍රතිචාර දක්වන්නේ ප්‍රහාරවලට බියෙන් ඒවා ඉවත් කිරීමෙන් බව ඔහු පවසයි.
“නමුත් අපි දුරස්ථව සිටියොත්, මී මැස්සන් මිනිසුන්ට පහර දෙන්නේ නැහැ,” ඔහු පවසයි.
Malaka Rodrigo විසින් Mongabay වෙත ලියන ලද A whiz and a buzz: Bee attacks at Sri Lanka rock fortress point to need for toilets නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.
Comments are closed for this post.