තරුෂි පිටිගල විසිනි.

සීත කාලගුණයක් සහිත මධ්‍යම කඳුකරයේ ගිණිකොණ දිග බෑවුමෙන් නෙමස්පිස් ගනයේ දිවා සැරි හූනන් විශේෂයක් සොයා ගැනීමට මෙරට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.

‘ලොකුගේ ගේ දිවාසැරි හූනා’ ලෙස මෙම නව විශේෂය, 2021 වසරේ මාර්තු 25වන දින ‘Zoosystematics and Evolution’ ජර්නලයෙහි පළකරන ලදී. මෙම නව හූනු විශේෂය, විශේෂ නාමකරණයේදී බොහෝ කතාබහට ලක් වූ නෙමස්පිස් ගණයට අයත් දිවාසැරි හූනන් විශේෂයක් වීමද තවත් එක් සුවිශේෂී කරුණකි. ගෙකොනිඩේ කුලයට අයත් හූනු විශේෂ විශාල ප්‍රමාණයක් (4 සිට 37 දක්වා) පසුගිය වසර කිහිපය තුළ මෙරටින් සොයාගත්තද, මෙම ගනයේ විශේෂ කිහිපයක්ම විද්‍යාත්මක නාමකරණයේදී මෙරට තුල දැඩිලෙස කතාබහට ලක්විය. මෙම ගනයේ 38 වැනි හූනු විශේෂය ලෙස ලොකුගේ ගේ දිවාසැරි හූනා හැඳින්වෙන අතර, හපුතලේ, ඉදල්ගස්හින්න, බෙරගල ප්‍රදේශවලට අයත් හුදෙකලා වනාන්තර තුලින් මේවන විට මෙම විශේෂය වාර්තා වී ඇත. 

නෙමස්පිස් ගණයේ සියලුම හූනන් විශේෂ දිවාසැරි හූනන්වන අතර කුඩාම හූනන් හමුවන ගණයද මෙය වේ. මෙම කුලයේ ශ්‍රී ලංකාවේදී හමු වූ  සියලුම විශේෂ ශ්‍රී ලංකාවට ආවේණික වීමද තවත් සුවිශේෂී කරුණකි.

විශේෂිත වාසස්ථාන 

මෙම නව විශේෂය හමුවී ඇත්තේ ලෙන් හා වනාන්තර ආශ්‍රිතව ඇති අතැර දැමූ ගොඩනැගිල්ලක සිරස් මතුපිටක මීටර් දෙකක පමණ උසින් සිටිනා විටදීය.  

ලොකුගේ ගේ දිවාසැරි හූනාගේ ලෙන් ආශ්‍රිතව වාසස්ථානයක්. – ඡායාරූපය: සමීර සුරන්ජන් කරුණාරත්න

මෙම හූනු විශේෂයේ වාසස්ථාන වන්නේ ශ්‍රී ලංකාවේ අතරමැදි කලාපේ සිහිල්, සෙවණ සහිත අඳුරු ස්ථාන සහ කළුගල් ආශ්‍රිතවය. උෂ්ණත්වය සෙල්සියස් අංශක 29.5ත් 31.2ත් අතර, තෙතමනය 50%ත් 60%ත් අතරවන, උන්නතාංශය මීටර 1000ත් 1500ත් අතරවූ පාරිසරික තත්ව පරාස තුළ මොවුන් හමුවේ. තවද මෙම විශේෂය තමාගේ වාසස්ථාන මතම ඉතා දැඩි ලෙස  යැපෙන විශේෂයක් බැවින් දැඩි අවදානමට ලක්වීමට ඇති හැකියාවද උපරිමය.

“මෙම විශේෂය වසර මිලියන හතරක පමණ කාලයක සිට නොනැසී පැවති විශේෂයක්වන අතර අතීතයේ බදුල්ල හා හපුතලේ ප්‍රදේශ ආශ්‍රිතව බහුලව වාසය කරන්නට ඇති බවත්, බ්‍රිතාන්‍යය පාලන සමයෙහි සිදුවූ කඳුකර තේ, කෝපි සහ ෆයිනස් වගාවන් හේතුකොට ගෙන හා මහා මාර්ග, දුම්රිය මාර්ග ඉදිකිරීම් හේතුකොට ගෙන ඇතිවූ තත්ත්ව වී, ගහනයෙහි අඩුවීම සිදුවන්නට ඇතැයි මා විශ්වාස කරනවා”සමීර සුරන්ජන් කරුණාරත්න මහතා අදහස් දක්වමින් අපහට පැවසීය. තවද මෙම විශේෂය නියං තත්ත්ව වැනි දේශගුණික වෙනස් වීම් හේතුවෙන්ද අන්තරායට ලක්විය හැකි බව තවදුරටත් පවසන ලදී.

වර්තමානයේ, භුගෝලීයව සලකා බැලීමේදී කඳු, හෙල්, ගංගා ලෙසත්, දේශගුණික කලාප ලෙස වියලි, අතරමැදි හා තෙත් කලාප ලෙසත්, විවිධ උන්නතාංශයන් නිසාත් මෙම නෙමස්පිස් ගණයේ විශේෂයන්ගේ වාසස්ථාන එකිනෙකට හුදෙකලා වීමේ ස්වරුපයක්ද දැකගත හැක. 

මෙම පර්යේෂණදී එයට සම්බන්ධවූ උරගජීවී විද්‍යාඥයන් විසින් මෙම නව විශේෂයෙහි නිදර්ශකය නෙමස්පිස් ගණයට අයත් අනෙකුත් සියලු විශේෂයන් සමඟ රූප විද්‍යාත්මකව මෙන්ම අණුක විද්‍යාත්මකවද සංසන්දනය කොට ඇත.

ලොකුගේ ගේ දිවාසැරි හූනා. – ඡායාරූපය: සමීර සුරන්ජන් කරුණාරත්න

මෙම විශේෂය මධ්‍යම ප්‍රමාණයේ ශරීරයකින් යුක්තවන අතර හොම්බේ පුර්ව අගිස්සේ සිට ජම්බාලිය අතර දිග මිලිමීටර 30.2ත් 32.9ත් අතර වේ. පෞච්ච උදරීය කොරල කුඩාවීම , විෂම ජාතිය පර්ශුක කොරල පිහිටීම, හත්වෙනි හා අටවෙනි උඩුතොල් හා යටි තොල් කොරල මඟින් මෙම නව විශේෂය අනෙක් නෙමස්පිස් විශේෂයන්ගෙන් වෙනස් වේ. ශරීර වර්ණය රතු පැහැයට හුරු දුබුරු පැහැයකින් යුතු වන අතර පෘෂ්ඨියව කහ පැහැති ලප දැකිය හැක.

IUCN රතු දත්ත වාර්තාවනට අනුව මෙම විශේෂය අතිශය අන්තරායට ලක්වූ විශේෂයකි. ඊට බලපා ඇති විශාලතම තර්ජනය වන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා අනවසරයෙන් වනාන්තර ඉඩම් අත්පත් කරගැනීමය. මෙම විශේෂය සංරක්ෂණය සඳහා ඔවුන්ගේ වාසස්ථාන සංරක්ෂණයට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙසටත් මෙම විද්‍යාඥයින් රජයෙන් ඉල්ලා සිටියහ.

නාමකරණය

ශ්‍රී ලංකාවේ පරිසර විද්‍යාව වෙනුවෙන් නිහඬ, විශාල සේවයක් කළ අජිත් ලොකුගේ මහතාට ගෞරවයක් ලෙස මෙම විශේෂය ලොකුගේ ගේ දිවාසැරි හූනා ලෙස සිංහලෙනුත් Cnamaspis lokugei ලෙස විද්‍යාත්මකවත් නම් කර ඇත.

පරිසර සංරක්ෂණය සඳහා සදෘශ වන වගා සංකල්පය ඉතා හොඳ සංකල්පයක් ලෙස හැදින්විය හැකිය. ජෛව විවිධත්වය වැඩි කිරීම සඳහා මෙම සංකල්පය ඉතා සාර්ථකවන අතර දැරීමට සිදුවන්නේද අඩු පරිශ්‍රමයකි. සදෘශ වන වගාව, පරිසර සංරක්ෂණ කටයුතු සඳහා යොදා ගත හැකි සාර්ථකම ක්‍රමයක් බව පවසන කරුණාරත්න මහතා, එය ගෙවතු ආශ්‍රිතව ආරම්භ කළහොත් නිර්මාණයවන වන තීරුව ජීවීන්ගේ පැවැත්ම සඳහා ඉතා විශාල පිටුවහලක්වන බවද පැවසීය. මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමට විශාල පරිශ්‍රමයක් දැරූ පුද්ගලයකු ලෙස අජිත් ලොකුගේ මහතා හැඳින්විය හැකිය.

මෙම පර්යේෂණය සඳහා සමීර සුරන්ජන් මහතාට අමතරව උරගජීවි විශේෂඥයකුවන ඇනස්ලම් ද සිල්වා මහතා, දිනේෂ් ගබඩගේ මහතා, මාධව බොතේජු මහතා, මජින්ත මඩවල මහතා සහ කනිෂ්ක උකුවෙල මහතා යන පිරිසද දායක වී තිබේ.