නිලඹර වසාගති කළුවර වලා                           පට

කළුවර වෙලා ගති අරතර ගුවන                       වට

සිඳඹර සැඟවගති සිසිකර වලා                         යට

ගනඳුර  අඳුර ගිලගති මොක්පුර                     රැයට

දියනෙත සැඟව ඇත ගිරි අවගිර                අරණේ

සඳවත තරිඳු වත නැත තුඟුතර                   යහනේ

විකසිත තරු කැළුම් නැත නොවිතර          ගුවනේ

මෙදියත එළිය නැත ඇත ගනඳුර             දෙරණේ

සුවිසල් සයුර නිහඬය රළ නැත             නැඟුණේ

සිරිදුල් තෙපුල් රැසතුන්ගේ නැත            ඇසුණේ

කඩුපුල් සුපුල් කුසුමන් අද නැත              පිපුණේ

මනකල් රැයක අසිරිය හද නැත               ඇඳුණේ

කණාමැදිරි එළි සැණකෙළි නැත                එළිය

සිනා කවට කෙළි නැත බස්සන්              ගොළුය

උනා අඳුරු පට වව්ලන් අද                         නිදිය

මෙනා රුදුරු සලකුණු රැසතුන්                  නැතිය

බිඳ විහිදුනු සඳ වත සැඟවී                         හැඬුවා

සඳ දේදුනු දිය මත රඟදෙනු                    නැතුවා

කොඳ පීදුණු ගොයමෙහි අසිරිය                 සඟවා

මඳ පවෙනු මඳනල සිහිලැස                     නැතුවා

ගෙතුවෙමි මියෙන මල් දම් වැල් මුතු           තඹර

සිතුවෙමි සිතින පලඳන වෙත                 එසිසිකර

 සැරුවෙමි වියන වට පසුකොට මඳර            ගිර

 පැතුවෙමි ගගන බබලන මෙන් මිණි           ලකර

ඉවසනු තවත් බැහැ අඳුරුයි හද                  මඬල

කකියනු ගතත් දරුණුයි අද නැත                 සිසිල

අයැදිනු මහත් තෙද බල දෙවියන්                පතල

බබලනු මෙසත් ලෙස සිඳ බිඳ රුදු              පහල

අයෝධ්‍යා කිරිඇල්ල