තරුෂි පිටිගල විසිනි

ශ්‍රී ලංකාව තුළ රුක් රෝපණ වැඩ සටහන් කෙරෙහි විශාල උනන්දුවක් දක්නට ලබන නමුත් ඔවුන් බොහෝ දෙනා අක්‍රමවත්ව සිදු කරනු ලබන රුක් රෝපණ වැඩසටහන්ගෙන් පරිසරයට සිදු වන අනිසි ප්‍රතිඵල පිළිබඳව එතරම් දැනුවත් භාවයක් නොමැත.

ශ්‍රී පාදස්ථානයේ හැටන් සහ එරත්න මඟ දෙපස ගස් කඳන් මත විසිතුරු මල් පැල විශේෂයක් වන සුදු පරෙවි මල් (Dendrobium crumenatum) ලෙස හඳුන්වන උඩවැඩියා විශේෂය, පොල් ලෙලි සහ ලණු යොදාගෙන රෝපණය කොට තිබෙනු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වූ ආකාරය ඉතා මෑතකදී වූ හොඳ උදාහරණයක් වේ.

ශ්‍රී පාදස්ථානයට යන එරත්න මාර්ගයේ මඟ දෙපස සුදු පරෙවිමල් (Dendrobium crumenatum)රෝපණය කොට තිබු අයුරු. ඡායාරූපය: අනුෂ අත්තනගොඩ

පරිසර පද්ධතියට මෙලෙස පිටත ශාක විශේෂ හඳුන්වාදුන් වහාම කිසිවක් නොවුවත්, කල් ගත වන විට එම පරිසර පද්ධතියේ ඇති ශාක විශේෂ සමග පරිසර පද්ධතියට හඳුන්වා දුන් විශේෂ පරාගණය වීමෙන් ස්වභාවිකවම විශේෂ දෙමුහුම්කරණයට ලක් වීමේ හැකියාව වැඩි වේ. එසේ සිදු වීමෙන් අවේණික විශේෂයන්හි ජාන සංචිත වෙත විශාල බලපෑමක් එල්ල විය හැකි බව ආචාර්යය උපාධි අපේක්ෂක, ක්ෂේත්‍ර පර්යේෂකයෙකු වන භාතිය ගොපල්ලව අදහස් දක්වමින් පැවසීය. 

සංවේදී පරිසර පද්ධතියක් වන ශ්‍රී පාදස්ථාන රක්ෂිතයේ ජෛව විවිධත්වයට මෙයින් බලපෑම් එල්ල විය හැකි බැවින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇති වූ කතිකාවතින් පසු පරිසර ක්‍රියාකාරීන් පිරිසක් ගොස් එම පරෙවි ඕකිඩ් ගලවා එම පරිසර පද්ධතියෙන් ඉවත් කරන ලදී.

“රුක් රෝපණ වැඩසටහන් කෙරෙහි ලංකාවේ තරුණ පරම්පරාවේ විශේෂ උනන්දුවක් දක්නට ලැබෙනවා. විවිධ පරිසර සංවිධාන, ස්වේච්ඡා සංවිධාන පමණක් නොව තනි තනිව පවා විශාල මහන්සියකින් සහ කැපවීමකින් පැල සිටු වීමේ වැඩසටහන් සිදුකරනු ලබනවා. එය ඇත්තෙන්ම අගය කල යුක්තක් නමුත් ඔවුන් හට නිසි විද්‍යාත්මක මඟ පෙන්වීමක් ලැබෙනවාද යන්න විශාල ගැටළුවක්” ගොපල්ලව ප්‍රකාශ කළේය.

රුක් රෝපණ වැඩසටහනකට පෙර

රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පෙර එයට අදාළ මුලික කරුණු පිළිබඳව විශේෂයෙන් සැලකීම අත්‍යවශ්‍යයි. එසේ නොමැතිව සමාජයේ ප්‍රවණතාවයන්ට අනුව පැල සිටුවීම ස්වභාවික පරිසර පද්ධතීන්ට නොයෙක් ආකාරයෙන් හානි දායක විය හැකි බව ගොපල්ලවගේ අදහසයි.

ගොපල්ලව පවසන්නේ මෙලෙස විද්‍යාත්මක ක්‍රමවේදයන්ගෙන් තොරව ශාක විශේෂ පරිසර පද්ධති වෙත හඳුන්වා දුන් විට එලෙස හඳුන්වා දෙනු ලබන ඇතැම් විශේෂ ආක්‍රමණශීලි ලක්ෂණ පවා පෙන්නුම් කල හැකි බවයි. එලෙස ආගන්තුක ආක්‍රමණශීලි ශාක විශේෂ ස්වභාවික පරිසර පද්ධතීන් වෙත විශාල හානියක් සිදුකරනු ලබයි.

“රුක් රෝපණ වැඩසටහනක් යනු හුදෙක් පැල සිටුවීමක් පමණක් නොවන බව අප අවබෝධ කර ගත යුතුයි. කවුරුන් හෝ මී ගහක් හොඳ බවට මතයක් සමාජ ගතකල විට රුක් රෝපණ වැඩසටහන් සංවිධානය කරන පිරිස් විසින් නුසුදුසු ස්ථානයන්හි පවා මීගස් සිටුවීමට වර්තමානයේ පෙළඹී තිබෙනවා. නැවත වෙනත් ගස්  විශේෂයක වටිනාකම පැවසු විට එම ගස් විශාල වශයෙන් සිටු වීමටද අපගේ ජනතාව පෙළඹෙනවා. නමුත් එහි සත්‍ය අසත්‍ය පිළිබඳව සොයා බැලීමක් සිදු කරන්නේ නෑ.” පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ මහාචාර්යය තිලංකා අතාවුද ගුණරත්න ප්‍රකාශ කළාය.

මහාචාර්යය ගුණරත්න අදහස් දක්වමින් පැවසුවේ පැල සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී පළමුව කල යුක්තේ, ස්වභාවික පරිසර පද්ධති පිළිබඳව හදාරා ඇති හෝ ඒ පිළිබඳව මනා දැනුමක් ඇති අයෙක්ව සම්බන්ධ කර ගැනීම බවයි. එමෙන්ම එම පුද්ගලයා හට ප්‍රාථමික හා ද්විතියික සංතතිය පිළිබඳව පුළුල් දැනුමක් සහ තෙත්, වියළි, අතරමැදි සහ ශුෂ්ක ලෙස හඳුන්වන ශ්‍රී ලංකාවේ දේශගුණික කලාපයන් පිළිබඳව මනා දැනුමක් සහ අවබෝදයක් තිබීමද මෙවැනි කටයුක්තක් සාර්ථකව සිදු කිරීමට අත්‍යවශ්‍ය බවයි.

“ඇතැමුන් ශ්‍රී ලංකාවේ සුවිශේෂී වෙරළබඩ පරිසර පද්ධතියක් වන වැලි කඳු පරිසර පද්ධතිය තුලත්, කඩොලාන ගස් සිටුවීමට සුදනම් වූ අවස්ථා මා දැක තිබෙනවා.” ඇය පැවසුවාය.

වන්නන්තාර ප්‍රතිෂ්ඨාපනය 

රුක් රෝපණ වැඩ සටහන් ගැන කතා කිරීමේදී නැවත වන වගාවන් සිදු කිරීම පිළිබඳව විශේෂයෙන් සාකච්ඡාවට බදුන් කල යුතු බව මහාචාර්යය ගුණරත්නගේ අදහසයි. “විදේශීය ශාක යොදා ගනිමින් සිදු කරනු ලබන රුක් රෝපණ , දේශීය සහ විදේශීය ශාක සංයෝජනන් මිශ්‍රව වගා කරමින් සිදු කරනු ලබන වන වගාවන් සහ වනාන්තර ප්‍රතිෂ්ඨාපනය ලෙස නැවත වන වගාවේ ප්‍රධාන අකාර තුනක් පවතිනවා.”

විදේශීය ශාක යොදා ගනිමින් සිදු කරනු ලබන රුක් රෝපණයන් උදාහරණ ලෙස ෆයිනස් සහ ඉයුකැලිප්ටස් වගාවන් සැලකිය හැකි බව මහාචාර්යය ගුණරත්න පැවසුවාය.

ලෝකයේ පිළිගත් ඉතා හොඳ ක්‍රමයක් වන්නේ වනාන්තර ප්‍රතිෂ්ඨාපනයයි. මෙහිදී අදාළ ප්‍රදේශයට ගැලපෙන සහ එහි දැනට පවතින දේශීය ශාක සහ ආවේණික ශාක පමණක් යොදා ගනිමින් වන වගාවන් සිදු කරනු ලබයි. 

“නමුත් මෙම ක්‍රම තුනෙන් කුමන ක්‍රමය අනුගමනය කරන්නේද යන්න පිළිබඳව අපට පෞද්ගලිකව තීරණය කල නොහැක. එය අප නැවත වන වගාවක් සිදු කිරීමට බලාපොරොත්තුවන භුමිය සහ එහි භූ ලක්ෂණ මත රඳා පවතින්නක්.”

“අවශ්‍ය ශාක බීජ හෝ ශාක පැල එක්රැස් කිරීමේදී එකම ගසක් යට වැටි තිබෙන ශාක නොව ප්‍රවේණි විවිධත්වයක් ඇති වන පරිදි එකම විශේෂයේ ගස් කිහිපයක බීජ හෝ පැල එකතු කිරීමද අවශ්‍යයි.” මහාචාර්යය ගුණරත්න විස්තරාත්මකව පැවසීය

රුක්රෝපණය කිරීමේදී සැලකිය යුතු අනෙක් ඉතාමත් වැදගත්ම කරුණක් වන්නේ රුක් රෝපණය කිරීමෙහි අරමුණ කුමක්ද යන්නයි. කාබන් තැන්පත් කිරීම හෝ සමාජයට යම් කිසි ප්‍රතිලාභයක් ලබා දීම හෝ එසේ නොමැති නම් වන වැස්ම වැඩි කිරීම පමණක්ද යන්න පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කල යුතු බව මහාචාර්යය ගුණරත්න පැවසුවාය.

එසේම වන වැස්ම වැඩි කිරීමෙහි අපේක්ෂාව කුමක්ද යන්න පිළිබඳවත් එහිදී විශේෂයෙන් සැලකිය යුතු කරුණකි. වන සතුන්ගේ ආහාර, වාසස්ථාන සහ සතුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ද එසේ නැත්තම් වෙනත් හේතුවක් ද යන්න සැලකීම ඉතා වැදගත්.

“එසේ නොමැතිව ප්‍රසිද්ධිය පිණිස පමණක් ගස් සිටුවීමෙන් පරිසර පද්ධතීන්ට හානි වන අවස්ථා පවා මා දැක තිබෙනවා” මහාචාර්යය ගුණරත්න පැවසුවාය.

වගාවන් සිදු කරණ ලද භුමිය සහ සිටවූ පැල පිළිබඳව පසු විපරුම් කිරීම සහ භූමි කලමණාකරණය සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් එම භූමිය කොපමණ කාලයක් යන තෙක් නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තුවනවාද වැනි කරුණු වන වගාවන් හෝ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පෙරම අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව මහාචාර්යය ගුණරත්න පැවසුවාය.

ශ්‍රී ලංකාව කුඩා දිවයිනක් වුවත් එහි පරිසර පද්ධති විවිධත්වය ඉහළ අගයක් ගන්නා බැවින් වනාන්තර, ලවණ වගුරු, කොඩොලාන වැනි ඒ එක් එක් පරිසර පද්ධතීන්හි ප්‍රතිෂ්ඨාපන කටයුතු සිදු කිරීමේදී ඒවාට ආවේණික ආකාරයට කිරීම අත්‍යවශ්‍යයි. කුකුළු දැල්, හෝ වෙනත් දැල්, ලණු වැනි කෘතීම ද්‍රව්‍ය අවමව භාවිතා කොට හැකිතාක් ස්වභාවික ආකාරයටම කිරීමෙන් වැඩි වටිනාකමක් අත්පත් කරගත හැක.  

වනාන්තර ප්‍රතිෂ්ඨාපනයේදී එම කටයුක්ත සඳහා අනිත් පාර්ශව කරුවක් එකතු කර ගැනීමෙන් වඩා ඵලදායි ව්‍යාපෘතියක් සිදු කල ගැනීමට හැකියාවක් ලැබෙන බැවින් නකල්ස් කඳු වැටිය ආශ්‍රිතව, උප කඳුකර වනාන්තර සඳහා “සේව් ද නෙක්ස්ට් ජෙනේරේෂන්” වැඩසටහන මගින් මැදවත්ත, රිවර්ස්ටන්, රත්නින්ද ආශ්‍රිතව ජිවත් වන ප්‍රජාවන්, විශ්ව විද්‍යාල ප්‍රජාව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි බොහෝ දෙනෙකුගේ සහයෝගය සමග විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරමින් එසේ සාර්ථක ව්‍යාපෘතියක් මහාචාර්යය ගුණරත්න ප්‍රමුඛ පිරිස විසින් සිදුකරනු ලබයි.

උපකඳුකර ආශ්‍රිතව පමණක් වැඩෙන හෝ උප කඳුකර වන්නතර සඳහා ගැලපෙන ශාක වර්ග පමණක් යොදා ගනිමින් හෙක්ටයාර පහක් පමණ  වන වගාවක් ක්‍රමක්‍රමයෙන් සිදු කරමින් පවති. මෙම වැඩසටහනෙහි බලාපොරොත්තුව වන්නේ ඛණ්ඩනය වී ඇති උප කඳුකර වනාන්තර නැවත එක කිරීමයි. මන්ද  ශ්‍රී ලංකාවේ උප කඳුකර වනන්තර පවතින්නේ  0.1 වඩා අඩු ප්‍රමාණයකි.

විද්‍යාත්මක ක්‍රමවේද භාවිතා කරමින් ‘රීග්‍රීන් හන්තාන’ වනාන්තර ප්‍රතිෂ්ඨාපන ව්‍යාපෘතියක් සිදු කිරීමට ඔවුන් සුදානම්ව සිටින බවත් මහාචාර්යය ගුණරත්න පැවසුවාය.

රුක් රෝපණය කිරීමෙහි අරමුණ කුමක්ද යන්න පිළිබඳව විශේෂ අවධානයක් කොමු කිරීමෙන් එම භූමියට වඩාත් ගැලපෙන පැල වර්ගය තෝරා ගත හැක. ඡායාරූපය: චරුත දයාරත්න

මෙවැනි කටයුක්තකදී බොහෝ දෙනෙකුට අවශ්‍ය වන්නේ ඉතා ඉක්මනින් ගස් සිටුවීමට හෝ ගස් ඉතා ඉක්මනින් වැඩෙනු දැකීම වුවත් ඇතැම් ශාක පරිණාමිකවම වර්ධනය වන්නේ ඉතා සෙමින් බැවින් වන වැස්මක් ඇති කරනවා කියා ඉතා ඉක්මනින් මෙම වගා කටයුතු සිදු කිරීමට නොහැකි බවත් වන සතුන්ට අවශ්‍ය අහාර පිළිබඳව පවා වන වගාවකදී අප සැලකියමත් විය යුතු බවත් මහාචාර්යය ගුණරත්න පැවසුවාය.