අයෝධ්‍යා කිරිඇල්ල විසිනි

අද ජූලි මාසෙ 14 වෙනිදා. සත්ව ලෝකයේ අපූරු සතෙක් වෙනුවෙන් වෙන් වෙච්ච දවසක්… ඒ වෙන කවුරුවත් නෙමෙයි ඔයාලා ගොඩක් ආස චිම්පන්සියන් වෙනුවෙන් තමයි අද වෙන් වෙලා තියෙන්නෙ.

කවුද මේ චිම්පන්සියන් ?

චිම්පන්සියන් කියන්නෙ වානර වර්ගයක්. එයාලා  බොනොබෝස් කියන වානර වර්ගයට සහ මිනිසුන්ට තමයි ළඟින්ම නෑයෝ වෙන්නෙ. ඒ වගේම එයාලා ගෝරිල්ලා සහ  ඔරංඔටන් කියන්නෙත්  චිම්පන්සියන්ගෙ නෑයො. චිම්පන්සියන් හරිම දක්ෂයි. බුද්ධිමත්. එයාලා අයිති වෙන්නේ ප්‍රයිමේට් කියන ක්ෂීරපායීන් කණ්ඩායමට.

එයාලා ජීවත් වෙන්නෙ කොහෙද?

චිම්පන්සියන්ව බටහිර, මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවේ දකින්නට ලැබෙනවා. එයාලගෙන් වැඩි දෙනෙක් ජීවත් වන්නේ වැසි වනාන්තරවල. ඒත් සමහර චිම්පන්සියන් වියළි තෘණ බිම්වල සහ වෙනත් ප්‍රදේශවලත් ජීවත් වෙනවා .

එයාලා මොන වගේද?

චිම්පන්සියන් සාමාන්‍යයෙන් අඩි 3 සිට 5.5 (මීටර් 1 සිට 1.7) පමණ උසයි. එයාලගෙ බර සාමාන්‍යයෙන් රාත්තල් 70 ත් 130 ත් අතර වෙනවා (කිලෝග්‍රෑම් 32 සිට 60 දක්වා). පිරිමි සතුන් නම් ගැහැනු සතුන්ට වඩා තරමක් විශාලයි. චිම්පන්සියන්ගේ අත් එයාලගෙ කකුල් වලට වඩා දිගයි. එයාලට කළු හෝ දුඹුරු ලෝම වැස්මක් තමා තියෙන්නෙ. ඒත් එයාලගෙ මුහුණු, විශාල කන්, අත්ල සහ පතුල් වල නම් ලෝම වැස්ම නැහැ.

එයාලාගෙ හැසිරීම

චිම්පන්සියන් පලතුරු, කොළ සහ බීජ ඇතුළුව ප්‍රධාන වශයෙන් ශාක කොටස් තමයි ආහාරයට ගන්නෙ. ඒ ඇරුණම එයාලා  කෘමීන් හා කුරුල්ලන්ගේ බිත්තර ආහාරයට ගන්නවා. සමහර විට චිම්පන්සියන්, වඳුරන් සහ වෙනත් ක්ෂීරපායින් දඩයම් කරලා ආහාරයට ගන්න වෙලාවලුත් තියෙනවා.

එයාලට පොළවේ කකුල් දෙකෙන් හිටගෙන ගමන් කරන්න පුළුවන්.  නමුත් බොහෝ විට එයාලා ඇවිදින්නෙ කකුල් හතරෙන්.  චිම්පන්සියන් ගස්වල වගේම පොළවෙත් කාලය ගත කරනවා.

චිම්පන්සියන් විවිධාකාර සරල මෙවලම් හදනවා. උදාහරණයක් විදියට, සමහර චිම්පන්සියන් ස්පොන්ජ් බවට පත් කරන්න සමහර කොළ වර්ග හපනවා. ඊළඟට, ඔවුන් වතුර පිරුණු ගස් බෙන වලට ඒ කොළ පුරවනවා. එයාලගෙ ස්පොන්ජ් වෙච්ච කොළ ආයෙම ලබාගන්න කෝටු යොදාගන්නවා. ඊට පස්සෙ එයාලා කරන්නෙ කොළ වල තියෙන වතුර බොන එක. තරුණ චිම්පන්සියන් වැඩිහිටියන් නැරඹීමෙනුයි අනුකරණය කිරීමෙනුයි තමයි මෙවලම් භාවිතා කරන හැටි ඉගෙන ගන්නෙ.

චිම්පන්සියන් පිරිමි 15 – 120 පමණ ඉන්න කණ්ඩායම් විදියට තමා ජීවත් වෙන්නෙ. කණ්ඩායමක සාමාජිකයන් සාමාන්‍යයෙන් එකිනෙකා සමඟ මිත්‍රශීලී වෙනවා. ඒත් අනෙක් කණ්ඩායම් එක්ක නම් එහෙම මිත්‍රශීලී නැහැ. සමහර විට එක් කණ්ඩායමක් කුඩා කණ්ඩායමකට පහර දීලා එයලගෙ භූමියත් අත්පත් කරගන්න උත්සහ කරනවා.