ආචාර්ය ඉනෝකා කුඩාවිදානගේ විසිනි.

පැන්තෙරා පාඩස් කොටියා (Panthera pardus kotiya) හෙවත් මෙරටට ආවේණික බිළාල පවුලේ විශාලතමයා වූ ශ්‍රී ලංකා කොටියා වියළි කලාපයට පමණක් සීමා වී නැත. ලංකාවේ සිටින විශාලතම විලෝපිකයා වන කොටියා පහත රට තෙත් කලාපයත්, මෙරට මධ්‍යම කඳූකරයත් තම නිවහන කරගෙන ජීවත් වෙයි. එයිනුත් මධ්‍යම කඳූකරයේ ජීවත් වන කොටින් සුවිශේෂී වන්නේ වනගතව මෙන්ම මිනිසා විසින් ක්‍රම ක්‍රමයෙන් අත්පත් කරගත් බිම් තුලත් ජීවත් වන නිසාය. එහෙත් මෙරට මධ්‍ය කඳූකරයේ කොටි ගහනයට අද වන විට විශාල වශයෙන් තර්ජන එල්ල වී ක්‍රමයෙන් ගහනය අඩු වෙමින් පවතී.

දශකයක කාලය ගත් කල නිල හා නිල නොවන කොටි මරණ සංඛ්‍යාව සැලකීමේදී ඉන් බහුතරයක් මධ්‍යම කඳූකරය ආශ්‍රිත සිදුවීමය. මේවා මිනිසුන් විසින් සිත මතා කළ ලෙස සැලකිය හැකිවන්නේ බහුතරයක් මදු යොදාගෙන මෙන්ම වෙඩි තබා කල මරණ නිසාය. මේ මරණ අතර කුඩා පැටවුන්, ගැහැනු සතුන් මෙන්ම දුර්ලභ ජාන විකෘතියක් වූ කළු කොටියෙක්ද වෙයි. සංරක්ෂණයේ යෙදී සිටින පර්යේෂකයන් විශ්වාස කරන්නෙ මෙරට කඳූකර කොටි ගහනය සිතා සිටින අගයට වඩා අඩු බවයි. එමෙන්ම වසරකට ඝාතනය වන සංඛ්‍යාව වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩි බවත් එයින් මරණ බහුතරයක් සැඟවී යන නිසා හෙලි නොවන බවත් කියවෙයි. පසුගිය වසරේ එනම් 2020 ගත් කල සිදුවූ මරණ සංඛ්‍යාව 13 කි. එයින් බහුතරයක් මධ්‍යම කඳූකරය ආශ්‍රිතව සිදු වූ මරණය. මදු වලින් ගලවාගත් කොටින් සංඛ්‍යාව හයක් වූ අතර ඒ සියල්ල ඉහල කඳූකර ඇසුරෙන් වාර්තා වූ සිදුවීම්ය. ගෙවුනු දශකය තුල කොටි මරණ සියයකට ආසන්නව සිදු වී ඇති බවට අනුමාන කල හැකි සාක්ෂි ඇත. මෙම වසර තුලද තත්ත්වය එතරම් සුභදායී නොවන වග ආසන්න කොටි මරණ සිදුවීම් මෙන්ම , වනජීවී දෙපාර්තමේන්තුව විසින් කල වැටලීම් වලින් සොයාගත් කොටි ශරීර කොටස් ජාවාරම පිලිබඳ සාක්ෂි වලින් තහවුරු වෙයිකඳුකරයේ තේ වතු හා අනෙකුත් වගා බිම් බහුතරයක් කොටින් තමන්ගේ දඩ බිම් හා මංකඩත්, ප්‍රජනන කාලයට වනාන්තර දෙපස මාරු වන බිම් ලෙසත් පාවිච්චි කරයි. එමෙන්ම ගොදුරු ලෙස හැදින්වෙන සත්ත්ව විශේෂ පවා මේ වගා බිම් ආශ්‍රිතව සිටින නිසා කොටින් නිරන්තරයෙන්ම එහි වාසය කරයි. වත්මන් තත්ත්වය සැලකීමේදී මෙරට කඳුකර කොටි ගහනයට ඇති වී ඇති විශාලතම බලපෑම වී ඇත්තේ වනාන්තර අහිමි වීම තුලින් තමන්ගේ දඩබිම් අහිමි වීමත්, වෙනත් සතුන්ට අටවන මදු වලට අසුවීමත්ය. කොටින් මෙලෙස වගා බිම් තුලට, වෙනදාට වඩා පැමිණෙන හේතු ලෙස දැක්විය හැක්කේ වනාන්තර විනාශය තුලින් වාසස්ථාන අහිමි වීම, වනාන්තර කණ්ඩනය වීම, මිනිසුන් විසින් ස්වාභාවික ගොදුරු දඩයම් කිරීම නිසා ඇතිවන ගොදුරු හිඟතාව, කොටින්ගේ වාසබිම් ක්‍රමයෙන් හායනය වීමෙන් වගාබිම් වාසභුමි ලෙස හඳූනාගැනීම වැනි කරුණු නිසාය. එමෙන්ම සුනඛයන් හා එළුවන්, හරකුන් වැනි පහසු ගොදුරු වෙත කොටින් ඇදී ඒම නිසාත් මෙලෙස කොටින් මේ වගාබිම් ආශ්‍රිතව නිරන්තරයෙන්ම ගැවසෙයි. එවන් තත්වයක් යටතේ, මෙලෙස කොටින් ඝාතනය සදහා චේතනාන්විතව මෙන්ම අනෙක් සතුන් ගැවසෙන නිසා දඩමස් ලබා ගැනීම පිනිස මදු ඇටවීම සිදු කරයි. විශේෂයෙන්ම කොරෝනා තත්වය මත ආදයම් අඩු වීම තුලින් අමතර ආදායමක් ලැබීම සඳහා මෙලෙස සතුන් ඝාතනය කොට මස් පිණිස අලෙවි කිරීමට විවිධ පුද්ගලයින් කටයුතු කිරීම නිසා සිදු වූ මරණද පසුගිය සමයේ වාර්තා විය.

මේ ගැටලු දෙකටම පවත්නා නීතිමය රාමුව යටතේ පැහැදිලි විසඳුම් ඇති වුවත් නීතියේ ඇති හිඩැස් තුලින් අපරාධකරුවන් ගැලවී යාම නොඅඩුව නීරීක්ෂණය කල හැක. කොටියෙක් ඝාතනය කිරීම, ශරීර කොටස් ලඟ තබා ගැනීම වැනි කරුණු හේතුවෙන් අපරාධකරුවෙක්ට දඩුවම් කල හැකි වුවද බොහෝ විට සිදු වනනේ ඇප මත නිදහස් වීමයි. එලෙසෙම මෙලෙස කොටි මදු වලට අසුවන මහා හා සුළු පරිමාණ කෘෂි බිම් වලට පවා නීතිය ක්‍රියාත්මක විය යුතු ආකාරය වෙනස් විය යුත්තේ තම අයිතිය හෝ කළමනාකරණය යටෙතේ ඇති භූමියක සිදු වන අකටයුතු පිලිබඳ මෙයට වඩා වගකීමක් ගත යුතු බව ඉස්මතු කරමිනි වනජීවි අපරාධ මැඩලීමට නීතිමය පසුබිම තද විය යුතුමය.

එමෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අති දුෂ්කරතා මධ්‍යයේ කරන කාර්ය අගය කරන අතර වඩා කාර්යක්ෂම සේවයක් කීරීමට අවැසි පහසුකම් ද මේ කඳුකර කොටින්ගේ හෙට දිනය සුරක්ෂිත කිරීමට ලැබිය යුතුය. විශේෂයෙන්ම කොටි නිරන්තරයෙන් වාර්තා වන ප්‍රදේශ ආවරණය වන ලෙස වනජීවි රෝහලක්ද, ඒ සඳහා පශුවෛද්‍ය ඒකකයක්ද, සතුන් ප්‍රවාහනයට ගැලපෙන රථ වාහන මෙන්ම අනෙකුත් කාර්ය මණ්ඩලයද ලැබිය යුතුය. එමගින් කොටි සංරක්ෂණය වඩා සාර්ථක වනු ඇත. එලෙසින්ම සංරක්ෂණ ක්‍රම යාවත්කාලීන කිරීම ද සිදු විය යුතුය. ජාතික මට්ටේමෙන් ක්‍රියාත්මක වන කොටි සංරක්ෂණ ප්‍රතිපත්තියක් මෙන්ම පරිපාලනික වැට මායිම් නොසලකා වනාන්තර ආරක්ෂා කරන සියලු ආයතන සහ පාර්ශවයන් ඒකාබද්ධව කටයුතු කීරීමේ අවශ්‍යතාව දැඩිව පවතී .

දැනුවත් කීරීම් සහ දැනුවත් වීම සංරක්ෂණය සඳහා අත්‍යවශ්‍ය වන අතර කොටින් පිළබඳ දත්ත පදනම් කරගෙන සංරක්ෂණ ක්‍රමවේදයන් අනුගමය කිරීම සදහා අවශ්‍ය විද්‍යාත්මක තොරතුරු වල දැඩි අවශ්‍යතාවයක් පවතී . එමෙන්ම, කොටි ගැවසෙන ප්‍රදේශ තුල ජීවත් වෙන ජනතාව, සතුන්ට මෙන්ම මිනිසුන්ටද අවම හානියක් වන අයුරින් එදිනෙද කටයුතු කල යුතු ආකාරය, එම සතුන්ට හානි කිරීමෙන් ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳවද දැනුවත් කීරීම කල යුතුය. නීතිය ක්‍රියාමත්මක කරවන යම් කණ්ඩායම් වලට වුවද මෙම සතුන්ගේ පාරිසරික වටිනාකම පිළිබඳව වඩා විස්තරාත්මක අවබෝධයක් ලබා දීමට අවැසි බව හැඟේ.

වචනයට පමණක් සීමා නොවී නූතන තාක්ෂණයට අනුගතව වඩා සාර්ථක සංරක්ෂණ ක්‍රම මගින් මේ කඳුකරේ සිටින සීමිත කොටි ගහනය සංරක්ෂණය කල යුතුව ඇත්තේ මේ කොටින්ගෙන් බහුතරයක් රක්ෂිත වනාන්තර වලට වඩා පිට පිහිටා ඇති වගාබිම් තුල මෙන්ම අත්‍යවශ්‍ය අනෙකුත් වනාන්තර පද්ධති තුල ජීවත් වන හෝ ඒවා පරිහරණය කරන බවට සාක්ෂි ඇති නිසාය. නැතහොත් වන්නේ මෙරට නැති කොටි මිනිස් ගැටලුවක් අප විසින් නිර්මාණය කර ගැනීමයි. ඒ තුලින් අනාගතේ මෙරට කඳූකර කොටි ගහනය මෙන්ම අප රටට පාරිසරිකව සහ ආර්ථිකව වැදගත් මෙම සුවිශේෂී සත්වයා අප භූමියෙන් න්‍යෂ්ඨ වී යනු ඇත. එතෙක් බලා නොසිට ක්ෂේත්‍රයේ සිටින දැනුවත් සහ අත්දැකීම් බහුල පිරිසගේ සහය ඇතිව සුදුසු සහ ක්‍රමවත් ක්‍රියාමාර්ගයක් ගැනීම වහා සිදු විය යුතුය