ආචාර්ය ජගත් ගුණවර්ධන විසිනි.

ශ්‍රී ලංකාවේ විවිධ සත්ව කාණ්ඩවලට අයත් වූවන්ට ලැබී තිබෙන නීතිමය ආරක්ෂාව දෙස බලන විට ආරක්ෂාවට ලක්ව සිටින මුහුදු මත්ස්‍යයන් ගණන ඉතාමත් අඩු බව පෙනෙන්නට තිබේ. මෙසේ තවමත් මෙරටට අයත් මුහුදේ අනාරක්ෂිතව සිටින්නන් අතරට වඳවීයාමට අත්‍යාසන්න තත්වයේ සිටින විශේෂත් ඇතුලත්‍ වේ.මොවුන් අතුරින් දැති මෝරුන්ට මෙතෙක් කිසිඳු නීතිමය රැකවරණයක් ලැබී නොතිබීම කැපී පෙනෙන්නකි.
මුහුදු මසුන් අතරින් වඳවීමේ තර්ජනයට වඩාත්ම ලක්වී සිටින හෙවත් වඩාත්ම අනතුරුදායක තත්වයේ සිටින්නේ දැති මෝරුන් වේ.ලොව පුරා සිටින දැති මෝරු විශේෂ පහ ම මේ වන විට වඳවීයාමට අත්‍යාසන්න තත්ත්වයේ සහ තර්ජිත තත්ත්වයේ පසුවන්නන් බව ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත ලෙඛනයෙන් පෙන්නුම් කෙරේ. ඒ අනුව ලොවේ හමුවන දැති මෝරු විශේෂ පහෙන් තුනක් (එනම්, Smalltooth Sawfish, Green Sawfish, Largetooth Sawfish) වඳවීමේ තර්ජනයට අත්‍යාසන්න තත්වයේ සහ ඉතිරි විශේෂ දෙක (Narrow Sawfish, Dwarf Sawfish) තර්ජිත තත්වයේ සිටී.

ලොවේ හමුවන දැති මෝරුන් විශේෂ පහෙන් හතරක්ම ඉන්දියානු සහ පැසිෆික් සාගර වල හමුවන අතර ඉතිරි විශේෂය අත්ලාන්තික් සාගරයේ පමණක් හමු වේ.

මේ නිසා මෙරට අවට මුහුදෙන් දැතිමෝරුන් විශේෂ හතරක් හමුවීමේ ඉඩකඩ තිබේ. ඒ නිසා නීතිමය ආරක්ෂාව ලබාදීමේදී එම විශේෂ හතරම නම් කොට ආරක්ෂාව ලබාදීම එක් ක්‍රමයකි .දෙවැන්න නම්, ලොවේ හමුවන විශේෂ පහටම නීතිමය ආරක්ෂාව පිරිනැමීමයි. නමුත්, අත්ලාන්තික් සගරයේ පමණක් හමුවන විශේෂයක් මෙරටේ නීතිමය ආරක්ෂාවට නතුකිරීමේ පරමාර්ථය කෙනෙකුට ප්‍රශ්න කල හැකි මුත්, සමානයන් අතර ව්‍යාකූලතාවයන් මඟහරවා ගැනීමට මෙවන් පියවරක් ගැනීමේ වරදක් නොමැත. මේ තත්ත්වය තවත් ආකාරයකින් කල හැකි ක්‍රමයක් වන්නේ දැති මෝරුන් අයත් වන ප්‍රීස්ටිඩේ කුලයම නීතියෙන් ආරක්ෂා කිරීමයි. එවිට එම කුලයේ සියලු සාමාජික විශේෂ නිතැතින්ම නීතිමය රැකවරණයට නතුවන බැවින් පසු කලක සිදුවිය හැකි නව විශේෂ සොයා ගැනීම් හෝ නාමකරණ වෙනස්වීම් වලින් නීතිමය ආරක්ෂාව කෙරේ කිසිඳු බලපෑමක් නොවනු ඇත. මේ තෙවැනි ක්‍රමවේදය නීතිය ක්‍රියාත්මක කිරීමේ දෘෂ්ටියකින් බලන විට සාර්ථකම ක්‍රමවේදය වේ.
දැති මෝරුන් හට ශ්‍රී ලංකාව තුල නීතිමය ආරක්ෂාව ලබාදීම පිණිස ප්‍රවේශයන් දෙකක් තිබේ.
මින් ප්‍රධානතම පනත වන්නේ වන සත්ව සහ වෘක්ශලතා ආරක්ෂාකිරීමේ ආඥා පනතේ 31 අ වගන්තියට අනුව පනතේ vi වන උප-ලේඛනයට මත්ස්‍යයෙකු ඇතුලත් කල විට එම මත්ස්‍යා පනතේ 31අ වගන්තිය යටතේ පිරිනැමෙන ආරක්ෂාවට නතුවේ. ඒ අනුව, එවන් මත්ස්‍යයකු, මරණයට පත්කිරීම, තුවාල කිරීම, හානි කිරීම, මත්ස්‍යයකු හෝ ශරීර කොටස් තම සන්තකයේ හෝ භාරයේ තබා ගැනීම, මත්ස්‍යයකු හෝ ශරීර කොටස් විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම මෙන්ම ඉහත වරදවල් එකක් හෝ වැඩි ගනනක් සඳහා යම්කිසි උපකරණයක්, මෙවලමක් හෝ ද්‍රව්‍යයක් භාවිතා කිරීම වරදවල් වේ.

මේ සඳහා උප-ලේඛනයක් තුලට නව විශේෂයක් ඇතුලත් කල යුත්තේ පනතේ සංශෝධනයක් මඟින් පමණක් බවට යන මතයක් පවතී. නමුත්, අමාත්‍යාවරයාට පනතේ 34 වන වගන්තිය යටතේ පැවරී තිබෙන බලතල අනුව මෙය අමාත්‍යවරයා විසින් නියෝගයක් මඟින් කල හැක්කකි.

දැති මෝරුන් සඳහා නීතිමය ආරක්ශාව ලබාදීමට යොදාගත හැකි අනෙක් පනත වන්නේ ධීවර සහ ජලජ සම්පත් පනතයි. එම පනතේ 29 වන වගන්තිය අනුව අමාත්‍යවරයා විසින් සාදනු ලබන නියෝගයක් මගින් ඕනෑම මත්ස්‍යයකුට ආරක්ෂාව ලබා දිය හැක.
ඒ අනුව, එසේ ආරක්ෂාවට නතුකරගත් මත්ස්‍යයකු, ඇල්ලීම, ගොඩ බෑම, ප්‍රවාහනය කිරීම, විකිණීම, මිලදී ගැනීම, ලබා ගැනීම හා තම භාරයේ තබා ගෙන සිටීම වරදවල් වේ.

මේ වනවිට දැතිමෝරුන් හට ශ්‍රී ලංකාව තුල ව්‍යංග ආරක්ෂාවක් පමණක් හිමිවී තිබේ. ඒ වන සත්ව සහ වෘක්ශලතා ආරක්ෂක ආඥා පනතේ 40 වන වගන්තියෙනි. ඒ අනුව, දැති මෝරෙකු හෝ කොටසක් හෝ අපනයනය කල හැක්කේ වනජිවී සංරක්ෂණ දෙපර්තමේන්තුවෙන් නිකුත් කල බලපත්‍රයක් යටතේ පමනකි. මෙවැනි බලපත්‍රයක් කිසිඳු වානිජමය කටයුත්තක් සඳහා නිකුත්කල නොහැක.


වඳවී යන සතුන් සහ ශාකවල අන්තර්ජාතික වෙලඳාම පිලිබඳ ප්‍රඥප්තිය අනුව දැති මෝරුන් විශේෂ සියල්ලම 2012 සිට එහි පලමු උපලේඛනයට ඇතුලත් කර තිබේ. ඒ අනුව, දැති මෝරුන් කිසිඳු වෙළඳ කටයුත්තක් සඳහා අපනයනය හෝ ආනයනය කිරීමට නොහැක. නමුත් රටක් තුල කරන ඇල්ලීම්, මරා දැමීම් හෝ වෙලඳාම් කෙරේ කිසිඳු ආකාරයකින් බලපෑමක් මෙමඟින් සිදු නොවේ.


ශ්‍රී ලංකාව තුල දැති මෝරුන් හට නීතිමය ආරක්ෂාව ලබා දිය යුත්තේ වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ 31අ වගන්තියට අනුවද, නොඑසේ නම් ධීවර සහ ජලජ සම්පත් පනතේ 29 වන වගන්තිය අනුවදැයි යන්නට පිළිතුර වන්නේ පනත් දෙකෙන්ම ආරක්ෂාව සලස්වාදීම ඉතාමත්ම ප්‍රශස්ථ තත්වයක් බවයි. එකම සතෙකුට හෝ ශාකයකට පනත් දෙකකින් ආරක්ශාව ලබාදීමට නීතියෙන් කිසිඳු බාධකයක් නැත. එමෙන්ම, එය එකිනෙකට පටහැනි තත්වයක්ද නොවේ. එමඟින් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ එකිනෙකට අනුපූරක වන වඩාත් සාර්ථක රැකවරණයක් ලැබීම පමනකි.


එසේ නොමැති නම්, වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ ප්‍රතිපාදන වඩා ශක්තිමත් නිසා එම පනත යටතේ හෝ ආරක්ශාව ලබාදීම සුදුසු වේ.
දැති මෝරුන් වඳවීයාමේ තර්ජනයට ඉතා තදින්ම මුහුණපා ඇති මේ අවස්ථාවේදී කලයුතු වන්නේ නොපමාව දැති මෝරුන් නීතිමය ආරක්ෂාවට නතුකර ගැනීම තුලින් ඔවුනට ශ්‍රී ලංකාවට අයත් මුහුදුවලදී ආරක්ෂාව තහවුරු කිරීම වේ.