මන්නාරම, ශ්‍රී ලංකාවේ උතුරු පලාතේ අර්ධ ශුෂ්ක කලාපය තුල පිහිටි කඩොලාන, කලපු, කටු පඳුරු හා ලඳු කැලෑ, වෙරළ, නොගැඹුරු මුහුද, මුහුදු තෘණ භූමි සහ වැලි තැනි, මඩ තැනි වැනි විවිධ පරිසර පද්ධති වලින් සමන්විත දුපතකි.

එහි ඇති විශේෂත්වය නිසාම ජලාශ්‍රිත වාසයට ප්‍රිය කරන සංක්‍රමණික පක්ෂි විශේෂ සිය ගණනක් තම මව් රටෙහි ශීත සෘතුව මග හැරීම පිණිස මෙරටට පැමිණ මන්නාරම ආශ්‍රිතව ලැගුම් ගනී. ඔක්තෝම්බර් සිට සංක්‍රමණයන් පටන් ගන්නා මොවුන් නැවත මාර්තු – අප්‍රේල් මාස වනවිට සිය මව් රට බලා පිටත්ව යාම සිදු කරයි.  කිලෝමීටර් දහස් ගණනක් දුර ගෙවාගෙන මෙරටට පැමිණෙන මෙම සංක්‍රමණික පක්ෂීන් නිසාවෙන් මන්නාරමෙහි වටිනාකම දෙගුණ තෙගුණ වේ. ශීත සෘතුව මග හැර ආහාර, වාසස්ථාන සහ අභිජනනය යන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙරට තාවකාලිකව ලැඟුම් ගන්නා ලක්‍ෂ සංඛ්‍යාත පක්ෂින් අතරේ තාරවන් විශේෂ, සියක්කාරයින් (Flemingos) සහ මුහුදු ලිහිණින්ද වේ. එසේ පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත පක්‍ෂින්ගේ වසුරු හා අපද්‍රව්‍ය ඒ ආශ්‍රිතව ජීවත් වෙන මසුන් ආහාරයට ගන්නා නිසාත් මන්නාරම ආශ්‍රීතව ධීවරයින්ට ඉතා හොඳ මත්ස්‍ය අස්වැන්නක්ද ලැබේ.

සංක්‍රමණික පක්ෂි විශේෂයක් වන සියක්කාරයින්ගේ රහදහනක් වූ මන්නාරම. ඡායාරූපය: විශ්ව සචිත් පෙරේරා

වාන්කාලෙයි අභයභූමියට 2016 මාර්තු 1වන දින 1956/13 ගැසට් මගින් ස්වභාව රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර හෙක්ටයාර 29,000ක් ඉන් ආවරණය කරයි. 

සිලාවතුර වෙරළේ සිට කිලෝමීටර 10ක් පමණ ඈතින් කොරල් පර හා ඒ ආශ්‍රිත ඉතා අලංකාර මත්ස්‍ය විශේෂ, පසැඟිල්ලන්, මෝරුන් ඇතුලු නොයෙක් විද සාගර ජීවීන් සුලභව සිටී. දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු ඌරන් වාර්තා වන්නේ ද මන්නාරම ආශ්‍රිත නොගැඹුරු මුහුදු කලාපය තුලයි. එයට හේතුව වන්නේ ඒ ආශ්‍රිතව ඔවුන්ගේ ආහාර වන මුහුදු තෘණ හා මුහුදු පැලෑටි ව්‍යාප්තව තිබීමයි. පාරිසරික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙනුත් වැදගත්කමක් උසුලන මන්නාරමෙහි සංචාරය කිරීම සදහා දෙස් විදෙස් සංචාරක පිරිස්ද මෙහි ලඟා වේ. 

මෙතරම් ඉහළ වටිනාකමක් ඇති මන්නාරම මේ වනවිට නොගැලපෙන, අවිධිමත් සංවර්ධන ක්‍රම සහ නීති විරෝධී ක්‍රියා හේතුවෙන් පාරිසරික සහ සමාජීයව දැඩි තර්ජන රැසකට මුහුණපා ඇත.

මන්නාරම අවට මහා පරිමාණයෙන් සිදුකරන ඉස්සන් වගාව මේ වන විට කලපු ජලයට විශාල ලෙස බලපෑම් කරමින් පවතී. ඉස්සන් වගාව සඳහා යොදනු ලබන රසායනික ද්‍රවය හා එම ඉස්සෝ කොටුවලින් ඉවත් කරන අපජලය කිසිදු පිරිපහදු කිරීමකින් තොරව වනජීවී සංරක්ෂණ කලාපයට අයත් රක්ෂිතයට මුදාහැරිම නිසා බැක්ටීරියා සහ වෛරස් රෝග කාරක විශාල ප්‍රමාණයක් දිනපතා පරිසරයට නිරාවරණය වේ. ස්වාභාවික පරිසරයේ ජීවත් වන සතුන්ට එම වෛරස ආසාදනය වීම මත විශාල ව්‍යසනයන්ට මුහුණ දීමටද සිදු වේ. කලපු ජලයේ සංයුතිය වෙනස් වීම නිසා මසුන් ඇතුලු කලපු ආශ්‍රිත ජීවීන්ට ද දැඩි ලෙස බලපෑම් ඇති කරයි. මේ වනවිට අක්කර 1500 ක පමණ වනජීවී දෙපාර්තමේන්තුවට අයත් භූමිවල ඉස්සන් වගාව කෙරෙන බැවින් එය මන්නාරමෙහි අවේණික පරිසර පද්ධතියට දැඩි බලපෑමක් කරනු ඇත.

1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත යටතේ නිකුත් කරන ලද 24.06.1996 අංක 772/22 ගැසට් පත්‍රයේ සදහන් වන පරිදි හෙක්ටෙයාර් 4ට වැඩි භූමි ප්‍රමාණයක (තෙත් බිමක් හෝ ගොඩ කරන ලද ඉඩමක්) ජලජ ජීවී සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කිරීමේදි ඒ සදහා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් ලබාගත යුතු බව, පාරිසරික නීතීඥ ආචාර්යය ජගත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කලද තවමත් එවැනි වාර්තාවක් පිළියෙළ කොට නොමැත.

එමෙන්ම ලක්ෂ සංඛ්‍යාත වූ පක්ෂීන් මෙරටට ඇතුළු වන ප්‍රදේශයක් වන මන්නාරමෙහි විශාල සුළං විදුලි බලාගාර ස්ථාපනය කිරීම නිසා සංක්‍රමණික පක්ෂීන් හට මෙරටට ඇතුළු වීමට දැඩි බාධාවන් පැමිණේ. එමෙන්ම පක්ෂීන්ගේ ජීවීත කෙරෙහි ඇති තර්ජනද දැඩි වේ. පරිසරයට ඉතාමත් සංවේදී සංක්‍රමණික පක්ෂීන් මෙම විශාල වෙනස්කම් හමුවේ මෙරටට නැවත පැමිණීම පවා සැක සහිත වේ.

මන්නාරමෙහි ඉදි වී ඇති සුළං විදුලි බලාගාරය. ඡායාරූපය: විශ්ව සචිත් පෙරේරා

තව ද ඕස්ට්‍රේලියානු සමාගමක් විසින් මන්නාරම ආශ්‍රිතව වැලි කැණීමට යෝජනාකර ඇති අතර මන්නාරම් දූපත තුල බොහෝ ස්ථාන මුහුදු මට්ටමට වඩා පහලින් පිහිටා ඇති නිසාත් කුඩා වපසරියක පිහිටා ඇති නිසාත් මේ තුල වැලි කැණීම සිදු කලහොත් භුමිය තුල ඇති ස්ථායි බව නැතිව යාම, කැණීම් සිදුකිරීමේදී මුහුදු ජලය ගොඩබිමට පැමිණිම හේතුවෙන් භූගත මිරිදිය ජලය සහ කරදිය එකතුවීම සහ ඒ හරහා සාමාන්‍ය ජනතාවට එහි ජීවත්වීමට නොහැකි වීම වැනි තත්වයනටද, දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහල යන මුහුදු මට්ටම නිසාත් දූපත සම්පුර්ණයෙන් මුහුදු ජලයෙන් යටවීමද පවා සිදු විය හැකිය.

වනජීවී දෙපාර්තමේන්තුව සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඉඩම් එලිපෙහෙලි කිරීමත්, අභයභුමිය තුල කසල පිළිස්සීම, ඉඩම් අවභාවිතාව, ඉඩම් අත්පත් කර ගැනීම වැනි පරිසර ගැටළු සමාජීය ගැටලු බවටද පත්වේ. වන සත්ත්ව හා තුරු ලතා ආඥ පනතේ 7වෙනි වගන්තිය යටතේ අභය භූමියකට කුණු කසල දැමීම නීති විරෝධී වන බැවින් මෙසේ වෙඩිතලතිව් අභය භූමිය තුල කැලි කසල දැමීම හා පිළිස්සීම නීති විරෝධී බව පරිසර නීතීඥය, ආචාර්යය ජගත් ගුණවර්ධන මහතා පැවසුවේය.

වෙඩිතලව් රක්ෂිතයේ කසල පුළුස්සන අයුරු. ඡායාරූපය: විශ්ව සචිත් පෙරේරා

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවන් සම්පුර්ණයෙන් උල්ලංඝනය කරමින් මන්නාරම සහ විවිධ ප්‍රදේශයන් ආශ්‍රිතව සිදුකරන මහාපරිමාණ නීතිවිරෝධී ‘bottom trawling’ ක්‍රමය නිසා මෙරට සාගර කලාපයේ මුහුදු පත්ලේ ඇති මත්සයින්, කොරල් පර, මුහුදු  තෘණ, පරිභෝජනයට නොගන්නා මුහුදු ජිවින් ඇතුළු විශාල සම්පත් ප්‍රමාණයක් විනාශ වේ. මේ වන විට යාපනයේ ධීවර සමිති කිහිපයක් හා පරිසර  යුක්‍ති කේන්ද්‍රය ද එක්ව අභියාචනාධිකරණයේ රිට් නඩුකරයක් ගොනුකර ඇත. සාගර පතුලේ පරිසර පද්ධතිය සම්පුර්ණයෙන් විනාශ වීම තුල ආහාර, අභිජනනය වීමට අවශ්‍ය ස්ථාන, මත්ස්‍ය බිත්තර විනාශ විම සහ අනෙකුත් සාගර ජීවින්ගේ වාසස්ථාන විනාශ වීමත්, තර්ජනයට ලක්වීමත් සිදුව, තව දුරටත් මෙරට ධීවරයන්ගේගේ සහ ඒ ආශ්‍රිත සියලුම නිෂ්පාදනද සම්පුර්ණයෙන් ඇණ හිටිනු ඇත. 

පාරිසරික මෙන්ම සමාජීය වශයෙන් ඉහත සඳහන් ගැටළුකාරී තත්වය, තවත් උග්‍ර වීමට පෙර මේ සඳහා බලය ඇති රාජ්‍ය ආයතන හැකි ඉක්මනින් ඒ සම්බන්ධව නිවැරදි තීරණ ගැනීමේ අවශ්‍යතාවයක් අත ලඟ ඇත.

විශ්ව සචිත් පෙරේරා පරිසර යුක්ති කේන්ද්‍රයයේ සහකාර ප්‍රතිපත්ති සහ දැනුවත් කිරීමේ නිලධාරියෙකු ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ ජේෂ්ඨ සාමාජිකයෙකුද වේ.