රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසිනි.

මාඔයේ සහ දැදුරුඔයේ අසීමිත ලෙස සිදුවන වැලි ගොඩදැමීම නිසා වෙරළට ප්‍රමාණවත් තරම් වැලි නොලැබීම හේතුවෙන් දිනෙන් දින මුහුදු ඛාදනයට ලක්වන වයඹ දිග වෙරළ තීරයේ සිදුවන එම  මුහුදු ඛාදනය වැළැක්වීම සදහා ගල් වැටි යෙදීම මෙන්ම  වැලි පොම්ප කිරීම සදහා  පමණක් 2020 වර්ෂය දක්වා විටින් විට රුපියල් මිලියන 2275 ක් වැය කර තිබෙන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය වේ.

කෙසේ නමුත් මේ ආකාරයෙන් මුදල් වැය කර තිබුණත් වෙරළ ඛාදනයේ  කිසිදු වෙනසක් සිදුවී නොමැති බව ප්‍රදේශවාසියෙකු වන ඩී.වී. නිමල් මහතා (72)කියා සිටි. ”අපි පුංචි කාලේ ඉඳලා මේ වෙරළ ගැන දන්නේ. ඒ කාලේ මේ වගේ වෙරළ මුහුදට ගියේ නෑ. දැදුරුඔයේ වැලි ගොඩදාන්න පටන් අරගෙන ටික කාලයකට පස්සේ තමයි මේ වගේ වෙරළ මුහුදට යන්න පටන්ගත්තේ. කොච්චර සල්ලි වියදම් කළත් වෙරළ හදන්න බෑ. නිකන් මුහුදට ගහගෙන යනවා විතරයි.”

2011 වර්ෂයේ සිට 2020 දක්වා කාලය තුල දී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වෙරළ කලාපය සංවර්ධනය කිරීම සිදු කර තිබෙන අතර ඒ අනුව සැළසුම් කළ වෙරළාරක්ෂක වැඩ කටයුතු සඳහා රුපියල් මිලියන 2159.4 ක් ද, හදිසි වෙරළාරක්ෂක ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 115.6 ක මුදලක් ද වැය කර තිබේ.

මේ ආකාරයෙන්  වයඹ දිග මුහුදු තීරය ඛාදනය වීම් ආරම්භ වී ඇත්තේ 1976/1977 කාලයේ සිට බවයි ප්‍රදේශයේ ජනතාව පවසා සිටින්නේ. මුල් වරට ඛාදනය සිදුවී ඇත්තේ වෙන්නප්පුව – නයිනමඩම, වයික්කාල වෙරළ තීරය තුළ බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අනතුරුව 1991/1992  කාලයේ සිට වරින් වර මාඔයේ සිට උතුරු දෙසට වෙරළ ඛාදනය සිදුවී ඇති අතර,2020 වර්ෂය වන විට වයඹ දිග වෙරළ තීරය තොඩුවාව දක්වා ඛාදනය වීම ආරම්භ වී තිබේ.

කල්පිටිය හා ඒ අවට වෙරළ තීරය ඛාදනයට ලක්වී ඇති අයුරු. ඡායාරූපය: රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  

වෙරළ ඛාදනය වැඩි වූ ප්‍රදේශ

කෙසේ නමුත් වයඹ දිග මුහුදු තීරයේ වෙරළ ඛාදනය වැඩි වූ ප්‍රදේශ සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේදී අනාවරණය වූයේ මාඔයට සහ දැදුරුඔයට උතුරු දෙසින් පිහිටි ප්‍රදේශ වන අතර ඒ සඳහා මාඔයේ සහ දැදුරුඔයේ අසීමිත ලෙස සිදුවන වැලි ගොඩදැමීම තුල මේ ආකාරයෙන්  වෙරළට ප්‍රමාණවත් තරම් වැලි නොලැබීම වෙරළ ඛාදනයට ප්‍රධානතම හේතුව බවට හඳුනාගෙන ඇතැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම ගෝලීය උණුසුම වැඩිවීම හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ යාම සහ දියවැල් ප්‍රවාහවල සිදුවන වෙනස් වීම් සහ මුහුදු කුණාටු තත්ත්වයන් ඇති වීමේ වාර ගණන හා තීව්‍රතාවය වැඩි වීම ද මෙම තත්ත්වයට හේතුවී ඇති බවට හඳුනාගෙන තිබෙන බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු කියා සිටියේ ය. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම කාරණාවලට පරිබාහිරව මිනිසා විසින් වෙරළ තීරය තුළ සිදු කරන ඉදිකිරීම් හේතුවෙන් ද රට අභ්‍යන්තරය තුළ ගංගා සහ ඔයවල්වල ඉවුරු කැණීම හේතුවෙන් වෙරළට වැලි නොලැබීම නිසා ද වෙරළ ඛාදනය වන බවට හඳුනාගෙන තිබෙන බවයි.

මා ඔයේ වැලි ගොඩ දමන ස්ථාන. ඡායාරූපය: රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  

වැලි ගොඩ දැමීම

අරණායක බයිබල් කන්ද හා කඩුගන්නාව කඳුකර ප්‍රදේශයෙන්  ආරම්භ වන මාඔයේ  ජලාධාර ප්‍රදේශය මහනුවර, කෑගල්ල, කුරුණෑගල, ගම්පහ, පුත්තලම යන දිස්‌ත්‍රික්‌ක පහ හරහා ගලා ගොස්‌  පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ දකුණු සීමාව වන කොච්චිකඩේ වයික්‌කාල අසලින් මුහුදට එක් වේ. මාඔයේ ජලාධාර ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 1528ක්‌ පමණ වෙයි.

වැලි ගොඩ දැමීමත්, මැටි කැපීමත් මහා පරිමාණයෙන් සිදු වන අතර  මැටි කැපීම මඟින් මා ඔය දෙපසින් ඔයේ හැඩය වෙනස්‌ වීමක්‌ සිදු වන අතර එම ප්‍රදේශවල ජලය පිරී යෑම මෙන්ම  වැලි ගොඩ දැමීම හේතුවෙන් ගංගා ඉවුරු කඩා වැටීම නිතර සිදු වන පාරිසරික හානියක් වේ. එමෙන්ම ගංගා පතුල අසීමිත ලෙස ගැඹුරු වී ලවණ ජලය රට තුළට ගලා ඒම නිතර ම සිදු වෙයි. මෙය ද පානීය ජල දූෂණයටත් කුඹුරු හා ගෙවතු වගා කටයුතුවලටත් බලවත් හානියක්‌ ගෙන දෙන බව ප්‍රදේශයේ ජනතාව කියා සිටි.

කෙසේ නමුත් මුහුදු ඛාදනය කෙරෙහි බෙහෙවින් බලපා ඇති වැලි ගොඩදැමීම කවර දා ඇරඹිණි දැයි යන්න පැහැදිලි නැති අතර 70 දශකය පමණ විට ගොන් කරත්ත හා සැහැල්ලු වාහන භාවිතයෙන් වැලි ඇදීම සිදු කෙරුණු බව ප්‍රදේශවාසියෙකු වන ජිනසේන හෙට්ටිගේ මහතා කියා සිටි (68) . ”70 දශකයෙන් පසු වැලිමංකඩ ලියාපදිංචි කර වැලි ලබා ගැනීම සඳහා විශේෂ බලපත්‍රයක්‌ නිකුත් කෙරුණා. ඉන්පසු 80 දශකයේ දී ටෙන්ඩර් මඟින් අවසරය ලබා ගත් අයට පමණක්‌ වැලි ලබා ගැනීමට අවසර දුන්නා ”.

 ”මේ අනුව මා ඔය ඉවුරේ ලියාපදිංචි වැලිමංකඩ ප්‍රමාණය වසර 1992 දී 6ක්‌ වූ අතර වසර 1996 වන විට එය 20 දක්‌වා වැඩි විය. මේ අතර එක්‌ වූ අනවසර වැලිමංකඩ සංඛ්‍යාව 30ක්‌ පමණ විය. ඉන්පසු ට්‍රැක්‌ටර් ගඟට බස්‌වා වැලි ගොඩ දැමීම සිදු කළා. පස්සේ  ඉවුරේ සිට වැලි ගොඩදැමීම සිදු කරනු ලැබුවා. අද වන විට ට්‍රැක්‌ටර් භාවිතයට අමතරව බැකෝ යන්ත්‍ර යොදා ගංගා පතුල හාරමින් වැලි ගොඩ දැමීම මහා පරිමාණයෙන් සිදු කරනවා.” යැයි හෙතෙම කියා සිටියේ ය.

කෙසේ නමුත් අද වන විට ගඟට බැස් ‌වූ බැකෝ යන්ත්‍ර මඟින් වැලි ගොඩදැමීම සිදු කිරීම නිසා ගඟ පතුල ඉවුරේ සිට අඩි 40කට වඩා වැඩි ප්‍රමාණයකට ගැඹුරු වී තිබෙන බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.

ඛාදනය වැලක්වීමට බාධක යොදා තිබියදීත් කල්පිටිය අවට වෙරළ තීරය ඛාදනයට ලක්වී ඇති අයුරු. ඡායාරූපය: රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  

මුහුදු ඛාදනය

ගංගාවකින් මහා සයුරට දිය දහරා ගලා යන්නේ සොබා දහමට අනුව නිමැවුණු පරිසර සංවේදී ක්‍රියාවලියකට අනුව ය. නමුත් මේ ආකාරයෙන් වැලි ගොඩදැමීම නිරන්තරයෙන් සිදුවන තාක් සිදුවන පරිසර විනාශය නතරකිරීමට නොහැකි බවයි පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ. මාඔයට හා මාඔය මුහුදට වැටෙන වයික්‌කාල, මාරවිල, නයිනමඩුව සිට හලාවත දක්‌වා වෙරළ තීරවල සිදු වෙමින් පවතින ඛාදනයට හේතුව මාඔය ආශ්‍රිත ප්‍රදේශවල සිදු කෙරෙන වැලි ගොඩදැමීම යැයි ද පරිසර සංවිධාන පෙන්වා දෙන අතර එය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද සනාථ කරනු ලබයි.

‘’වෙරළට වැලි සැපයීමත් වෙරළින් වැලි ගෙන යැමත් සමතුලිත වන අවස්‌ථාවේ දී වෙරළේ ඛාදනයක්‌ සිදු වන්නේ නෑ. සමතුලිත, දර්ශනීය වෙරළක්‌ තමයි දක්‌නට ලැබෙන්නේ. මාඔයෙන් වැලි ගොඩ දමන නිසා මාඔයේ මෝය කටින් වෙරළට වැලි එන්නේ නෑ. ඒ නිසයි හලාවත දක්‌වා මුහුදු ඛාදනයක්‌ දක්‌නට ලැබෙන්නේ. හලාවතින් දැදුරු ඔය මුහුදට ගලා බසින නිසා එතැනින් එහාට මුහුදු වෙරළ ආරක්‍ෂා වෙනවා. මේ තත්ත්වය පාලනය කළ යුතුයි. ඒ නිසයි වෙරළ සංරක්‍ෂණය කිරීමේ කටයුතු ආරම්භ කළේ.’’ බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු කළ විමසීමක දී කියා සිටියේ ය.

“වර්තමාන රජය බලයට පත්වී ටික කාලයක් යනවිට වැලි,මැටි ප්‍රවාහන බලපත්‍ර අහෝසි කළා. නමුත් ඒක කළේ නිත්‍යානුකුල ක්‍රමවේදයකට නොවේ. ඒකට විරුද්ධව කටයුතු කළාට පස්සේ නැවතත් තිබුණ විදියටම බලාත්මක කරගත්තා. ඒක කළේ කැබිනට් අනුමැතියක් යටතේ. ඒක ප්‍රතිපත්තිමය තීන්දුවක් වුණා. නමුත් ඊට පස්සේ නීතිවිරෝධී වැලි ගොඩදමන ස්ථාන, නීතිවිරෝධී ප්‍රවාහනය කිරීම් අත්අඩංගුවට ගන්න නිතිමය කටයුතු ක්‍රියාත්මක කළේ නෑ. අද වනවිට ඒකේ දරුණුම තත්වයකට පත්වී තිබෙනවා. මාඔයේ, දැදුරු ඔයේ පමණක් නොවේ බොහෝ ප්‍රදේශවල අද වනවිට නීතිවිරෝධී වැලි ගොඩදැමීම් ක්‍රියාත්මක වනවා” බව පරිසරවේදී සජීව චාමිකර මහතා පවසා සිටි.

”දැදුරු ඔය සහ මා ඔය කියන්නේ වැලි විශාල ප්‍රමාණයක් අරගෙන එන ඔයවල් දෙකක්. නමුත් මේ දෙකේම ජල පෝෂක ප්‍රදේශ ඉතාම අඩුයි. ඒ නිසා පාංශු ඛාදනය ගොඩක් වැඩියි. ඒ නිසා තමයි වැලි වැඩි පුරම එන ගංගාවල්  දෙකක් බවට පත්වී තිබෙන්නේ. ඒ නිසා මේකේ වැලි ගොඩදැමීම ජාවාරම් බවට පත්වී තිබෙනවා. මේකේ පාරිසරික තත්වය තමයි මෙම වැලි ගොඩදැමීම තුල  ලවණ ජලය ගඟට මුසු වෙනවා. ඒ තුල පස, වගා බිම් ආදී සියල්ල ලවණීකරණයට ලක්වෙනවා. පානිය ජලය ලෙස ළිං ජලය භාවිත කරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා. දැදුරු ඔය ව්‍යාපෘතිය සම්පුර්ණයෙන්ම අසාර්ථක ව්‍යාපෘතියක් වෙන්න මහා පරිමාන වැලි ගොඩදැමීම් හේතු වෙලා තියෙනවා. ඊළඟට සිදුවන විනාශය තමයි වෙරළ ඛාදනය සිදු වීම. මේ වගේ රටට ආර්ථික වශයෙන් විශාල පාඩුවක් මෙතුල සිදුවී තිබෙනවා.” බව ද පරිසරවේදී සජීවී චාමිකර මහතා කියා සිටි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කළ විමසීමක දී කියා සිටියේ ප්‍රදේශයේ සිදුවන නීති විරෝධී වැලි ගොඩදැමීම් වැලැක්වීම සඳහා හැකි සෑම පියවරක්ම ගනු ලබන බවයි.