මිනිසුන් සහ සතුන් අතර ඇති ගැටුම්, ලෝකයේ වඩාත්ම සුවිශේෂී ජීවීන්ගේ දිගුකාලීන පැවැත්මට ඇති ප්‍රධාන තර්ජනයක් වන බව සොබාදහම සඳහා වූ ලෝක අරමුදල (WWF) සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) විසින් ජූලි මාසයේදී  නිකුත් කරන ලද නව වාර්තාවේ සඳහන් වේ.

“සැම වෙනුවෙන් අනාගතයක් – මානව-වනජීවී සහජීවනයේ අවශ්‍යතාවය” යන මාතෘකාව යටතේ රටවල් 27 ක් පදනම් කරගත් සංවිධාන 40ක විශේෂඥයින් 155 දෙනෙකුගේ දායකත්වයෙන් මෙම වාර්තාව සැකසී ඇති බව WWF වාර්තා කරයි.

ගෝලීය වශයෙන් වන මිනිස්-වනජීවි ගැටුම් ලෝකයේ වල් බළලුන්ගෙන් සියයට 75කට වඩා බලපාන බව එය අවධාරණය කරයි. මීට අමතරව, මෙම තත්වය හිම වලසුන් සහ මධ්‍යධරණි මොන්ක් සීල් මත්සයින් වැනි භෞමික සහ සමුද්‍ර මාංශ භක්ෂක ජීවින් හටද අලි ඇතුන් වැනි විශාල ශාකභක්‍ෂකයන් හටද බලපෑම් ඇති කරන බව ඉන් පෙන්වයි.

ඉන්දියාවේ, මධ්‍යම පරිසර, වන හා දේශගුණික විපර්යාස පිළිබඳ අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, 2014-2015 සහ 2018-2019 අතර කාලය තුළ අලි- මිනිස් ගැටුම හේතුවෙන් අලි 500 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර, එම කාලය තුළ අලි ඇතුන් සමඟ ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 2,361ක් මිය ගොස් තිබේ.

“1970 සිට ගෝලීය වනජීවී ගහනයේ සාමාන්‍යය 68%කින් පහත වැටී ඇත” යනුවෙන් WWF ඉන්ටර්නැෂනල්හි ගෝලීය වනජීවී පුහුණු නායක මාග්‍රට් කින්නර්ඩ් පවසයි.

“මානව-වනජීවී ගැටුම, වෙනත් තර්ජන සමඟ එක්ව, වරක් බහුල වූ විශේෂවල සැලකිය යුතු පරිහානියකට හේතු වී ඇති අතර ස්වාභාවිකවම බහුල වූ විශේෂයන් වඳවීමේ අද්දරට තල්ලු වී තිබේ.

“හදිසි පියවර නොගතහොත් විනාශකාරී ප්‍රවණතාව වඩාත් නරක අතට හැරෙනු ඇති අතර පරිසර පද්ධති හා ජෛව විවිධත්වයට ආපසු හැරවිය නොහැකි බලපෑමක් ඇති කරයි” යනුවෙන් කින්නර්ඩ් අනතුරු ඇඟවීය.

එවැනි බලපෑම් වන ජීවීන්ට පමණක් සීමා නොවීය. විශේෂයෙන්ම ජෛව විවිධත්වයෙන් පොහොසත්, සංවර්ධනය වෙමින් පවතින රටවල වනසතුන් සමඟ ජීවත් වූ මිනිසුන්ටද එය බලපානු ඇත. එය තුවාල, මරණ හෝ ජීවනෝපාය අහිමිවීමට හේතු විය හැකි බව වාර්තාව සඳහන් කරයි.

මානව-වනජීවී ගැටුමෙන් ඉන්දියාව වැඩිපුරම පීඩාවට පත්වනු ඇතැයි වාර්තාව පවසයි. එයට හේතුව ලෝකයේ දෙවන විශාලතම මිනිස් ජනගහනය මෙන්ම කොටින්, ආසියානු අලි ඇතුන්, එක් අං රයිනෝ සතුන්, ආසියාතික සිංහයන් සහ වෙනත් විශේෂ විශාල ගහනයන්ද එහි ඇති බැවිනි.

“ඉන්දියාවේ අලි ඇතුන් හට බොහෝ විට මෙම ගැටලුව විශාල ලෙස බලපායි,” යැයි වාර්තාව පවසයි. සතුන් ඔවුන්ගේ මුල් වාසස්ථාන වලින් 3-4%කට පමණක් සීමා වේ. ඔවුන්ගේ ඉතිරි පරාසය වනාන්තර විනාශය, ආක්‍රමණික විශේෂ සහ දේශගුණික විපර්යාසයන්ගෙන් පීඩා විඳිති.

සතුන් සහ මිනිසුන් ගැටෙන ආරක්ෂිත ප්‍රදේශවලින් පිටත ආහාර සොයා ගැනීමට සතුන් උත්සහ කරන බැවින්  මෙය මිනිසුන්ගේ මරණයට මෙන්ම ඔවුන්ගේ පවුල්වල ජීවනෝපායන් අහිමිවීමට ද හේතු වේ.

මානව-වනජීවී ගැටුම මුළුමනින්ම තුරන් කළ නොහැකි බව වාර්තාව පවසයි. “නමුත් එය කළමනාකරණය කිරීම සඳහා හොඳින් සැලසුම් කළ, ඒකාබද්ධ වූ ප්‍රවේශයන් මගින් ගැටුම් අවම කර ගත හැකි අතර මිනිසුන් සහ සතුන් අතර සහජීවනය ඇති විය හැකිය.”

වාර්තාව අසාම්හි සොනිත්පූර් දිස්ත්‍රික්කයේ උදාහරණයකි. මෙහි වනාන්තර විනාශ කිරීම නිසා අලි ඇතුන්ට බෝග වැටලීමට සිදුවූ අතර අලි ඇතුන්ගේ හා මිනිසුන්ගේ මරණයටද එය හේතු විය.

ඊට ප්‍රතිචාර වශයෙන් WWFහි ඉන්දියානු ශාඛාව මඟින් 2003-2004 කාලය තුළ ‘සොනිත්පූර් ආකෘතිය’ සකස් කර ඇති අතර එමඟින් ප්‍රජා සාමාජිකයින් රාජ්‍ය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ විය. අලි ඇතුන් ආරක්ෂිතව බෝග බිම් වලින් පලවා හැරීම සඳහා ඔවුන් සමඟ වැඩ කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ට පුහුණුව ලබා දෙන ලදී.

WWF ඉන්දියාව අලි ඇතුන්ගෙන් බෝග ආරක්ෂා කිරීම පහසු කිරීම සඳහා අඩු වියදම්, තනි කම්බි, මාරාන්තික නොවන විදුලි වැටක්ද සකස් කර තිබුණි.

Down to Earth කාර්යය මණ්ඩලය විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Human-wildlife conflict among greatest threats to animal species: WWF and UNEP report නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.