සූපුන් ජයවීර විසිනි.

සෑම වසරකම පෙබරවාරි මස තෙවන සෙනසුරාද දින ලෝක කබල්ලෑ දිනය සමරනු ලබනවා. 2014 වර්ෂයේ පෙබරවාරි මස ප්‍රථම වරට ලෝක කබල්ලෑ දිනය නම් කරනු ලබන්නේ කබල්ලෑ විශේෂ වත්මනදි මුහුණපා තිබෙන විවිධ තර්ජන හමුවේ කබල්ලෑවන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහාත්, කබල්ලෑ සංරක්ෂණය ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම හා තොරතුරු යාවත්කාලීන කිරීමත් යන අරමුණු පෙරදැරි කරගෙන.

වර්තමානයේ ලොව විවිධ ප්‍රදේශ තුල කබල්ලෑ විශේෂ 8 ජීවත් වෙනවා. කොරපොතු සහිත එකම ක්ශීරපායි ගෝත්‍රය වන්නේ කබල්ලෑවන් අයත්වන ⁣පොලිඩෝටා ගෝත්‍රය.  පොලිඩෝටා (Pholidota) ගෝත්‍රයේ මැනිඩේ (Manidae) කුලයට අයත් ⁣මෙම විශේෂ අට ගන ත්‍රිත්වයකට වර්ගීකරණය වේ. මැනිස් (manis) ගනයට අයත් විශේෂ හතරක් ආසියාකරය තුල ජීවත්වේ. Manis crassicaudata නොහොත් ඉන්දියානු කබල්ලෑවා, Manis culionensis නොහොත් පිලිපීන කබල්ලෑවා, Manis javanca නොහොත් සුන්ඩා කබල්ලෑවා සහ Manis pentadactyla නොහොත් චීන කබල්ලෑවා මෙම විශේෂ හතර වේ. අප්‍රිකානු කලාපය තුල ගන ද්විත්වයකට අයත් ඉති⁣රි විශේෂ හතර වනුයේ පැටජීනස් (Phataginus) ගනයට අයත් Phataginus tetradactyla නොහොත් කලු උදරීය කබල්ලෑවා, Phataginus tricuspis නොහොත් ශ්වේත උදරීය කබල්ලෑවා සහ ස්මට්සියා (Smutsia) ගනයට අයත් Smutsia gigantea නොහොත් යෝධ කබල්ලෑවා, Smutsia temminckii නොහොත් ටෙමින්ක්ගේ කබල්ලෑවා.

වර්තමානයේ ඉහත සඳහන් කල සියළු කබල්ලෑ විශේෂ නීති විරෝධී වනසත්ව ජවාරම තුල වැඩියෙන්ම ජාවාරමට ලක්වන සත්ව විශේෂ බවට පත්ව තිබෙනවා. චීනය සහ ගිණිකොණදිග ආසියාතික රටවල රූමටික් සන්ධි ප්‍රදාහය, අභිචාරාත්මක සුව කිරීමේ ක්‍රමවේදයන්, සුඛෝපභෝගි ආහාර වර්ගයක් ලෙස ආදී වු විවිධ අවශ්‍යතා සඳහා මිලියන ගනනින් කබල්ලෑවන් ලොව පුරා දඩයම් කිරීම සිදුවෙනවා. මේ අතරින් වැඩිම ඉල්ලුම පවතින කබල්ලෑ කොටස් ලෙස සැලකෙන්නෙ කබල්ලෑ කොරපොතු සහ කබල්ලෑ හිසයි. අධි ඉල්ලුමත් සමඟ පසුගිය දශක කිහිපය තුල ඉහල ගිය පමණ ඉක්මවු දඩයම හේතුවෙන් IUCN වර්ගීකරණය තුල සියළු කබල්ලෑ විශේෂ අවාදානමක් පවතින විශේෂ වර්ගීකරණයේ සිට වඳව යාමට ආසන්න වර්ගීකරණය දක්වා වු වර්ගීකරණ සීමාවන් ඉහල දැමීම සිදුව තිබෙනවා.

අධි ඉල්ලුමක් ඇති කබල්ලෑ කොරපොතු. ඡායාරූපය: සුපුන් ජයවීර

කබල්ලෑ වෙලඳාම සමඟ ආසියාව හා අප්‍රිකානු කලාපය පුරා සංවිධානාත්මක වනසත්ව ජාවාරම් සිදුකරන කණ්ඩායම් ඉහල යෑමද දැකීමට පුළුවන්. මෙහි ප්‍රතිඵලයක් ලෙස මහා පරිමාණ කබල්ලෑ කොටස් ජාවාරම් ආසියා හා අප්‍රිකානු කලාප තුල පසුගිය දශකයේ සිට මේ දක්වා විටින් විට වැටලීම් තුලින් දැකගැනීමට හැකිව තිබෙනවා. ඉන්ටර්පොල් ආයතනය, TRAFFIC ආයතනය, CITES සම්මුතිය තුලින් බලය ලත් ආයතන ආදී විවිධ වු රාජ්‍ය නොවන සංවිධාන සහ අන්තර්ජාතික සංවිධාන පසුගිය දශකය තුල කබල්ලෑ ජාවාරම් මැඩපැවැත්වීමේ අරමුණින් විවිධ ක්‍රියාමාර්ග සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් සමඟ ලොව පුරා අවධානය කබල්ලෑ සතුන් රැකගැනීම සඳහා මේ වන විට ලැබී තිබෙනවා.

කරුණු එසේ වුවත් තවමත් කබල්ලෑ කොටස් සඳහා චීනය, වියට්නිමය වැනි රටවල පවතින ඉල්ලුමේ පහත බැසීමක් සිදුව නැහැ. විද්‍යාඥයන් අනුමාන කරන ආකාරයට COVID -19 වසංගතයේ මූලය පවතින්නෙ කබල්ලෑවන් තුලයි. එය සත්වයින්ගෙන් මානවයන්ට සංසරණය වන ආකාරයේ (Zoonotically transmitted) වෛරසයක් බවට සැක පහල කරනවා.

පෙර සඳහන් කල කබල්ලෑ විශේෂ අට අතරින් ලංකාව තුල ජීවත්වන විශේෂය වන්නෙ Manis crassicaudata නොහොත් ඉන්දියානු කබල්ලෑ විශේෂයයි. මුහුදු මට්ටමින් මිටර් 1850 උසක් දක්වා ලංකාවේ සියළු ප්‍රදේශ තුල මේ සතුන් වාර්තා වීම සිදුවෙනවා. කුලෑටි, වැඩි වශයෙන් නිශාචර දිවියක් ගතකරන මෙම සතුන් ආශ්‍රිතව ලංකාව තුල සිදුවන වන අපරාධවල ඉහල නැගීමක් පසුගිය දශය තුල පැහැදිලි ලෙසම දැකීමට හැකි වෙනවා. ඒ අතරින් දඩමස් සඳහා කබල්ලෑවන් දඩයම් කිරීම, වෙනත් සතුන්ට ඇටවු උගුල්, බඳින තුවක්කු හේතුවෙන් කබල්ලෑවන් ඝාතනය වීම සාම්ප්‍රදායිකව කබල්ලෑ දඩයමේ ස්වභාවය වුවත් මෑතක සිට කබල්ලෑ කොටස්, කොරපොතු ආදිය විවිධ වැටලීම් තුලින් අසුවීමෙන් පෙනී යන්නේ ගිණිකොණදිග ආසියානු කලාපයේ සහ චීනයේ පවතින කබල්ලෑ ඉල්ලුමට සැපයුම ලබාදෙන ප්‍රභවස්ථානයක් (source country) බවට මෙරට පත්ව ඇති අකාරයයි.

වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 30 වගන්තිය අනුව කබල්ලෑවා හෙවත් ඈයා යනු දැඩි ලෙස ආරක්ෂිත ක්ශීරපායී වි⁣ශේෂයක්. එකී වගන්තියට අනුව කබල්ලෑවකු පණ පිටින් හෝ කබල්ලෑ සිරුරක් හෝ කබල්ලෑ කොටස් ලඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක්. එකී පනතේ 54 වන වගන්තිය අනුව කබල්ලෑ මස් පිළියෙල කිරීම හෝ ලඟ තබා ගැනීම වරදක්. එකී පනතේ 40 වගන්තිය අනුව කබල්ලෑවන් හෝ කබල්ලෑ කොටස් අපනයනය කිරීම වරදක් වන අතර මෙම වැරදි සඳහා වහාම අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතිනවාක් මෙන්ම ඇප ලබා නොදෙන වැරදක් ලෙස ගැනෙනවා.

මෙරට තුල විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා චීන ජාතිකයන්ගේ පැමිණීමත් සමඟ කබල්ලෑ මස් සහ කොටස් සඳහා ඉල්ලුම වැඩි වී තිබෙන ආකාරය දැක ගන්න පුළුවන්. 2018 වර්ෂයේ කොළඹ ප්‍රදේශය තුල චීන ජාතික කාන්තාවක් පවත්වාගෙන ගිය අවන්හලක අධි ශීතකරණයක් තුලින් පන ඇති කබල්ලෑවකු සොයා ගැනීමට හැකි වීමත් සමඟ මේ කාරණය තහවුරුවන සාධක දැක ගැනීමට පුළුවන්. නීති විරෝධි ලෙස අපනයනය සිදුකිරීමටත් වඩා රට තුල කබල්ලෑවන් සබැඳි වන අපරාධවල වැඩිවීම හා සංවර්ධන ව්‍යාපෘති අතර ඇති සම්බන්ධය කියා පාන්නෙ ඇතැමුන් ඉතාමත් සූක්ෂම ලෙස කබල්ලෑ මස් සහ කොටස් මෙරට සිටින විදේශිකයන්ට ලබා දීමේ ජාවාරම් අරඹා ඇති බවයි.

විකිණීම පිණිස මරා දමා ඇති කබල්ලෑවෙකුගේ ශරීර කොටස්. ඡායාරූපය: ගීමාල් හැරල්ඩ්

කරුණු මෙසේ තිබියදීත් තවමත් කබල්ලෑවා නොහොත් ඈයා පිළිබඳව කරුණු කාරණා නියමාකාරයෙන් ජනගත නොමැති වී බව පෙනෙන්නට තිබෙනවා. මේ සතුන් පිළිබඳව පොදුජන විඥානය තුලට කිඳා බැස ඇත්තේ හෝඩි පොතේ ‘ඈ’ යන්න සඳහා ඇති ඈයා නැමැති සත්වයා පිළිබඳව උදාහරණය පමණයි.  දැනුවත් කිරීමේ වැඩසටහන් තුලින් කබල්ලෑවා නැමැති සත්වයා පිළිබඳවත්, සත්ව විශේෂයක් ලෙස කබල්ලෑවන් ගෝලීයව මුහුණ පා ඇති ව්‍යසනකාරී තත්වය පිළිබඳවත් දැනුම නිසි අයුරින් ජනගත කිරීම තුලින් මෙම සතුන් සංරක්ෂණය කිරීම සඳහා පිටුබලයක් ලැබෙනු ඇත.  එමෙන්ම පවතින නීත් පද්ධතිය තුල ඇති දඩ ගාස්තු සංශෝධනය කරමින් දඩයම් කිරීමෙන් ලැබෙන මූල්‍යමය ප්‍රතිලාභවලට සමානුපාතිකව දඩ වශයෙන් ගෙවිය යුතු මුදල අතර විශාල වෙනසක් සිදුකිරීම තුලින් දඩයම් කිරීමට පෙළඹීමේ නැඹුරුතාව යම්තාක් දුරකට පාලනය කරගත හැකිය.

අවසාන වශයෙන් නීතිය දැඩි කිරීම මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන ආයතන මෙවැනි වන අපරාධ වැටලීමෙන් පසු නීතීය ක්‍රියාත්මක කිරීමේදි කාර්යක්ෂම වීමත්, චෝදනා ගොනු කිරීම් නිරවද්‍යව සිදුකිරීම තුලිනුත්, තාක්ෂණික දෝෂ සිදු කිරීමෙන් වැලකීම තුලිනුත් අපරාධකරුවනට නිසි දඬුවම් පැමිණවීම මඟින් අපරාධ ඉදිරියට සිදුවීමේ හැකියාව අවම කරගත හැකිවනු ඇත. එමඟින් පරිණාමයේ අපූර්වතම නිර්මාණයක් වන කබල්ලෑවා නැමැති සත්වයා අනාගත පරපුර වෙනුවෙන් රැකගත හැකිවනු නොඅනුමානය.

මෙම ලිපියෙහි අන්තර්ගතය කර්තෘගේ අදහසක් වන අතර විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය මෙහි කිසිදු වගකීමක් නොදරයි.