සෙතිල් මුහන්දිරම් විසිනි.

මුළු ලොවම කෝවිඩ් 19 වසංගතයට නතුව සිටින මේ කාලයේ ලොව පුරා වනජීවි සංරක්ෂණයට ද විවිධ බාධා ඇති විය. ශ්‍රී ලංකාවේ වනජීවි සංරක්ෂණය කෙරෙහි ද මෙම තත්ත්වය ඉමහත් බලපෑමක් එල්ල කළ අතර වසංගතය ආරම්භ වී වසර දෙකක් ගත වන මේ මොහොත වන විට ඊට අනුරූපව වනජීවි සංරක්ෂණය විවිධ අනුවර්තනය වීම් වලට ලක් වෙමින් පවතී.‍

ශ්‍රී ලංකා කොටියා (Panthera pardus kotiya) යනු මෙරටට ආවේණික කොටි උප විශේෂයකි. සබරගමුව පළාතට අයත්ව තිබු පාලින්ද නුවර, මෑත කාලයේදී බස්නාහිර පළාතට අයත් වීමත් සමඟම කොටි වාසස්ථාන ව්‍යාප්තිය පිලිබඳව වෙනසක් ඇති කරමින් බස්නාහිර පළාත ද ඇතුලුව ලංකාවේ සියළුම පළාත් වලින් කොටින් වර්තා වන බව සැලකේ. ගහනය පිලිබඳව නිශ්චිත වාර්තා නැතත් පර්යේෂකයන්ගේ අනුමානයන්ට අනුව මෙරට කොටි ගහනය දහසක් පමණ වේ.

කෝවිඩ් වසංගතය ආරම්භ වීමත් සමගම මිනිසුන් නිවාස වලට යම් කාලයකට කොටු වීම සිදු වීම හේතුවෙන් කොටින්ද ඇතුළුව බොහෝ වනජීවින්ගේ සංචරණ රටාවන්ගේ වෙනස් වීම් නිරීක්ෂණය කළ හැකි විය. මිනිස් ඇසට නිරාවරණය නොවී සිටි බොහෝ වනජීවීන් කොවිඩ් සමග වනාන්තර ආශ්‍රිතව මානව ක්‍රියාකාරකම් වල දක්නට ලැබුණු සීමාවන් සමග වනාන්තර මායිම් ආශ්‍රිත වන ජිවීන්ගේ ක්‍රියාකාරකම් වල ඉහල ප්‍රවනතාවක් දක්නට ලැබුනි. වෙනදාට රාත්‍රියට පමණක් මානව වාසස්ථාන අසල සක්‍රීය සංචරණයන් පෙන්නුම් කල කොටි දිවා කාලය තුලදී පවා ප්‍රදේශයේ ගැවසෙන අයුරු නිරීක්ෂණය විය. එමගින් කොටීන් මිනිසාගේ හැසිරීම් වලට අනුවර්තනය වීමක්ද නිරීක්ෂණය විය. 

විද්‍යාත්මක දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ කොටි ගහනයන් තුනකි. ආරක්ෂිත ප්‍රදේශ වල සිටින ප්‍රධාන ගහනය,  මානව වාසස්ථාන වලට යාබදව සිටින උප ගහනය සහ කුඩා වනාන්තරවල සිටින සංරෝධක ගහන (Bottleneck populations) ලෙසයි. මේ අතරින් වඩාත්ම තර්ජනයට ලක් වන්නේ ඉහත සඳහන් කල මානව වාසස්ථාන ආසන්නයේ වාසය කරන උප ගහනය සහ සංරෝධක ගහනයි. මන්ද ගොදුරු අල්ලා ගැනීමට මෙම සතුන් තම වාසස්ථානයන්ගෙන් පිටතට පැමිණෙන බැවිනි.

මානව ක්‍රියාකාරකම් සීමා වීම නිසා ක්‍රියාශීලි වූ කොටි මෙන්ම අනෙකුත් සතුන්ට වසංගතය තුලින් යම්කිසි නිදහසක් හිමි වූවා සේම එය ඔවුන්ගේ ජීවිත වලට එක්තරා ආකාරයකට බලපෑමක්ද ඇති කලේය. මන්ද නිවෙස් වලට කොටු වූ මහජනතවගේ ආදායම් මාර්ග වලට බලපෑමක් එල්ල වීම නිසා ඔවුන් නීතිවිරෝධී දඩයම් සඳහා යොමු වී ඒ හරහා මුදල් ඉපයීමට කටයුතු කිරීම යි. සමහර විටෙක නිදහසේ වනාන්තර තුල රැඳී සිටි මෙන්ම ආරක්ෂිත ප්‍රදේශ වලින් පිටත ජීවත් වූ වන සතුන් ද දඩයම් කිරීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබිණි. විශේෂයෙන්ම කඳුකරයේ තේ වතු හා අනෙකුත් වගාවන් ආශ්‍රිතව සිටින සතුන් මදු හා අනෙක් දඩයම් ක්‍රම වලට ලක් වීම සුලබව සිදු විය.

නල්ලතන්නියෙදී මද්දකට අසුව පසුව මිය ගිය කලු කොටියා. ඡායාරූපය: ශ්‍ර්‍රී ලංකා ලෙපොකොන් සංවිධානය

එහි උච්චතම අවස්ථාවක් ලෙස 2020 වසරේ මැයි මස නල්ලතන්නියේදී නීතිවිරෝධී සත්ත්ව දඩයම සඳහා යොදාගන්නා මද්දකට හසුව කළු කොටියෙකු ඝාතනය වීම සැලකිය හැක. 2020 වසර තුලදී පමණක් සාක්ෂි සහිත කොටි මරණ 13 ක් වාර්තා වූ අතර 2021 වසරේදී මරණ 9 ක් වාර්තා විය. එලෙසම වසර දෙක තුලදී මදු වලින් මුදවා ගත් කොටින් ගණන 7 කි. මෙම සිදුවීම් සියල්ලම කඳුකරය ආශ්‍රිතව වාර්තා වීම, කඳුකර කොටි ගහනය මුහුණ පා ඇති තර්ජනය පැහැදිලි කරයි. අවුරුදු දෙකක් තුල සිදු වූ වාර්තාමය කොටි මරණ සංඛ්‍යාව අනෙක් වසර හා සැසඳීමේදී ඉහල යාමේ ප්‍රවණතාවක් දක්නට ඇත. එමෙන්ම මදු භාවිතා කොට කොටි දඩයම් කිරීම ඉහල ගොස් ඇති බවට ද දක්නට ලැබේ.

නාවලපිටියේදී මද්දකට හසුව මියගොස් සිටි කොටියකුගේ ඡායාරූපයක්. ඡායාරූපය: ශ්‍ර්‍රී ලංකා ලෙපොකොන් සංවිධානය

මෙලෙස ඝාතනය වන සතුන් ආකාර දෙකකට වර්ගීකරණය කෙරේ. ඒ සිතාමතා සිදු කළ ඝාතනයන් හා වෙනත් සතුන්ට ඇටවූ මදු මගින් සිදු වූ මරණ ලෙසටයි. පර්යේෂණ දත්තයන්ට අනුව අඩු ආදායම්ලාභීන් සිටින ප්‍රදේශ ආශ්‍රිතව මෙම දෙආකාරයේම මරණ වාර්තා වී තිබේ.

මේ වකවානුව තුල සිදු වූ සමහර කොටි ඝාතන සිතාමතා සිදු කළ ඒවා බවට පැහැදිලි සාක්ෂි ඇත. විවිධ මිත්‍යා විශ්වාස මත පදනම්ව කොටින්ගේ මස්, දත් හා නිය මෙන්ම සම් ලබා ගැනීමට සිදු කළ ඝාතනයන් ලෙස මෙම කොටි ඝාතන සලකනු ලබන අතර එම ඝාතන සම්බන්ධව පර්යේෂණ කටයුතුද සිදු කරමින් පවතී. ඒ අනුව මෙරට කොටි ජාවාරම් (Animal Trafficking) වලට ද නතු වෙමින් පවතින බව පැහැදිලි වෙමින් පවතී.

විකිණීම පිණිස ජාවාරම් කරුවන් ළඟ තබා ගෙන සිටි කොටි දත් කිහිපයක්. ඡායාරූපය: ශ්‍ර්‍රී ලංකා ලෙපොකොන් සංවිධානය

එදිනෙදා පරිභෝජනයට පමණක් නොව මූල්‍යමය වාසි ලබා ගැනීම පිණිස පහසු ක්‍රම මගින් සිදු කරනු ලබන දඩයම් මැඩලීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වසර කිහිපයක සිට කටයුතු කළේය. නමුත් වසංගත සමය තුල ඇති වූ සීමා සහිත බව හේතුවෙන් එම කටයුතු තුල පූර්ණ සාර්ථකත්වයක් දක්නට නොලැබුණු අතර දිගින් දිගටම වනසතුන් දඩයම් වීම ඉහල යාම නිරීක්ෂණය කිරීමට හැකිවිය. විශේෂයෙන්ම මධ්‍ය කඳුකරය ආශ්‍රිතව මේ සිදුවීම් වාර්තා වීම ඉහල ගොස් ඇත. එයට හේතු වන්නේ කඳුකරය ආශ්‍රිතව ඉහල ජෛව සම්පතක් පැවතියද එහි පවතින වනාන්තර ගහනය සීමිත වීමයි. එම නිසා ඒ ඒ පද්ධති වල ගහන ධාරිතාව (Carrying Capacity) ඉක්ම යාම තුලින් සතුන් වනාන්තර වලින් පිටතට පැමිණිම මෙන්ම ගොදුරු හිඟතාව මත මානව වාසස්ථාන අසලට පැමිණිමද දැක්විය හැක.

තවද නිලධාරීන් ගේ රාජකාරි වලට වසංගත තත්වය බලපෑම හේතුවෙන් එම රාජකාරි සීමා වී නීතිවිරෝධී ලෙස වනාන්තර විනාශ වීමත්, වනාන්තර අසල පිහිටි වගාබිම් ක්‍රමයෙන් ප්‍රසාරණය වීමත් වසංගත කාලය තුල සිදුවිය. කොටින්ගේ වාසස්ථාන වූ වනාන්තර පද්ධති විනාශ වීම ද මේ සමය තුල සිදුවිය. මේ නිසා කොටි වෙනත් වසර තුලදී මෙන් නොව මේ වසංගත කාලය තුල ගම් වැදීමේ සිදුවීම් වාර්තා වීම ද ඉහල අගයක පැවතිණි. මේ නිසා කොටි – මිනිස් ගැටලුව යම් ස්ථානයන් වල කලින්ට වඩා සක්‍රීයව පවතින අයුරු නිරීක්ෂණය කල හැකිය.  විශේෂයෙන්ම වනාන්තර අසල ඇති මානව වාසස්ථාන වලට පැමිණෙන කොටි නිවාස ආශ්‍රිත වාසය කරන බල්ලන්, ගවයන් වැනි සතුන්ව ආහාරයට ගැනීමට පෙළඹිම මෙහි උච්චතම අවස්ථාවකි. මන්ද මෙලෙස පහසු ගොදුරු සොයා පැමිණෙන කොටින්ගේ ජීවිත අවසානය, බොහෝ විට මිනිස් දෑත් අතින් සිදුවන අතර විටෙක සතුන්ගේ හැසිරීම් කෙරෙහි ඇති නොදැනුවත්කම නිසාම වෙයි.

“කොරෝනා වසංගතය ලංකාවට පමණක් නොව ලෝකයටම පොදු කාරණාවකි. මේ තත්වය තුල වනජීවි සංරක්ෂණය නව්‍යකරණයට ලක් විය යුතු සේම නව සාමාන්‍යකරණය තුල හැඩගැසීමද සිදුවිය යුතුය. වසංගතයේ බාධා මගහැරගෙන නූතන තාක්ෂණය මතින් මෙරට කොටි සංරක්ෂණය සිදු කරන අතරවාරේ නූතනයට ගැලපෙන ප්‍රායෝගික සංරක්ෂණ ක්‍රමයන් තුලින් කොටින්ගේ පැවැත්ම ආරක්ෂා කල යුතුව ඇත.” යැයි ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ මහාචාර්යය ඉනෝකා කුඩවිදානගෙ අදහස් දැක්වීය.

උඩුදුම්බරදි පොලිසිය විසින් සොයාගත් දඩමස් ජාවාරම පිණිස ඝාතනය වූ කොටියෙක්. ඡායාරූපය: ශ්‍ර්‍රී ලංකා ලෙපොකොන් සංවිධානය

ලංකාවේ කොටි සංරක්ෂණය යාවත්කාලීන විය යුතු බවට රජය, විද්‍යාඥයන් සහ මහජනතාව තුල පිළිගැනීමක් ඇති වූ සමයකදීම පැමිණි වසංගතය හේතුවෙන් මෙරට කොටි සංරක්ෂණයේ කටයුතු දුරස් වීම එක්තරා ආකාරයකින් කණගාටුවට කරුණකි. එහෙත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන මේ නව තත්ත්වයන්ට හැඩගැසෙමින්, කොටි මිනිස් ගැටළුව නව සාමාන්‍යකරණය යටතේ උපක්‍රමශීලීව ආමන්ත්‍රණය කිරීමත් සිදු කළ යුතුව ඇත. එමෙන්ම වසංගත සමය තුල කොටින්ගේ හැසිරීම කෙසේ ද යන්න මෙන්ම ඔවුන්ගේ සාම්ප්‍රදායික හැසිරීම් වල වූ වෙනස්කම් ද තවදුරටත් අධ්‍යනය කල යුතුව ඇත. මාර්ගගත තත්ත්ව මත තොරතුරු යාවත්කාලීන කිරීමත්, තාක්ෂණික ක්‍රමයන් තුලින් පරිසර පද්ධති වල ආරක්ෂාව මෙන්ම සමතුලිතතාව රැකගැනීමත් සිදු කල යුතුව ඇත. පුළුල් තාක්ෂණයක් හරහා මිනිසා සීමාන්විතව කටයුතු කරන මෙවැනි වසංගත කාලයක මිනිසාගේ පාරිසරික සාක්ෂරතාව වැඩිදියුණු කරන අතරවාරයේ මෙරට කොටින්ගේ පැවැත්මත්, ඔවුන්ගේ වාසස්ථාන වල පැවැත්මත් ආරක්ෂා කිරීම සමස්ත සමාජයේම වගකීමකි.