තරුෂි පිටිගල විසිනි.
මේ දිනවල කොලඹ සහ කළුතර අවට වෙරළාසන්න මුහුදේ නිල් සහ කොළ පැහැයෙන් යුතු දිලිසෙන ස්වභාවයක් දැක ගන්නට ලැබුණි. මෙම සංසිද්ධිය බොහෝ දෙනාට කුතුහලය දනවන සුළු සිද්ධියක් විය. මන්ද බොහෝ දෙනා මෙවැනි සිදුවීමක් අත්දැක ඇති ප්‍රථම වතාව මෙය වීමයි. නිල් සහ කොළ පැහැයෙන් දිලිසෙමින් බිඳෙන රළ නැරඹීම හෝ ජෛව දීප්තිය නිකුත් කරන ජීවින් නැරඹීම ඇතැමගේ සිහිනයක් වේ.
මෙසේ වෙරළාශ්‍රිත සාගර ජලයේ දීප්තිමත් වීමට හේතුව වන්නේ ජෛවසංදීප්තිය (Bioluminescence) ලෙස හඳුන්වන සංසිද්ධිය බව රුහුණ විශ්ව විද්‍යාලයේ මහාචාර්යය ටර්නි ප්‍රදීප් කුමාර පැවසීය.
ගොඩබිමේ සහ මුහුදේ සිටින ඇතැම් ජීවීන්ට ඔවුන්ගේ සිරුරු තුළ සිදුවන ජෛවසංදීප්තිය (Bioluminescence) ලෙස හඳුන්වන රසායනික ප්‍රතික්‍රියා හරහා ආලෝකය නිපදවීම සහ විමෝචනය සිදු කිරීමයි. ජෛවසංදීප්තිය ඇති වන්නේ ආලෝකය නිපදවන රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙසද හැඳින්වේ. ඇතැම් රසායනික ද්‍රව්‍ය එකට මිශ්‍ර කළ විට කම්පනය මත අනෙකුත් අංශු ‘උද්දීපනය කරන’ ශක්තිය නිපදවන අතර දීප්තියට හේතු වන ආලෝකය ජනනය කරයි. සාගර මතුපිට සිට ගැඹුරු මුහුදු පත්ල දක්වා සමුද්‍ර වාසස්ථාන පුරා ජෛවසංදීපනය කරනු ලබන ජීවීන් දක්නට ලැබේ. ඔවුන් විසින් විමෝචනය කරන ආලෝකය නිපදවනු ලබන්නේ ජීවියාගේ අභ්‍යන්තරයේ සිදුවන (හෝ විමෝචනය වන) රසායනික ප්‍රතික්‍රියා වලින් මුදා හරින ශක්තිය මගිනි.
ගොඩ බිමදී නිතර දක්නට ලැබෙන ජෛවසංදීප්තිය සිදු කරනු ලබන ජීවියෙකු ලෙස කණාමැදිරියා සැලකිය හැක. සාගරයේ දී, ජෛව දීප්තිය එතරම් දුර්ලභ නොවේ. බොහෝ ජෛව විච්ඡේදක ජීවීන් සාගරයේ දක්නට ලැබේ. මෙම ජෛවසංදීප්තිය ඇති කරනු ලබන සාගර විශේෂ ලෙස මාළු, ඉස්සන්, දැල්ලන්, බැක්ටීරියා සහ ජෙලි ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවේ කොළඹ අවට සාගරයේ මේ දිනවල පවතින මෙම සංසිද්ධිය සඳහා හේතු වී ඇත්තේ ඩයිනෝෆ්ලැජලේට් නම් ප්ලවාංග (ප්ලැන්ක්ටන්) විශේෂයක් බව මහාචාර්යය ටර්නි ප්‍රදීප් කුමාර පැවසුවේය.
“ඩයිනෝෆ්ලැජලේට් යනු කුඩා කශිකා දෙකක් සහිත ඒක සෛලික ඇල්ගී විශේෂයක්” ඔහු පැවසුවේය.
ප්ලවාංග (ප්ලැන්ක්ටන්) සාගරවල වාසය කරන සහ මාළු වැනි විශාල ජලජ ජීවීන්ට අත්‍යවශ්‍ය ආහාර ප්‍රභවයක් සපයන අතර ශාක ප්ලවාංග සහ සත්ත්ව ප්ලවාංග ලෙස පවතී. ජෛවසංදීප්තිය සිදුකරනු ලබන ප්ලවාංග ලෝකයේ සියලුම සාගරවල දක්නට ලැබේ. මේවායින් වඩාත් සුලභ වන්නේ ඩයිනෝෆ්ලැජලේට් (Dinoflagellates) ප්ලවාංග විශේෂයකි.
සාගරයේ තැන තැන විසිර සිටින මෙම විශේෂ කිසියම් හේතුවක් නිසා විශාල වශයෙන් එක තැනකට එකතු වීමෙන් මෙය දීප්තිමත්ව සහ පැහැදිලිව දැක ගත හැකි බවත් ප්‍රජනන සමය හෝ පසේ අධික ලෙස නයිට්‍රජනීය පෝෂක පැවතීම මෙම සංසිද්ධිය ඇති වීමට හේතු විය හැකි බවත් මහාචාර්යය ටර්නි පැවසුවේය.
සාගරයේ පාවෙමින් සිටින ඩයිනොෆ්ලැජලේට් හට ක්ෂණික බාධාවක් ඇති වූ විට ඔවුන් මෙම ආලෝක විමෝචනය සිදු කරනු ලබයි.
ජෛව දීප්තියෙහි ක්‍රියාවලිය සියලු සතුන් සඳහා නොදන්නා නමුත්, සාමාන්‍යයෙන් ජෛව විලෝපිකයින් විලෝපිකයන්ට අනතුරු ඇඟවීමට හෝ මග හැරීමට, ගොදුරු ආකර්ෂණය කර ගැනීමට හෝ හඳුනා ගැනීමට සහ එකම විශේෂයේ සාමාජිකයන් අතර සන්නිවේදනය සඳහා භාවිතා වන බව විද්‍යාඥයින්ගේ මතයයි.
ගොඩබිම සිට සාගරය ජලයට නල හරහා මල අපද්‍රව්‍ය බැහැර කිරීම, වර්ෂා සමයේදී ගොඩබිම පස සෝදා යාම වැනි හේතු නිසා සාගරයට එකතු වන කාබනික හා අකාබනික පෝෂක ප්‍රමාණය වැඩිවෙමින් පවතී. එවිට එම සාගර ප්‍රදේශ අවට ඩයිනෝෆ්ලැජලේට් ඇතුළු අනෙකුත් ඇල්ගී විශේෂ ඉතා වේගයෙන් විශාල සංඛාවක් ලෙස වර්ධනය වේ. මෙය කොතරම් අලංකාර වුවත් මේ පෙන්වන්නේ සාගර ජලය දුෂණයේ සාක්ෂි සහ ලක්ෂණ බව මහාචාර්යය ටර්නි ප්‍රකාශ කළේය.
‘අනෙක් කරුණ නම් මොවුන් සාගරයට විෂ ද්‍රව්‍ය නිකුත් කිරීමයි. මොවුන් කොහොමත් ස්වාභාවිකවම විෂ නිපදවීම සිදු කරනු ලබනවා. නමුත් ඩයිනෝෆ්ලැජලේට් විශාල ප්‍රමාණයක් එකවර විෂ නිකුත් කිරීම නිසා වැඩි විෂ ප්‍රමාණයක් සාගර ජලයේ අඩංගු වී තිබිය හැක. මේ හේතුවෙන් සාගරය ආශ්‍රිත පෙරා බුදින ජීවීන් මිය යාමට පවා හැක. විෂ ශරීර ගත වූ මුහුදු ආහාර පරිබෝජනය කිරීමෙන් මිනිසුන් හටත් ආහාර විෂ වීම් ඇති විය හැක.” මහාචාර්යය ටර්නි වැඩිදුරටත් පැවසුවේය.
Comments are closed for this post.