ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් රටක් බැවින් හා දිවයින පුරා ඇති පරිසර පද්තීන්ගේ විවිධත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් ලෙස හඳුන්වනු ලබයි. මෙම ජෛව විවිධත්වයේ අගය වැඩි කිරීමට උරග විශේෂයන් වලින් විශාල පිටිවහලක් ලැබේ. ආහාර දාමයන්ගේ සහ ජාලයන්ගේ ඉතා වැදගත් පුරුක් වල ස්ථාන ගත වී ඇති උරග විශේෂයක් වන සර්පයින් පරිසර පද්ධතින්ගේ පැවැත්ම තහවුරු කරමින් විශාල සේවයක් කරනු ලබයි. ලාංකීය භූමිය පුරාම සර්පයන් පැතිරී තිබීමද විශේෂත්වයකි.

මෙරට ගොඩබිම හා සාගරයේ සර්ප විශේෂ 108ක් පමණ වාසය කරනු ලැබේ. මින් බහුතරයක් විෂ රහිත වේ. එම සර්ප විශේෂ 108න් විශේෂ 35ක් විෂ සහිත සර්පයින්ය. ඒ අතරින් ඇතැම් විශේෂ උග්‍ර විෂ සහිත වේ. නමුත් අනෙක් විශේෂ මධ්‍යස්ථ විෂ සහ සුළු විෂ කාණ්ඩයන්ට අදාලය. 

මෙම විෂ සහිත සර්ප විශේෂ 35න් විශේෂ 20ක් මාරාන්තික විෂ සහිත කාණ්ඩයට ඇතුලත් කොට තිබේ. නමුත් මෙම විශේෂ 20න් විශේෂ 13ක් ජිවත් වන්නේ සමුද්‍ර පරිසර පද්ධතියේය. ශ්‍රී ලංකාවේ ගොඩබිම පරිසර පද්ධති තුල දක්නට ලැබෙන්නේ මාරාන්තික විෂ සහිත සර්පයින් 7කි. නමුත් විෂ සහිත සහ විෂ රහිත සර්ප විශේෂ වෙන් කර හඳුනා ගැනීමට බොහෝ දෙනා අසමත් වීම නිසාත් සර්පයන්ට ඇති බිය සහ පිළිකුල හේතුවෙන් මෙන්ම විවිධ ආගමික හා සංස්කෘතිකමය හේතුන් නිසාත් මිනිසුන් විසින් පොදු වේ විෂ සහිත සහ විෂ රහිත සර්පයින් සියල්ල දුටු වහාම මරා දැමීමට පෙලඹෙයි.

නමුත් ශ්‍රී ලංකාවේ ජිවත් වන උග්‍ර විෂ සහිත සර්පයන් විශේෂ හැර අනෙක් සියලුම සර්ප විශේෂ වන සත්ත්ව හා තුරුලතා ආරක්ෂණ පනත යටතේ ආරක්ෂා කොට තිබේ. 

ශ්‍රී ලංකාවේ වාසය කරනු ලබන උග්‍ර විෂ සහිත සර්පයින් වන්නේ නයා (Naja Naja), තෙල් කරවලා (Bungarus caeruleus), වැලි පොළගා (Echis carinatus carinatus), තිත් පොළගා (Daboia russelli), මුදු කරවලා (Bungarus ceylonicus), පොළොන් තෙලිස්සා/ කුණ කටුවා (Hypnale hypnale) සහ දෙපත් කළුවා (Calliphis melanurus sinhaleus) වේ. නමුත් මේ අතරින් වැලි පොළඟා ජිවත් වන්නේ වියලි ශුෂ්ක කලාපයන්ගේ පමණක් වන අතර දෂ්ඨනයන් වාර්තා වී නොමැති තරම්ය.  එමෙන්ම දෙපත් කළුවා උග්‍ර විෂ සහිත වූවත් මිනිස් සම සිදුරු කිරීමට අපහසු කුඩා සර්ප විශේෂයක් වේ. 

ශ්‍රී ලංකාවේ උග්‍ර විෂ කාණ්ඩයට නම් නොකරපු සර්පයෙක් වෙන කුණකටුවා ඉහල විෂක් ඇති සර්පයෙක් ලෙස නම් කල යුතු බව ලංකාවේ වෛද්‍ය සංගමය විසින් ප්‍රකාශ කොට තිබේ.  මෙයට හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ වැඩිම සර්ප දෂ්ටන ගණනක් සඳහා කුණකටුවා වග කියන බැවින් බව ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ උරග අධ්‍යන ඒකකයේ උපදේශක, සර්ප විද්‍යා ,ලසන්ති විජේතුංග පවසයි.

‘විෂ සහිත සර්පයින් මෙන්ම විෂ රහිත සර්පයින් බොහෝ ප්‍රමාණයක් මිනිසුන් විසින් අනිසි බිය හේතුවෙන් සර්පයින් දුටු වාහාම මර දමනවා නමුත් සර්පයින් දෂ්ඨ කිරීමට පෙළබෙන්නේ ගොදුරු අඩපන කිරීමට සහ ඔවුන් හට තර්ජනයක් එල්ල වූ විට පමණයි. සර්පයින් මරා දැමීම වෙනුවට මඟ හැරයාම හා සර්පයින් අනිසි ලෙස බිය නොවද්දීම මඟින් සර්ප දෂ්ඨනයන් අවම කර ගන්න පුළුවන්.”ලසන්ති විජේතුංග පැවසුවාය 

මෙයට හේතුව වන්නේ ශ්‍රී ලාංකිකයන් තුල විෂ සහිත සර්පයින් මෙන්ම විෂ රහිත සර්පයින් නිවැරදිව හඳුනා ගැනීමට ප්‍රමාණවත් ප්‍රමාණවත් තරම දැනුමක් නොමැතිකම බව ඇය විසින් වැඩිදුරටත් ප්‍රකාශ කලාය.

ලොව පුරා ජිවත් වන සර්ප විශේෂ 3000කට අධික ප්‍රමාණයන්ගෙන් මිනිස්  ජිවිත වලට බලපෑම් ඇති කල හැකි විශේෂ ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. නමුත් ලොව පුර ජිවත් වන බොහෝ මිනිසුන් සර්පයන් කෙරෙහි දක්වන සෘනාත්මක අදහස් හා ආකල්ප නිවැරදි කිරීම හා සර්පයන් පිළිබඳව දැනුවත් කිරීම සඳහාත් ලොව පුර වාසය කරන සර්පයින් කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව තහවුරු කිරීම සඳහාත් ජුලි  මස 16 වෙනිදා ලෝක සර්ප දිනය ලෙස නම් කොට ඇත.