තරුෂි පිටිගල විසිනි.

ශ්‍රී ලංකාව තුළ විශාල අඩු පාඩුවක්ව පැවති පාරිසරික පුවත් හා විශේෂාංග වාර්තාකරණය සඳහා Center for Investigative Reporting විසින් පාරිසරික තතු වෙනුවෙන්ම දියත් කරනු ලැබු අප වෙබ් අඩවිය, ‘The Bufferzone’ අද දිනයේ පරිශීලකයන් වෙත පරිශීලනය වෙනුවෙන් දියත් කරන ලදී. 

අප වෙබ් අඩවිය දියත් කිරීමේ වැඩසටහනට සමගාමීව විද්වත් සාකච්ඡා වැඩසටහනක්ද The BufferZone කණ්ඩායම විසින් සංවිධානය කළ අතර ඒ සඳහා ප්‍රධාන කථිකයා ලෙස Earth Journalism Networkහි අධ්‍යක්ෂක ජේම්ස් ෆාන් මහතාත්, Earth Journalism Networkහි පරිසර හා සෞඛ්‍ය ව්‍යාපෘති නිලධාරිනිය වන ස්ටෙලා පෝල් මහත්මියත්, වයඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරියක වන ආචාර්‍යය සෙව්වන්දි ජයකොඩි මහත්මියත්, ‘The Third Pole’ වෙබ් අඩවියෙහි දකුණු ආසියාතික කලාපයේ අධ්‍යක්ෂ ධූරය දරන ජොයිදීප් ගුප්තා මහතාත්, පාරිසරික මාධ්‍යවේදී මාලක රොද්‍රිගෝ මහතාත් සහභාගි විය. 

දේශගුණික විපර්යාස, පරිසර දූෂණය හා ජෛව විවිධත්ව හානි වැනි පාරිසරික ගැටලු දේශීයව ඉදිරිපත් කිරීම ඉතා වැදගත් බව මූලික දේශනය කරමින් ජේම්ස් ෆාන් මහතා ප්‍රකාශ කළේ ය. 

“විද්‍යාත්මක ලිපි සම්පාදනයේදී මාධ්‍යවේදීන් විසින් ඉතා සරල විද්‍යා කරුණු යොදාගනිමින් මෙන්ම වර්තමානයේ භාවිතාවන සරල දේශීය භාෂාවකින් පාඨකයන් ඇමතීමද ඉතා වැදගත්” යැයි ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරියකවන ආචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය විද්වත් සාකච්ඡාව අතර තුර අදහස් දැක්වීය. 

එමෙන්ම විද්‍යාත්මක කරුණු වාර්තාකරණයේදී මාධ්‍යවේදීන් විසින් ඉදිරිපත් කළ යුතු පණිවිඩය කුමක්ද?, එම පණිවිඩය හෝ අදහස කා වෙනුවෙන්ද?, එය වැදගත් වන්නේ ඇයිද යන රීතීන්ට අනුව ලිපි සම්පාදනය කොට ඉදිරිපත් කිරීම මඟින් ඉතා සාර්ථක හා නිවැරදි ලෙස විද්‍යාත්මක කරුණු සමාජ ගතකළ හැකි බව එතුමිය තවදුරටත් ප්‍රකාශ කළාය.

දකුණු ආසියාතික කලාපයේ පාරිසරික කරුණු වාර්තාකරණයේ නියුතු වෙබ් අඩවීන්හි පලවන ප්‍රධාන විශේෂාංග ලිපි පරිවර්තනය කොට දේශීය භාෂාවන්ගෙන් ‘The BufferZone’හි පළ කිරීම මගින් දකුණු ආසියාතික කලාපයේ පාරිසරික ගැටලු මෙන්ම පාරිසරික තොරතුරු පිළිබඳවද පාඨකයා යාවත්කාලීන කරවීමට හැකි බවත්, එසේ යාවත්කාලීන කිරීමේ වැදගත්කම් ගැනත් EJNහි පරිසර හා සෞඛ්‍ය ව්‍යාපෘති නිලධාරිනියවන ස්ටෙලා පෝල් මහත්මිය ප්‍රකාශ කළා ය.

දකුණු ආසියාතික කලාප තුල සෞඛ්‍ය හා පාරිසරික පුවත් වාර්තාකරණයේදී මඟ හැරුණු මාතෘකා පිළිබඳව නැඟු පැනයට පිළිතුරු සපයමින් The Third Pole වෙබ් අඩවියෙහි දකුණු ආසියාතික කලාපයේ අධ්‍යක්ෂ ජොයිදීප් ගුප්තා මහතා ප්‍රකාශ කළේ, Bay of Bengal ව්‍යාපෘතිය මඟින් ඉදිරිපත් කල සෞඛ්‍ය හා පාරිසරික ගැටළු සම්බන්ධව දකුණු ආසියානු කලාපය තුල ප්‍රමාණවත් වාර්තා කිරීමක් දක්නට නොලැබුණු බවයි. වෙරළාසන්නව පවතින ලවණ විෂ වීම සම්බන්ධව ප්‍රමාණවත් කථිකාවතක් ගොඩ නැඟී නොමැති බැවින් ඒ පිලිබඳ ලිපි සම්පාදනය කරන මෙන්ද ජොයිදීප් ගුප්තා මහතා තම අදහස් දැක්වීම අතරතුර යෝජනා කළේය.