රනිල් නානායක්කාර විසිනි.   

ජෛව විවිධත්වය ගැන කතා කරන සෑම විටම මුහුද නොසලකා හරිනු ලැබුවද එය ජෛවගෝලයේ ධනවත්ම කොටසයි. විද්‍යාව විසින් නම් කරන ලද ජීවී විශේෂ මිලියන 1.5 න් 80%ක් පමණම භෞමික බව කියවේ. නමුත් එම අගය වැරදි අගයකි. සමුද්‍රීය පරිසරයේ ‌ජෛව ස්වරූපයන් පිළිබඳ අපගේ දැනුම ප්‍රමාණවත් නොවන බව මෙමඟින් මනාව පැහැදිලි වේ. එය හුදෙක් විද්‍යාඥයින් විසින් භූමිය මත පැතිරීම, අසමාන ලෙස පිළිබිඹු කරන්නකි. උදාහරණයක් ලෙස, සෑම වසරකම නව විශේෂ ලෙසින් වාර්තා වන්නේ පක්ෂි හා ක්ෂීරපායී විශේෂ කිහිපයක් වුවද 1983 වසරේදී සාගරයෙන් නව සත්ත්ව වංශයක්ම වාර්තා විය.

ගෝලීය වෙරළ කලාපයේ ජෛව විවිධත්වය, නිවර්තන කලාප වලට ප්‍රතිවිරුද්ධය. එය අප්‍රිකාවේ ප්‍රමාණයෙන් එක හමාරක් තරම් විශාල ප්‍රදේශයක් ආවරණය කරන අතර එහි පරිමාව මුළු භූමි ප්‍රමාණයෙන්, ජෛවගෝලයේම වාසස්ථාන ප්‍රමාණයට සමාන වේ. එහි කොරල්පර, සමහර වැසි වනාන්තර තරම්ම ජීවින් අතින් පොහොසත්ය. ඒවා ලෝකයේ වඩාත් ඵලදායීම පරිසර පද්ධතීන් වන අතර, එම පරිසර පද්ධති තුළ ආහාර දාමයේ විවිධ මට්ටම් සහිත විවිධාකාර ජීවී ස්වරූපයන්ගෙන් විශාල ප්‍රමාණයක් සමන්විතය.

සාගරය, ගොඩබිමට වඩා ලෝකයේ විශාල ප්‍රදේශයක් ආවරණය කරයි. එබැවින් ඒ පිළිබඳව අවබෝධය ඇත්තේ ඉතා ස්වල්ප පිරිසකටය. අප අවට ඇති මුහුද, සාගර ධාරාවන් හා වායුගෝලීය තත්ත්වයන් අනුව ගොඩබිම දේශගුණය පාලනය කරයි. නමුත් මිනිසාගේ අවශ්‍යතා වෙනුවෙන් සාගර සම්පත්, වගකීම් විරහිතව සූරාකෑම නොනවත්වාම සිදුවේ. මසුන් ඇල්ලීමේදී  තිරසාර නොවන අනුපාතයකින් එය සිදුකිරීම, මත්ස්‍ය අස්වැන්න අඩු වීමට බලපා ඇති බව විවිධ වාර්තා මගින් අනාවරණය කොට ඇත.

ශතවර්ෂ ගණනාවක් තිස්සේ සිදුවන ධීවර කටයුතු මඟින් ශ්‍රී ලාංකික ජනතාවට තිරසාර දිවියක් ලබාදී ඇති නමුත් මෙම සියවසේ සිදුවූ තාක්‍ෂණික දියුණුවත් සමඟ, වැඩි දියුණු කරන ලද මසුන් ඇල්ලීමේ ක්‍රම මගින් විශාල මාළු තොග ඇල්ලීම හේතු කොට‌ගෙන ටූනා වැනි මත්ස්‍ය විශේෂයන් අඩු වී, මෑත වසරවල සිට ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය පහත වැටී ඇත. ධීවරයින් නව උපකරණ මගින් මසුන් ඇල්ලීම නිසාවෙන් සහ එය සීමා සහිතව සිදු නොවන නිසාවෙන් සාගරයේ මත්ස්‍ය ගහනය සීග්‍ර ලෙස අඩු වෙමින් පවතී.

අධික ලෙස මසුන් ඇල්ලීම මඟින් මුහුදු පක්ෂීන්, මෝරුන්, දැල්ලන් වැනි අනෙකුත් සාගර ජිවින්ගේද ආහාර අවමව, එම සතුන්ද ක්ෂයවී යාමට ඉඩ ඇත. නොසැලකිලිමත් ලෙස භාවිතා කරන විශාල දැල්, අපේක්ෂිත විශේෂවලට වඩා වෙනත් විශේෂයන් කොටු කිරීමද තවත් එක් ව්‍යසනයකි.

මිනිසා විසින් සාගරයට විෂ රසායන ද්‍රව්‍ය එක් කිරීම, පිරිපහදු නොකළ ජලය මුදා හැරීම, කුඩා පරිමාණයෙන් හෝ අපවහාන ජලය, පොහොර වර්ග මුදාහැරීම නිසාවෙන්, සාගර ජීවින්ට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණ විශාල වශයෙන් අවමව ඔවුන් මියයන තත්ව වලට පවා කටයුතු සිදුවේ. තවද, සෘජුවම සිදුවන කැළි කසල, නොදිරන අපද්‍රව්‍ය එක් කිරීම් මඟින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් සාගර ජලයෙහි මුසුවීමද දැන් දැන් සුලභ කරුණකි.

නොදැනුවත්කම හා කෑදරකම නිසා මිනිසා, ස්වභාව ධර්මය සහ පෘථිවිය පිලිබඳ තැකීමක් නොකරයි. අප කාල බෝම්බයක් මත හිඳගෙන සිටින බව ඔහු නොදනී. එය යම් දවසක පුපුරා යනු ඇත. අපට ඇති එකම නිවස මෙයයි. අපට පමණක් නොව, අන්වීක්ෂිය ජීවියාගේ සිට විශාල ජිවියා දක්වා සෑම ජීවියෙකුටම මේ ලෝකයේ ජීවත් වීමට අයිතිය ඇත. නමුදු මිනිසාගේ ආත්මාර්ථකාමිත්වය විශ්වයේ මෙම අද්විතීය ග්‍රහලෝකය විනාශ කරමින් පවතී. බොහෝ ග්‍රහලෝකවල අයිස් හෝ මුහුදු අතුරුදහන්ව ඇති බව අප දන්නා කරුණකි. නමුත් ඒවා මීට පෙර පෘථිවියට බොහෝ සමානකම් ඇතිව තීබූයේ යැයි අප මතක තබාගත යුතුය.