අපොයි තුන්වෙනි තට්ටුවට පඩිපෙළ දිගේ යනවා කියන්නෙ මාව මරන්නා වගෙ වැඩක්. මේ කෙහෙල්මල ලිෆ්ට් එකත් වැඩ නෑ. සිකුරුටි අංකල් කිව්වා කරන්ට් කපලා කියලා. මගෙ කකුලුත් රිදෙනවා. මොකද අද අපිට ස්පෝර්ට්ස් මීට් එකේ ෆුට් බෝල් මැච් තිබුණා. මට නම් හොඳටම මහන්සියි. ඒ වගෙම බඩගිනියි.

කොහොමහරි මම හොඳටම එපා වෙලා ගෙදරට ආවා. තාත්තා තමා දොර ඇරියෙ.
“බලන්නකො තාත්තෙ ලිෆ්ට් එක වැඩ නෑනෙ… මං පඩිපෙළ දිගේ තමයි ආවෙ…” මම කිව්වෙ බරට බරේ තිබ්බ බෑග් එක බිමට අතාරින ගමන්.

“කරන්ට් එක නෑ පුතා… ඔයා ගිහින් ඇඟපත හෝදගෙන එන්නකෝ මම ඔයාට බත් බෙදලා තියන්නම්…”
“පුදුම රස්නයක්… කෝ ඉතින් ඒසී? මම නිකන් අවන් එකක් ඇතුළෙ ඉන්නවා වගෙ…” මම හිටියෙ බැන බැන.
තාත්තා මං දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා.
“කෑම එක අරන් බැල්කනියෙ ඉඳගෙන කන්න පුතා… එතන රස්නෙ නෑ… “
තාත්තා කිව්වෙ සන්සුන් කටහඬකින්.

ගිහින් ටීවී රිමෝට් එක අතට අරගෙන සෝෆා එක උඩ වැතිරුනාට පස්සෙ තමයි ආයෙ මට කරන්ට් නෑ කියලා මතක් වුණෙ.

ඊට පස්සෙ මම බැල්කනි එකට ගියා. ඉස්කෝලෙත් අද එපා වෙච්ච දවසක්. ගෙදරට ආවම තවත් එපා වුණා… අපේ පැත්තෙ දවස් තුනක් පැය හතර ගානෙ කරන්ට් කපනවා කියලා තාත්තා කිව්වා… ටීවී එකත් නෑ ඒසීත් නෑ… මම මගෙ ෆෝන් එකයි ලැප්ටොප් එකයි චාජ් කරලත් නෑ… මම නන්නත්තාර වෙලා!

පොඩ්ඩක් ඉන්න. ඇයි මේ කවුරුවත් ජෙනරේටර් එක ඔන් කරන්නෙ නැත්තෙ? මම එක පාරට නැගිට්ටෙ ඒක ගිහින් සිකුරුටි අංකල්ට මතක් කරන්න.

“වරුණ… පුතා මා එක්ක පාර්ක් එකේ ජොගින් යමුද? මෙතන ඉන්නවට වඩා වෙනසක්නෙ…?”
තාත්තා ඇහුවා.

ඇත්තටම මට ඕන කරලා තියෙන්නෙ මගෙ ඒසී කාමරේට වෙලා ඉස්කෝලෙ ප්‍රොජෙක්ට් එක ඉවර කරන්න. ඒත් තාත්තා වෙනස්. එයා ෆිට්නස් ගැන හිතන කෙනෙක්. ඒත් මේ වෙලාවෙ නම්
මේ කරන්ට් නැති මේ කොන්ක්‍රිට් කැලේ කොටු වෙලා ඉන්නවට වඩා හොඳයි ජොගින් යන එක.

තාත්තා එයාගෙ පොඩි කාලෙ ගැන කියන්නෙ හරිම දක්ෂ විදියට.
“අපේ කාලෙ නම් ඒසී තිබුණෙ නෑ… ඉස්කෝලෙන් පස්සෙ අපි අහල පහල ළමයි එක්ක ක්‍රිකට් සෙල්ලම් කළා… ගෙදර එන්නෙ හෝම් වර්ක් කරන්න පොඩි වෙලාවක් ඉතුරු කරගෙන. ඊට පස්සෙ ඉතින් රෑට කාලා නිදියනවා…”

ඇවිදගෙන යන අතරෙ මං තාත්තගෙ කතා අහගෙන හිටියා. මාත් කතා කළා… ඊට පස්සෙ අපි ෆිල්ම් ගැනත් කතා කළා. පස්සෙ අපි තේ එකක් බොන්න හිතාගෙන පොඩි තේ කඩේකට ආවා. මම මගේ මූණ දිගේ ගලාගෙම ආව දාඩිය පිහිදැම්මා. හැබැයි තාත්තා කිව්වා වගෙ හුළඟක් නම් එළිමහනෙ තිබුණෙ නෑ.

තාත්තට මාව තේරුණා වගෙ මෙහෙම ඇහුවා.

“පුතා දන්නවද අපේ නගරෙට දවසකට විදුලි බලය කොච්චර ඕනෙද කියලා?”

මම ඔලුව දෙපැත්තට වැනුවා.

“මෙගා වොට් හත්දාහක් විතර…” තාත්තා කිව්වා.

“සාමාන්‍යෙන් මෝසම් වැසි කාලෙදි ලොකු වැහි වහිනකොට නම් ජල විදුලිය නිපදවන්න ප්‍රමාණවත් ජලය ගලාගෙන එනවා… ඒත් මේ කාලෙ අපිට ඒ වගෙ ලොකු වැසි ලැබුණෙ නෑ… මේ වගෙ පොඩි පොඩි වැහි වලින් සුළං ශක්තියත් අඩු වෙලා යනවා…”

“ඔව් තාත්තෙ… අපි මේ සේරම ඉගෙන ගන්නවා… ජල විදුලිය… තාප විදුලිය… එතකොට සුළං ශක්තිය තව සූර්ය ශක්තිය…”
මම කිව්වා.

ඒ වගේම අපේ පරිභෝජනය අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙලා…”
තාත්‍තා කිව්වේ තේ එක බොන ගමන්.
“අපිට සුඛෝපභෝගී ජීවිත ගත කරන්න එක එක ජාති ඇවිල්ලා තියෙනවා… සමහර වෙලාවට මට හිතෙනවා මේ සේරම කරන්න ශක්තිය ඇතිද කියලත්. පහුගිය මාස වල අපිට තිබුණනේ මේ වගේම පවර් කට්…

“ඉල්ලුම සහ සැපයුම. මට ඒ වචන මතක් වුණා… මට මතකයි අපේ පන්ති කාමරේදිත් අපිට ලයිට් ෆෑන් ඔෆ් කරන්න කොච්චර අමතක වෙනවද කියලා…”

අපි ආපහු ගෙදර එන ගමනුත් තාත්තා කතා කළා.
අපි විදුලි බලය ඉතිරි කරගන්න ඕනෙ. උදාහරණයක් කිව්වොත් පාවිච්චි කරන්නෙ නැති වෙලාවට ෆ්‍රිජ් එක ඕෆ් කරන එක. ගෙදරක විදුලි පාවිච්චියෙන් සීයට විස්සක්ම යන්නෙ ෆ්‍රිජ් එකට. ඒ වගේම ටීවී අනම් මනම් අනවශ්‍ය වෙලාවට ඕෆ් කරන එක, අපිට ඕන නැති වෙලාවට මේන් පවර් බටන් එක ඕෆ් කරන එකෙන් අපිට විදුලි බලයයි සල්ලියි දෙකම ඉතුරු කරගන්න පුළුවන්…

“ඒ කාලෙ ගෙදරට LED බල්බ් දාන්න මං ගෙනාව යෝජනාවට මගේ තාත්තා හරිම ආඩම්බර වුණා… ඉතින් මමමයි ඒවා මාරු කළේ…”
තාත්තා කිව්වෙ මට තට්ටුවක් දාන ගමන්.

“පුතා දන්නවද අපි ඔක්කොම ඇඳුම් එකට අයන් කරාමත් විදුලිය ඉතිරි වෙනවා… අනිත් එක දවාලෙ පාරෙ ලයිට් දාලා තිබ්බොත් ඒවා මං ඕෆ් කරනවා. එහෙම ඕෆ් කරන්න බැරි ඒවා ගැන දැනුම් දෙනවා…”

අන්තිමේ අපි ගෙදරට ආවා. එතකොට කරන්ට් එක ඇවිත්. මට ගෙදර වැඩ ටික කරන්න ඉටිපන්දමක් ඕන වෙන්නෙ නැති එකම සහනයක්.
ඒසී එක දානවා වෙනුවට මම ගිහිල්ලා ගෙදර ජනෙල් ටික ඇරලා දැම්මා.
“තාත්තෙ, අපි අද බැල්කනියෙ ඉඳන් කෑම කමු…”
මම කිව්වෙ ආඩම්බරෙන්.

Priya Muthukumar විසින් Young Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Power Cut නම් කතන්දරයේ සිංහල අනුවර්තනයකි.