දර්ශන තිලකරත්න විසිනි.
කොරල් පර යනු පාරිසරික, ආර්ථික සහ සමාජීය වශයෙන් ඉතා වැදගත් පරිසර පද්ධතියකි. කොරල් පර එහි ඇති වටිනාකමට සමානවම ස්වභාවිකවත්, මානව ක්‍රියාකාරකම් හේතුවෙනුත් වඳවීයාමේ තර්ජනයට මුහුණපා ඇත.
මේවා සෙල්සියස් 23-29 අතර වන නිවර්තන සහ උප නිවර්තන දේශගුණික කලාපවල වර්ග කිලෝමීටර් 284,300 තරම් වූ ප්‍රදේශයක ලොව පුරා කොරල් පර ව්‍යාප්තව ඇත. සමස්ත සාගරයෙන් ඉතා කුඩා ප්‍රදේශයක මේවා ව්‍යාප්ත වී පැවතුණ ද ඒවායෙහි ජෛව විවිධත්වය ඉතා ඉහළ අගයක් ගනී. සියලු සාගර ජීවින්ගෙන් 25% ක් පමණ ඔවුන්ගේ ජීවන චක්‍රයේ අත්‍යාවශ්‍යම අවධිය ගතකරන්නේ කොරල්පර ආශ්‍රිතව වන අතර තවත් 4000 කට අධික මත්ස්‍ය විශේෂ, අතිවිශාල අපෘෂ්ඨවංශික හා ශාඛ විශේෂ ප්‍රමාණයක්ද කොරල්පර වටපිටාවෙන් නවාතැන්, ආහාර, ප්‍රජනනය සහ ආරක්ෂාව සලසා ගනී. එබැවින් මෙය පෘථිවියේ ජෛව විවිධත්වය අතින් ඉහළම පරිසර පද්ධතිය ලෙසද සැලකේ. ඒ අතරිනුත් ලෝකයේ අනෙකුත් සාගර කලාපවලට සාපේක්ෂව අප ජිවත් වන ඉන්දු පැසිෆික් කලාපය ඉහළම කොරල් ගහනයකින් යුක්ත වේ.
ගෝලීය වශයෙන් කොරල්පර මිලියන සංඛ්‍යාත ජනයාට ආහාර හා ජීවනෝපායන් සපයන අතර පාරිසරික වශයෙන් කාබන් තිරකිරීම හා විවිධ දේශගුණික සංසිද්ධි වලට එරෙහිව ස්වාරක්ෂක යාන්ත්‍රණයක් වශයෙන් ක්‍රියාත්මක වේ. තවද මේවා ආශ්‍රිතව කිමිදීම, පිහිනීම, නැරඹීම, විනෝදය පිණිස මසුන් ඇල්ලිම වැනි සංචාරක, හා විනෝදාස්වාද ක්‍රියාකාරකම් ද ඉතා ප්‍රචලිතය. විවිධ හේතු නිසා ඇතිවන වෙරළ ඛාදනය සහ අධික රළ පහර මඟින් වෙරළබඩ ප්‍රදේශයන්හි දේපල සහ ජීවිත හානි අවම කිරීම කොරල්පර වල තවත් වැදගත් මෙහෙවරකි. මීට අමතරව කොරල්හි ජෛව රසායනික හා ඖෂධීය වටිනාකම මිල කල නොහැකි වේ. සංචාරක හා විනෝදාත්මක ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 9.6 ක්, වෙරළ ආරක්ෂණයෙන් ඩොලර් බිලියන 9 ක්, ධීවර කර්මාන්තයෙන් ඩොලර් බිලියන 5.7 ක්, ජෛව විවිධත්වයෙන් ඩොලර් බිලියන 5.5 ක් ලෙස කොරල්පර මඟින් ජනනය වන සමස්ත වාර්ෂික ශුද්ධ ප්‍රතිලාභය ඩොලර් බිලියන 29.8 ක් පමණි. ලොව පුරා කොරල්පර ආශිත රටවල් සහ ප්‍රදේශ 99 ක ධීවරයින් මිලියන 06 ක් පමණ සිටින අතර එම ධීවරයින්ගේ ආදායමින් 25% ක් මුලු මනින්ම රඳා පවතින්නේ කොරල්පර මතය. කෙසේ වුවද 1950 දශකයේ සිට කොරල්පර මඟින් ලොව පුරා මිනිසුන්ට පරිසර පද්ධති සේවා සැපයීමේ හැකියාව 50% කින් පමණ අඩු වී ඇත.
ශ්‍රී ලංකාව අවට මුහුදේ ආසන්න වශයෙන් කොරල් විශේෂ 183 ක්, කොරල්පර ආශ්‍රිත මත්ස්‍ය විශේෂ 500 ක් සහ විවිධ ඇල්ගී විශේෂ, මුහුදු තෘණ විශේෂ හා අපෘශ්ඨවංශීන් විශේෂ විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇත. ඉතා මෑත කාලයේදී පර්යේෂණ කණ්ඩායමක් විසින් DNA කේත විශ්ලේෂණය මගින් නව කොරල් විශේෂ 36 ක්ද යාපනය අර්ධද්වීපයෙන් සොයාගන්නා ලදී.
කොරල්පර වඩාත් සංවේදී පරිසර පද්ධතියක් වන බැවින් සාගර ජලයේ උෂ්ණත්වයේ ඉතා සුළු වෙනසක් පවා ඒවාට බලපායි. එබැවින් කොරල්පර දේශගුණික විපර්යාස පිළිබඳ දර්ශකයක් ලෙසද සලකනු ලබයි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ලෝකයේ සාගරවල උෂ්ණත්වය ඉහළ යාම කොරල් විරංජනයට හේතු වේ. මෙමඟින් කොරල්පරවල සියළුම ජීවයන්ට විනාශය ඇති කරයි. මෑත අධ්‍යනයන්ට අනුව, සාගර මතුපිට උෂ්ණත්වය පසුගිය දශක කිහිපය තුළට වඩා වේගයෙන් වැඩි වී ඇත. මහා බාධක කොරල්පරයෙන් 2014 දී ආරම්භ වූ මහා කොරල්පර විරංජනය පැසිෆික්, අත්ලාන්තික් සහ ඉන්දියානු සාගර තුනටම බලපා ඇත. 1998, 2010, සහ 2016 කාලය තුළ ඉන්දියානු සාගරයේ ඉතා අධික මට්ටමින් කොරල්පර විරංජනය සිදුවී ඇත්තේ වර්ධනය වූ සාගර උෂ්ණත්වය මගින් ඇති කරන ලද තාප ආතතිය හේතුවෙනි.
සාගර ජලයේ ආම්ලිකතාවය වැඩි වීම දැනට පවතින දෘඩ කොරල්පර දියවීමට හේතුවන අතර, නව කොරල් කැල්සිකරණයට ද එය අහිතකර ලෙස බලපායි. කාර්මික විප්ලවයේ ආරම්භයේ සිට මතුපිට සාගරයේ pH අගය pH 0.1 කින් පහත වැටී ඇත. ඉහළ කාබන්ඩයොක්සයිඩ් වායු (CO2) විමෝචන තත්වයක් යටතේ, සාගර pH අගය 2100 වසර වන විට pH ඒකක 0.4කින් තවදුරටත් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේ වුවද විවෘත සාගරයේ කාබන් රසායනයේ එවැනි වෙනස්කම් පසුගිය වසර මිලියන 20 තුළ සිදුවී ඇති බවක් පෙනෙන්නට නොමැත.
කොරල්පර වලට පැවතිය හැක්කේ පටක මත ඉතා සීමිත අවසාදිත අංශු තැන්පත්වීමක් යටතේ පමණි. එසේ නොමැතිනම් ඒවා හුස්ම හිරවීම හෝ ආලෝකය ලබා ගැනීමට නොහැකි වීමෙන් මිය යනු ඇත. බොහෝ කොරල් පටකවල zooxanthellae නම් ප්‍රභාසංස්ලේෂක ඇල්ගී පැවතීම නිසා වැඩි ආලෝක ප්‍රමාණයක් ලබාගැනීමට නම් පැහැදිලි ජලය පැවතිය යුතුය. ප්‍රභාසංස්ලේෂණය මගින් ආහාර නිපදවීමට ආලෝකය අවශ්‍ය වන බැවින්, ආලෝකය ලැබීමේ ප්‍රමාණය කොරල්පර වර්ධනය සඳහා තීරණාත්මක සාධකයක් වන අතර එය ජල ගැඹුර, ජලයේ අවලම්භිත අංශු ප්‍රමාණය, සාගර වර්ණය, මතුපිට හරිතප්‍රද මට්ටම, තෙල්, ග්‍රීස් සහ ප්ලාස්ටික් වැනි සාධක මත රඳා පවතී.
විවිධ රෝග ඇතිවීම කොරල්පර හායනය වීමට පමණක් නොව, ප්‍රජා ව්‍යුහය, විශේෂ විවිධත්වය සහ ආශ්‍රිත ජීවීන්ගේ සැලකිය යුතු අඩුවීමකට ද හේතු වේ. කොරල් අවපැහැ ගැන්වීම් සහ පටක හානිය සම්බන්ධයෙන් බැක්ටීරියා, දිලීර සහ වෛරස් වැනි ජෛව ආතති මෙන්ම සාගර ජල උෂ්ණත්ව ඉහළ යාම, පාරජම්බුල කිරණ, ජල දූෂක, සහ අනෙකුත් හානිකර විකිරණ වැනි අජීවී සාධකද බලපානු ලබයි .
අධික ලෙස ආහාර පිණිස මසුන් ඇල්ලීම සහ විසිතුරු මසුන් ඇල්ලීම කොරල්පරවලට ඇති තවත් තර්ජනයකි. කොරල් මත්ස්‍ය විශේෂ සහ අනෙකුත් ජීවීන් අධික ලෙස සූරාකෑම පරිසර පද්ධතියේ ආහාර දාම අතර සම්බන්ධතාවය ගිලිහීමට හේතු වේ. බෝට්ටු නැංගුරම් කොරල්පර තුළ භාවිතය, ඩයිනමයිට් යොදා මසුන් ඇල්ලීම, හානිකර දැල් වර්ග යොදා මසුන් ඇල්ලීම මගින් විශාල වශයෙන් කොරල්පර විනාශය සිදුවේ. ශ්‍රී ලංකාවේ සාගර විසිතුරු මත්ස්‍ය කර්මාන්තය මුළුමනින්ම පාහේ කොරල්පර පරිසර පද්ධති මත යැපෙන බැවින් එය එහි සමතුලිතතාවයට බෙහෙවින් බලපානු ඇත. එබැවින් කොරල්පර පරිසර පද්ධති හායනය වීමත් සමඟ එම කර්මාන්ත තිරසාර නොවන තත්ත්වයට පත්වෙමින් පවතී.
සංචාරකයන් කොරල්පර නැරඔිමට යාම මගින් කොරල් පෑගීම සහ කොරල් කැබලි එකතු කරගෙන යාම බහුල වශයෙන් සිදුවන කණගාටුදායක ක්‍රියාකාරකම් වේ. පිහිනීමට නොහැකි සංචාරකයන් කොරල් පර මත හිට ගැනීම හේතුවෙන් බොහෝ කොරල් කැඩී බිදී යයි. සංචාරක ආකර්ෂණය වැඩි පරෙවි දුපත, හික්කඩුව ජාතික උද්‍යානයන් ආශ්‍රිතව යම් ආකාරයක නිරීක්ෂණ කටයුතු නිලධාරීන් විසින් සිදු කලද එක ප්‍රමාණවත් මට්ටක නොපැවතීම කණගාටුවට කරුණකි.
ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාපය ආශ්‍රිතව සිදුවන අවිධිමත් සංවර්ධන ක්‍රියාකාරකම් මගින් වෙරළ ඛාදනය වර්ධනයට හේතුවීම සහ එලෙස ඛාදනය වූ ද්‍රව්‍ය මුහුදු ජලයට ඇතුළු වීම බොහෝ කොරල්පර විනාශ වීමට සෘජුවම බලපානු ඇත. තවද වෙරළාශ්‍රිතව ඇති සංචාරක නිකේතන, ආහාර අලෙවිසැල් සහ අනෙකුත් ගොඩනැගිලි මගින් සාගරයට නිකුත් කරනු ලබන අපද්‍රවය ඇල්ගී පෝෂක ලෙස ක්‍රියා කොට දෘඩ කොරල් මත ඇල්ගී ආවරණ ඇති කිරීමට හේතු වේ. ආලෝකය අඩුවෙන් ලැබීම හේතුවෙන් කොරල් මිය යාමටද ලක් වේ.
මෙලෙස අධික ලෙස සිදුවන කොරල් විනාශයට හේතුවන ක්‍රියාකාරකම් හමුවේ කොරල් සංරක්ෂණයට සහ ආරක්ෂාවට ගෙන ඇති ක්‍රියාමාර්ග කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. කොරල් සම්බන්ධව ප්‍රමාණවත් දත්ත නොමැති වීමද සංරක්ෂණ කටයුතු සඳහා බාධා ගෙන දෙයි. එබැවින් ඉතා ප්‍රභල සහ කාර්යක්ෂම ක්‍රියාමාර්ගයන් ඉතා ඉක්මනින් නොගතහොත් මෙම වටිනා සම්පත අප භූමියෙන් තුරන්වී යාම වැලැක්විය නොහැකි වනු ඇත.
Comments are closed for this post.