චීනයේ කාර්මිකව නිෂ්පාදනය කරන ලද ක්ලෝරොකාබන් සහ ඩයික්ලෝරෝමීතේන් (CH2Cl2) විමෝචනය, 2011-2019 සිට වැඩි වූ බව නව අධ්‍යයනයකින් තහවුරු වී ඇත. එම විමෝචනය 2011 වසරේ වසරකට ගිගා ග්‍රෑම් 231 සිට 2019 වසරේදී ගිගා ග්‍රෑම් 628 දක්වා වර්ධනය විය. මූලික වශයෙන් එය නැගෙනහිර චීනයේ 13% ක සාමාන්‍ය වාර්ෂික වැඩිවීමකි.

චීනයෙන් CH2Cl2 විමෝචනයේ සමස්ත වැඩිවීම එම කාලසීමාව තුළ වසරකට ගිගා ග්‍රෑම් 354 ගෝලීය විමෝචන වැඩිවීමට සමාන විශාලත්වයකින් යුක්ත වේ.

ගෝලීය ඩයික්ලෝරෝමීතේන් විමෝචනය 2019 මට්ටමේ පැවතුනහොත්, ඩයික්ලෝරෝමීතේන් විමෝචනයක් නොමැති අවස්ථාවකට සාපේක්ෂව ඇන්ටාක්ටික් ඕසෝන් ප්‍රතිසාධනය වසර පහක පමණ ප්‍රමාදයකට තුඩු දිය හැකි බව ‘Nature Communications’ හි ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවේ සඳහන් වේ.

ඩයික්ලෝරෝමීතේන් වැනි කෙටි කාලීන හැලජනීකෘත ද්‍රව්‍යයන්ගේ (VSLS) වායුගෝලීය ආයු කාලය මාස හයකට වඩා අඩුය. බහුලවම ක්ලෝරීන් අඩංගු කෙටි කාලීන හැලජනීකෘත ද්‍රව්‍ය ලෙස ඩයික්ලෝරෝමීතේන් හඳුනාගෙන ඇති අතර, එය ක්ලෝරීන් අඩංගු කෙටි කාලීන හැලජනීකෘත ද්‍රව්‍යයන් වලින් ලැබෙන මුළු ආන්තික ගෝල වායු ප්‍රභවයන්ගෙන් 70%ක දායකත්වයක් දරයි.

ඩයික්ලෝරෝමීතේන් ප්‍රධාන වශයෙන් ආරම්භ වන්නේ මානව ප්‍රභවයන්ගෙන් වන අතර, එය මැලියම් සහ පිරිසිදු කිරීමේ අරමුණු සඳහා විමෝචන ද්‍රාවකයක් ලෙස සහ හයිඩ්‍රොෆ්ලෝරෝකාබන් (HFC) නිෂ්පාදනය සඳහා භාවිතා කරයි.

“පසුගිය දශකය තුළ ඩයික්ලෝරෝමීතේන් වායුගෝලීය සාන්ද්‍රණය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ජාත්‍යන්තර නිරීක්ෂණ ජාලයන් දැන සිටි නමුත් මේ දක්වා වැඩිවීමට හේතු වූයේ කුමක්ද යන්න අපැහැදිලියි.” බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා පාසලේ ලූක් වෙස්ටර්න් පැවසීය.

එම ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා පීකිං විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්, චීනයේ කාලගුණ විද්‍යා පරිපාලනය සහ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලය චීනය තුළ එකතු කරන ලද නව දත්ත පරීක්ෂා කිරීමට එක් විය.

ප්‍රතිලෝම ආකෘතිකරණ ප්‍රවේශයක් මගින් චීන කාලගුණ විද්‍යා පරිපාලනයේ අධීක්ෂණ ජාලය තුළ ස්ථාන නවයක මිනුම් භාවිතා කරමින් 2011-2019 වසර තුළ චීනයෙන් වාර්ෂිකව නිකුත් වන ඩයික්ලෝරෝමීතේන් විමෝචනයේ සැලකිය යුතු වැඩි වීමක් නිරීක්ෂණය කලේය.

චීනයේ සාමාන්‍ය වාර්ෂික විමෝචන වර්ධන වේගය 13%කි. 2012 වසරෙන් පසු විමෝචනයෙහි ශීඝ්‍ර වර්ධනයක් ඇති විය. 2012 දී වසරකට ගිගා 272 සිට 2015 දී ගිගා 534 දක්වා වැඩිවිය.

2011-2012 දී ගෝලීය ඩයික්ලෝරෝමීතේන් විමෝචනයෙන් 30-35% ක් චීනය සතු විය. 2012 න් පසු චීනයෙන් නිකුත් වූ විමෝචනය ගෝලීය සමස්තයෙන් 50-60% අතර ප්‍රමාණයක් විය.

උතුරු චීන තැනිතලාවේ කොටසක් සහ යැංසි ගංගා ඩෙල්ටා කලාපය ඇතුළුව චීනයේ නැගෙනහිර කොටස අධ්‍යයන කාලය තුළ ඩයික්ලෝරෝමීතේන් සඳහා ප්‍රධාන මූලාශ්‍ර කලාප ලෙස පෙන්වා ඇත. 2012 ට පෙර සහ 2015 න් පසු කාලපරිච්ඡේදය අතර වැඩිවීමට මෙම කලාප වැඩි දායකත්වයක් සැපයීය. ඉතා ජනාකීර්ණ ෂිජියැන්, ජියන්ෂු, ෂැන්හයි සහ අන්හායි යන පළාත් වලින් සමන්විත යැන්ග්ෂි ගංගා ඩෙල්ටා කලාපය විශාලතම විමෝචකයන්ගෙන් එකකි.

චීනයේ බොහෝ ක්ලෝරෝමීතේන් කර්මාන්තශාලා ඇත්තේ ෂැන්ඩොං පළාතේ, යැංසි ගංගා ඩෙල්ටාවේ සහ සිචුවාන් ද්‍රෝණියේ වන අතර, මෙම අධ්‍යයනයේ දී ඉහළ විමෝචන සහ විමෝචන වැඩි වීමක් පෙන්නුම් කරන ප්‍රධාන කලාපවලට අනුකූල වේ.

චීනයේ ඩයික්ලෝරෝමීතේන් විමෝචනයේ ප්‍රධාන ප්‍රදේශ සහ අධ්‍යයන කාලය තුළ ඒවායේ වැඩිවීම ආර්ථික වශයෙන් සංවර්ධිත සහ කාර්මිකකරණය වූ කලාපවල ස්ථාන සමඟ බෙහෙවින් අනුකූල වන අතර චීනයේ විමෝචනය සඳහා සැලකිය යුතු මානව ප්‍රභවයක් සනාථ කරයි.

චීනයෙන් පිටවන විමෝචන් වැඩිවීම ගෝලීය විමෝචන වර්ධනයට දැඩි බලපෑමක් කරන අතර, මෙම වැඩිවීම් ආන්තික ගෝලයේ ඕසෝන් ස්ථරය ප්‍රකෘතිමත් වීමට දැඩි බලපෑම් ඇති විය හැක.

Susan Chacko විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Ozone-destroying greenhouse gas emissions from China increased significantly: Study නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.