අයෝධ්‍යා කිරිඇල්ල විසිනි.

” දෙවියනේ.. තාරක.. කෝ මේ ඔයාට වෙඩි වැදිලා නෑනෙ.. ඒක වෙන්න බැරි දෙයක්.. “
පියුමි කීවේ උණ්ඩය විසින් සිදුරු කළ ඔහුගේ කමිසය පිරික්සමිනි.

තාරකට ඇයට දීමට පිළිතුරක් නැත. සිදුරු වූ කමිසයෙන් පෙනෙන්නේ ඔහුගේ සිරුර මිස වෙඩි නොවදින ඇඳුමක් නොවේ.

“මේ මිනිස්සු ආපහු නැගිටින්න කලින් අපි යමු එන්න..”
තාරක පියුමිගේ අතක් අල්වා ගෙන ඇයව පසුපසට අදිමින් කීවේ ය.

“මට ඇත්ත කියන්න තාරක.. ඔයා කවුද?”
පියුමි කීවේ ඔහුගේ අත ගසා දමමිනි.

“සේරම කියන්නම්… ඉස්සෙල්ලා මෙතනින් යමු…”

“වනජීවී එකේ නෙමේ නේද ඔයා? එතකොට තාත්තා..?”

“සේරම සේරම කියන්නම් මම මෙතනින් ගියාම ආයෙ අරුන්ට සිහිය ආවොත් නම් මට උන්ව මරලා දාන්න වෙයි ඒකයි..”
ඔහු සැහැල්ලුවෙන් කීය.

“ම්… හරි යමු එහෙනම්… යන ගමන් කියන්නම ඕන.. “

“හරි…”

තාරකගේ වචනයට කීකරු වූ පියුමි ඔහු හා නැවත කඳවුර බලා යාමේ මාර්ගයට අවතීර්ණ වූවා ය.


“ඩොක්ටර් සුනිල්… පියුමි තාම කෝල් එකක් දුන්නෙවත් නැද්ද…? මම පියුමිට ගන්නවා ගන්නවා ෆෝන් වැඩ නෑ..  “

“අනේ නෑ.. උදාර එදා රෑ කතා කළාට පස්සෙ කිසිම ආරංචියක් නෑ… මමත් ඊයෙ තාරකට ගත්තා ඒත් ෆෝන් එක ඕෆ්.. එදා තාරකට ගොඩක් අමාරු වෙලා තිබුණෙ…එයාව වැටිලත් තිබුණා… මාර දුකෙන් තමයි හිටියෙ පියුමිව එවන්න බැරිවෙන එක ගැන… මං ඒකයි කිව්වෙ එහෙනං හොඳ වුණාම පියුමි එක්ක එන්නයි කියලා… “

“සොරි සර්.. මෙහෙම කියනවට සර්… කරල තියෙන්නෙ නං වැරද්දක්… සර්ට තෙරෙනවා නේද..? “

“ඔයා හරි උදාර මට කියන්න තිබුණා උදෙන්ම එන්නයි කියලා… දැන් දවස් දෙකක් වුණා… “

“ඔව් සර්… පියුමිට මොකක් හරි කරදරයක්ද දන්නෙත් නෑ….”

“එහෙම වෙන එකක් නම් නෑ… ඒත්….? “

“සර්… මං කටින් නොකිව්වට මට ඔය තාරකව එච්චර ඇල්ලුවේ නෑ….”

“ඒත් පියුමි මට කිව්වෙ ඔයා එයාව අඳුරනවයි කියලනෙ උදාර…?”

“ඔව්… මං තාරකව අඳුරගත්තෙ පියුමි නිසා… පියුමි අපි කෑම්ප් එකට ආව පළවෙනි දවසෙම ඇවිදින්න ගිහින් අතරමං වුණා… එදා තාරක තමයි පියුමිව ආපහු එක්කගෙන ඇවිත් තියෙන්නෙ… එතනින් තමයි එයාව පියුමිත් අඳුරගත්තෙ…”

“ආහ්… මං එහෙම දෙයක් දන්නෙවත් නෑනෙ..?”

“මොනා උනත් තාරකගෙ තිබුණේ අමුතුම ඇට්‍රෑක්ෂන් එකක් සර්… එයාගෙ ඇස් වලින් පටන් අරන් මුළු හැසිරීමෙම…. ඒ වගෙ අමුතු කෙනෙක් මම මීට කලින් දැකලා නෑ.. එයගෙ කන් දෙකත් මාර වෙනස්….”

“ඒත්.. එයා පියුමිට කරදරයක් නං කරන එකක් නෑ… මොකද කියනවනං උදාර.. එයා කී පාරක් නං ජීවිතේ බේරුව ද පියුමිගෙ…? “

“ඔව් සර්… ඒක නං ඇත්ත තමා…..”

“ඒත්…. පොඩි බයක් නැත්තෙමත් නෑ… පියුමිට මොනාහරි වුණොත් එහෙම අපි මොනාද එයාගෙ ගෙදර අයට කියන්නෙ..? අපිනෙ වගකියන්න ඕනෙ…”

“ඔව් සර්…  මායි ආකාශුයි ටානියයි වෙනුරියි කෙවිනුයි දැන් එයාලව හොයන්න යන්න හැදුවෙ.. කෝල් ගත්තට පියුමිගෙ ෆෝන් එක ඕෆ්…”

“ඔව් ඒක හොඳයි පුළුවන් නම් මාත් එනවා ඒත් මට මේ වැඩ එක්ක මෙතන දාලා එන්න බෑ…. මං කියන්නද ඔයාල ඩොක්ටර් අසේලවත් එක්කගෙන යන්න ….. “

“තෑන්ක්ස් සර්… එහෙනම් මං යන්නම්…..”

“හොඳයි උදාර… ඒත් තාම හරියට දෙයක් නොදැන තාරකව සැක කරන්නත් එපා…”

“හරි සර්… ඕකේ……”


මඳ දුරක් ගිය පසු ඈ නැවත තාරකට ඇවටිලි කරන්නට වූවා ය. ඔහු යම්කිසි අත්භූත බලයක් ඇත්තකු වුව ද ඔහුගෙන් තමාට හිරිහැරයක් නම් සිදු නොවන බව පියුමිට ස්ථීර ය.

” හ්ම්….හරි පියුමි කියන්නකෝ එහෙනම්… … ඔයා තාරකා විද්‍යාවට ආසයිද..? “

“ඔව් තාරක ඇත්තටම ආසයි… ඈත තරු, මන්දාකිණි… ග්‍රහලෝක… මං ගොඩක් ආස කරන දේවල්… එතකොට ඒලියන්ස්ලටත් මම ගොඩක් ආසයි තාරක… ඔයා දන්නවද..? පොඩි කාලෙ ඉඳන් මම ප්‍රාර්ථනා කරපු එක දෙක තිබුණා. ඒක මම විශ්වාස කළා.. ඒ මොකද්ද දන්නව ද… ඔයාට නම් හිනා යාවි… ඒ කවදහරි ඒලියන් කෙනෙක්ව මගෙ ඇස් දෙකෙන් දකින්න පුළුවන් වෙයි කියලා… “

තාරක ඇය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේ ය.

“ඒක මරු ආසවක්.. ඉතිං ඉතිං…. ඔයාට ඒලියන් කෙනෙක් හම්බවුණාද…? “

“අයියෝ නෑ… තාරක.. ඒත්.. දැන් මම තේරුම් අරන් ඉන්නෙ එහෙම ඒලියන්ස්ල මෙහෙට ආවත් මාව හම්බවෙන්න කොහොමටවත්ම  එන එකක් නෑ කියලා…. “

“ම්…. එහෙමද..? එතකොට…… ඒලියන් කෙනෙක් ඔයා ඉස්සරහට ආවොත් ඔයා මොකද කරන්නෙ…? “

“ම්… මං එයාට මගෙ ලෝකෙ පෙන්නන්න උදව් කරනවා… පුළුවන් නම් විතරක් මාවත් එයාගෙ ලෝකෙ පෙන්නන්න එක්ක යන්න කියනවා…”

“මට ටික කාලයක් දෙන්න.. දැන්මම අපේ ලෝකෙ ඔයාට පෙන්නන්න මට පුළුවන් කමක් නෑ.. ඒ විනාශ වෙච්ච ලෝකෙ ඔයාට හුස්ම ගන්න පුළුවන් තැනක් වෙච්ච ගමන් මං වෙ ආසාව ඉෂ්ට කරනවා..”

“මොකක්..? ඔයාට පිස්සු ද තාරක..?”

“පිස්සු නෑ පියුමි ඒකයි ඇත්ත.. ඔයා පොඩි කාලෙ ඉඳන් දකින්න ආස කරපු ඒලියන් ඉන්නෙ ඔයා ඉස්සරහ.. මම පෘතුවි වැසියෙක් නෙමෙයි..”

පියුමි වහා නැවතී තාරක දෙස මුව අයා බලා සිටියා ය.

මීළඟ කොටසින් හමුවෙමු.