අයෝධ්‍යා කිරිඇල්ල විසිනි

“මොකක්…”
පියුමිට කියැවිණි.

“මම කිව්වෙ ඇත්ත… මං වනජීවි එකේ නෙමෙයි… කොටින්ම මනුස්සයෙකුත් නෙමෙයි… අන්න ඒකයි මම අකමැති වුණෙ ඔයා එක්ක ඒ කැලෑ වනසන්නො ළඟට යන්න… ඇත්ත මාව එළි වෙයි කියලා.. “
තාරක කීය.

“අනේ මන්දා මං කොහොමද විශ්වාස කරන්නෙ…  ඒත්.. ඒත් ඇත්තටම ඔයා අමුතුයි තමයි…”

“ඔව්.. උදාරට බෑනෙ අරවගෙ මනුස්සයෙක්ව ඉස්සලා විසි කරලා දාන්න… අනික ඇත්තටම ගෙදර තිබ්බ බඩු අනම් මනම් ඉතින් අපේ ඒ ලෝකෙ ටෙක්නොලජි එක.. අනික මගේ ඇස්… කන්… මේ අපි යන ගමන් කතා කරමු.. නැත්තම් ඔයාට පරක්කු වෙනවනෙ.. අරහෙ කට්ටිය බය වෙලා ඇති හොඳටම..”
තාරක කීවේ නැවතී සිටි තැනින් පියවර කිහිපයක් පෙරට තබමිනි.

” හරි එතකොට තාරක ඔයාගෙ තාත්තා..?”
පියුමි ඔහු සමඟ ඉදිරියට ඇදෙමින් ඇසුවා ය.

“ම්… තාත්තා ඉන්නවා.. හැබැයි මෙහෙ නෙමෙයි එහෙ… මාව මෙහෙට එව්වෙත් ඉතින් එයාලගෙ පොඩි මෙහෙයුමකට තමයි…”

“කොහෙද ඒ ලෝකෙ…? මෙහෙයුමකට..? ඔයාලා යන්නෙ මෙහෙ ආක්‍රමණය කරන්න ද?”
පියුමි ඇසුවේ පුදුමයෙනි.

“අපෝ නෑ නෑ… එහෙම දේකට නෙමෙයි… අපි හරිම සාමකාමී විදියට ජීවත්වෙන කට්ටියක්… අපි ගැන දැනගත්තොත් ඔයාල නම් අපේ ලෝකෙ ආක්‍රමණය කරයි.. ඇත්තටම පියුමි අපි ඉන්නෙ මේ මන්දාකිනියෙවත් නෙමෙයි.. ගොඩක් දුර…”
තාරක කියාගෙන ගියේ ය.

“ආ… මන්දාකිනියෙත් නෙමෙයි කියන්නෙ.. මෙච්චර දුර එන්න ඔයාලගෙ ටෙක්නොලජි එක නම් ගොඩක් දියුණු ඇති.. “

“ඔව්… ඔයාලගෙ අයට තාම එහෙ යන්න හිතන්නවත් බෑ තමයි…”

“ඉතින් මොකක්ද ඔයාලගෙ මේ මෙහෙයුම ? මට ආසයි ඒ ගැන දැනගන්න…”

“ඔයා ඒ ගැන දැනගන්නම ඕන පියුමි.. ඔයා ඒ මෙහෙයුමේ කොටසක්..”

“කොටසක්…? මේ මං….”
ඇය පුදුමයෙන් අසද්දීම ඉදිරියෙන් ඇසුණේ කොළ සර සර නඟන හඬකි.

“කවුරුහරි එනවා වගේ…”

“ඔව් පියුමි… මං හිතන්නෙ නෑ ඒ කැලෑ වනසන්නො කියලා නම්.. “

තාරකට කියා ගත හැකි වූයේ එපමණකි. සර සර හඬ නැගූ පිරිස ඔවුන් ඉදිරියට පැමිණ තිබිණි.

“ටානියා… උදාර… ඔයාලා…”
පියුමිට කියැවිණි.

ටානියා දිව විත් ඇයව වැළඳ ගත්තා ය.

“දෙවියනේ අපි බය වුණු තරමක්.. අඩුම ගාණෙ කෝල් එකක් වත් නෑ.. ඉතින් අපි කට්ටිය ආවෙ ඔයාව හොයාගෙන..”
ඩොක්ටර් අසේල පැවසීය.

“සොරි සර්.. මම නිසා සේරම.. දිගටම මම අසනීපෙන් පණිවිඩයක් දීගන්න විදියක් තිබ්බෙත් නෑ ඊට පස්සේ..”
තාරක පියුමි දෙස බලා ඉඟි කළේ ඇගේ දියේ ගිලීම නොපවසන ලෙසට විය යුතුය. එමඟින් මෙම පිරිස තවත් බියට පත් වනු ඇත.

“අද එද්දිත් පරක්කු වුණෙ දඩයක්කාරයො වගයක් මුණ ගැහුණ නිසා.. තාරක උන්ට හොඳ පාඩමක් ඉගැන්නුවා… උන්ට ගැහුවා..”
පියුමි කීවා ය.

තාරක ඇය දෙස බැලුවේ ය.

“ගැහුවා.. වනජීවී එකේ තාරක කරන්න ඕන එයාලව අල්ලලා නීතුය ක්‍රියාත්මක කරන එක මිසක් අල්ලගෙන ගහන එක නෙමෙයිනෙ..”
උදාර කීවේ තරමක් නොරුස්නා ලෙසය.

“නෑ. නෑ.. උන් මට කරදර කරන්න හැදුවා.. ඉතින් ඒ නිසයි ගැහුවෙ..”
පියුමි කීවා ය.

“ඔයාට කරදරයක් නෑනෙ.. නේද?”
වෙනුරි ඇසුවා ය.

“නෑ නෑ… මං හොඳටම හොඳින්.. තාරක හිටියනෙ..”

“හරි හරි.. දැන් ඇති අපි යමු… තව පොඩි දුරයි…”
ඩොක්ටර් අසේල කීවේ ආපසු හැරෙමිනි.

“තාරක ඔයත් එනව ද?”
පියුමි ඇසුවා ය.

“එයා ඕන නෑ… තාරක ආපහු ගියදෙන් අපි යමු..”
උදාර කීය.

“ඔව්… මං හෙට එන්නම්.. පරිස්සමෙන් පියුමි..”
තාරක ආපසු හැරුණේ ය.

පියුමිට ඔහුගෙන් දැනගත යුතු දෑ බොහෝ තිබුණත් ඈ ඔහුට සමුදී පිරිස සමඟ කඳවුර වෙත යාමට පිටත් වූවා ය.

මීළඟ කොටසින් හමුවෙමු.