ඉඳුනිල් උස්ගොඩආරච්චි විසිනි

  • නෞකාව රටට ඇතුළුවූ ආකාරය සොයන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
  • ප්ලාස්ටික් කැට වියෝජනයට වසර 25ක් වත් ගතවිය හැකියි.
  • කාලයත් සමග ප්ලාස්ටික් කැට රට පුරා පැතිරීමේ අවධානමක්.
  • කාන්දුව ගැන නැව එන තුරුම දන්නේ නෑ.
  • ගිලී යාමෙන් විය හැකි විනාශය ප්‍රබලයි.
  • නීතිමය ප්‍රතිපාදන සම්පූර්ණ නැහැ; වන්දි ලබා ගැනීම්වලටත් ගැටලු

තෙවන කොවිඩ් රැල්ලෙන් බැට කමින් සිටින අතරතුර වුවත් ජීවිත ගැටගසා ගන්නට තිබූ ජීවන වෘත්තිය ඔවුහු යාන්තමින් හෝ අල්ලාගෙන සිටියහ. එහෙත්, හදිසියේ මෙන් මතුවූ නෞකාවක් ඔවුන්ගේ දෑස් මානයේ ගිනි ගැනීමත් සමග ඒ බොහෝ දෙනෙකු‌ගේ ජීවිත නොසිතූ ලෙස උඩුයටිකුරු වී තිබේ.

“අපේ ජීවිත ගෙවුණේ මුහුදත් එක්ක. උදේ පාන්දර නැගිට්ට ගමන් අපි බලන්නේ මුහුද දිහා. දැන් වැල්ල පුරාම ප්ලාස්ටික් කැට. අපට රස්සාවට යන්න එපා කිවුවා.ඒත් අපිට වෙන කරන්න දේකුත් නෑ. අපි කරන්න ඕන මොකක්ද කියලා කිසිම කෙනෙක් කියන්නෙත් නැහැ. අපේ බෝට්ටු, දැල්, එංජින් අරගෙන තියෙන්නේ ණයට. අපි ඒ ණය ‌ගෙවන්නේ කොහොම ද? අපි ජීවත් වෙන්නේ කොහොමද? දැන් ගමේ හැමෝම වගේ උදේට නැගිටලා තැන් තැන්වල වාඩි වෙලා, මුහුද දිහා බලාගෙන ඉන්නවා.”

ඒ ධීවර කර්මාන්තය ජීවන වෘත්තිය කරගෙන සිටි මීගමුව ප්‍රදේශයේ සුසන්ත රණසිරි ය. X-PRESS PEARL නෞකාවට තව හෝරා කිහිපයකින් සාගර පතුලේ ගිලී සිය ගත දවන දාහයෙන් සදහටම සුවපත් වීමට අවකාශ සැලසෙනු ඇති වුවද පසුගිය දෙසතිය පුරා X-PRESS PEARL විසින් පාරිසරික වශයෙන් පමණක් නොව ආර්ථික හා සමාජීය වශයෙන් ශ්‍රී ලංකාව තුළ අවුළුවාලූ ගිනිදැල් තව බොහෝ කාලයක් ලක් ධරණී තලය මත අළුයට ගිනි පුපුරුව පවතින ලකුණු පළවෙමින් තිබේ.

මේ වනවිට ගිනි ගත් නෞකාවේ ශේෂවූ සුන්බුන් සහ විෂ රසායනික ද්‍රව්‍ය මහසයුරට එක්ව බස්නාහිර වෙරළ තීරය පසුකරමින් දකුණු දිග වෙරළ තීරය දක්වා පැතිර යාමට පටන්ගෙන ඇති අතර ධීවර වෘත්තියෙන් ජීවිත ගැටගසාගනිමින් සිටි විශාල පිරිසකට සිය ජීවනෝපාය අහිමි කර තිබේ. විද්වතුන්ගේ මතය වන්නේ මුහුදට වැටී ඇති කුඩා ප්ලාස්ටික් කැට (plastic pellets) සුළං රටා වෙනස්වීම් සමග උතුරු හා නැගෙනහිර වෙරළ ප්‍රදේශවලටත් ව්‍යාප්ත විය හැකි බවය. මේ තත්ත්වය මත බස්නාහිර වෙරළ තීරයේ පමණක් නොව ශ්‍රී ලාංකාවේ සමස්ත කරදිය ධීවර කර්මාන්තයටම එහි බලපෑමෙන් මිදිය නොහැකි තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.

ධීවර අමාත්‍යාංශයේ දත්ත අනුව,2019 වන විට මෙරට කරදිය ධීවර කර්මාන්තයෙන් යැපෙන පවුල් සංඛ්‍යාව 185,360ක් වන අතර ඊට අයත් මුළු ජනගහණය 804,760 කි. එම ධීවර දිස්ත්‍රික් වර්ගීකරණය අනුව මීගමුව කරදිය ධීවර කර්මාන්තයේ යෙදෙන පුද්ගලයින් සංඛ්‍යාව 9590කි. හලාවත 9890කි.පුත්තලම 16890කි.කොළඹ 2300කි. කළුතර 4180කි. ගාල්ල 11,390ක් හා මාතර 14,840කි. 2019 වසරේ මෙරට සමස්ත මත්ස්‍ය නිෂ්පාදනවල වටිනාකම රුපියල් මිලියන 196,989 වූ අතර 2020 වසරේ මෙරට මත්ස්‍ය අපනයනයේ වටිනාකම රුපියල් මිලියන 39,874ක් විය. එබැවින්, නෞකාවේ විනාශය මගින් මෙරටට ක්ෂණිකව ඇති කළ දැවැන්ත පාරිසරික හානිය තව නොබෝ දිනකින්ම ශ්‍රී ලාංකේය ආර්ථිකය, සමාජය, ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍ර කෙරෙහිද අහිතකර ලෙස පැතිරයාමේ අවධානමක් පවතින බව ධීවර සංවිධාන නියෝජිතයින් ඇතුළු සමාජ ක්‍රියාකාරීන්ගේ අදහස වී තිබේ.

ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය(CIR) වෙත පැවසුවේ මෙයින් මෙරට ධීවර කර්මාන්තයට කෙටි කාලීන පමණක් නොව දීර්ඝ කාලීන විශාල බලපෑමක් ඇති වන බවය. “පළමු දේ මිනිස්සු මාළු කන්න භය වෙනවා. ඒ නිසා මාළු ඇල්ලුවත් ධීවරයන්ට විකුණාගන්න බැහැ. මේක රට වටේටම බලපානවා. මොකද මාළු එන්නේ මොන පැත්තෙන්ද කියලා මිනිස්සු හරියට දන්නේ නැති නිසා වෙළඳපොළේ තියන මාළු ගන්න මිනිස්සු භයයි. ඒ වගේම තෙල් වැනි දේ කොරල්පර ආශ්‍රිතව තැන්පත් වුණොත් මාළු බෝ වීම සම්බන්ධයෙනුත් විශාල ප්‍රශ්නයක් වෙනවා. මේවා ගැන නිසි අධ්‍යයනයක් කරන තුරු විනාශය තක්සේරු කරන්න අමාරුයි.” පරිසරය ඇතුළු අනෙක් සියලු අංශවල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ මෙම නෞකාව මෙරටට ඇතුළුවූ ආකාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය ,ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය සහ මීගමුව පිටිපන එක්සත් ධීවර සමිතිය එක්ව පසුගිය ජුනි 04 දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර තිබේ. වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, නාරා ආයතනය එහි වගඋත්තරකරුවන් ලෙස නම් කළ බව නීතීඥ රවීන්ද්‍ර දාබරේ CIR වෙත පැවසුවේය.

ප්ලාස්ටික් බිඳිතිවල තර්ජනය

කෙසේ වෙතත් ධීවර කර්මාන්තයට පමණක් නොව විශාල වශයෙන් වෙරළ තීරය පුරා පරිසර පද්ධති වලට බලපෑම් කරමින් දකුණු වෙරළ ප්‍රදේශය දක්වා පැතිර ඇති ප්ලාස්ටික් කැට කාලයත් සමග ශ්‍රී ලංකාව වටා ඇති කලාපය පුරා පැතිරිය හැකි බව ‘ද පර්ල් ප්‍රොටෙක්ටර්ස්‘ (The Pearl Protectors) හි සම්බන්ධීකාරක මුදිත කටුවාවල පවසයි. ඔහු සඳහන් කරන්නේ ඒවා ආහාරයට ගැනීම නිසා මත්ස්‍යයන්ට ද, එවැනි මත්ස්‍යයන් මිනිස් පරිභෝජනය සිදුවුවහොත් මිනිස් ප්‍රජාවට ද සෞඛ්‍යමය ගැටලු ඇති වීමේ අවධානමක් පවතින බවය.

මෙම කුඩා ප්ලාස්ටික් කැට වෙරළ හා මුහුදු තීරයේ පැතිරීම මගින් ඇතිවිය හැකි හානිය සම්බන්ධයෙන් පරිසරවේදී කපිල මහේෂ් රාජපක්ෂ ද අනතුරු හඟවති. “දැවිගිය සුන්බුන් හා ප්ලාස්ටික් බිදිති වියෝජන ක්‍රියාවලියට අඩුම තරමින් වසර 25ක් වත් ගත විය හැකියි. එම කාල සිමාව තුළ මේවා නොගැඹුරු මුහුදු තීරය පුරා ව්‍යාප්ත වෙමින් මුහුදු පතුළේ ජිවින් හා ශාකවල වාසස්ථාන වසාගනිමින් පැතිරිය හැකියි. මෙම කලාපයේ පවතින ජලජ පැලෑටි, ඇල්ගි ශාක, ප්ලවාංග මත මේවා තැන්පත්වීම නිසා කලාපයේ ඇති ජෛව විවිධත්වයට මෙයින් දැඩි බලපෑමක් එල්ල විය හැකියි.” මේ සියල්ලෙන් පෙනී යන්නේ මෙහි බලපෑම ධීවර කර්මාන්තය හා බැඳුණු විශාල පිරිසකගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනවා පමණක් නොව එය මෙරට වෙරළ ආශ්‍රිත ජෛව පද්ධතිවල පැවැත්මට මෙන්ම මනුෂ්‍යයන් වෙත ද විවිධ ස්වරූපයන්ගෙන් බලපෑම් එල්ල කරන බවය. එමෙන් ම එය කෙටි කාලීනව පමණක් එල්ල වන තර්ජනයනක් ද නොවේ.

විෂ රසායනවල හා සුන්බුන්වල බලපෑම X-PRESS PEARL නෞකාව මැයි 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණ නාවික සැතපුම් 9.5 ක පමණ දුරකින් නැංගුරම් ලා තිබිය දී ගිනි ගැනීමට ලක්වූ අතර ගින්න මැඩපැවැත්වීමට ගත් උත්සාහය ව්‍යර්ථ කරමින් මැයි 25 වන දින එහි පිපිරීමක් ද සමග නෞකාවේ වූ බහාලුම් ගණනාවක් මුහුදට වැටෙන්නේය. ගින්න මැඩ පැවැත්වීමෙන් පසු මෙරට මුහුදු සීමාවෙන් ඉවතට ඇද‌ගෙන යෑමේ උත්සාහය අතරතුර දැන් නෞකාව සයුරේ ගිලී යාමට ආසන්නව තිබෙන්නේ පෙර වූ හානිය වඩා තීව්‍ර මට්ටමකට පත් කරමිනි. ඒ, නෞකාව තුළ තිබෙන මෙතෙක් සයුරට එක් නොවූ විෂ රසායන ද්‍රව්‍ය ද ඇතුළු නැවේ ගබඩා කර ඇති තෙල් මුහුදට එක් වුවහොත් ඇති විය හැකි හානිය පිළිබඳ තවමත් නිසි තක්සේරුවක් කළ නොහැකි බැවිනි. නයිට්‍රික් අම්ලය, සෝඩියම් මෙතොක්සයිඩ්, එතනෝල්, කෝස්ටික් සෝඩා සහ තෙල් ආදී ලෙස පරිසරයට හානිකර රසායන රාශියක් ද ඇතුළු නෞකාවේ තිබූ ද්‍රව්‍ය පිළිබඳ ලැයිස්තුවක් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2021 ජුනි 02 දා ප්‍රකාශයට පත් කර තිබුණි. නැව තුළ තවත් ඉතිරිව ඇති විෂ රසායන හා තෙල් හේතුවෙන් නැව ගිනි ගැනීමේ දී වූ හානියට වඩා දැඩි හානියක් මේ ගිලී යෑම හරහා විය හැකි බව විශේෂඥ මතය යි.

නෞකාවේ තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කර තිබෙන විශේෂඥ කමිටුවේ සාමාජිකයෙකු වන මහාචාර්ය අජිත් ද අල්විස් සඳහන් කළේ මේ වන විට තිබෙන්නේ පාලනය වූ තත්ත්වයක් වුවත් නෞකාව ගිලුණු පසු දැඩි ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් ඇති බවය. “විශේෂයෙන් තෙල්, ඉන්ධන කොපමණ ප්‍රමාණයක් මේ වන විට කාන්දුවෙලා ද, තව කොපමණ ප්‍රමාණයක් නෞකාව තුළ ඉතිරිව තිබේද කියන ප්‍රශ්නය තියනවා. මේ තෙල් යම් ආකාරයට මුහුදට එකතු වීමේ විශාල අවධානමක් මේ වන විට තියෙනවා. මේකේ අවධානම් කළමනාකරණය භාරව සිටින නැවේ ගලවාගැනීමේ සමාගමට මේ ගැන යම් පියවරක් ගැනීමේ වගකීම තියෙනවා. දැනට තත්ත්වය වළක්වන්න containment booms (තෙල් කාන්දුවීම් වලින් සමුද්‍රය විනාශ වීම වැළැක්වීමට තාවකාලිකව යොදා ගන්නා පාවෙන බාධාක) වැනි යම් යම් පියවර ගෙන තිබුණත් කාලගුණ වෙනස්වීම් මතත් අවධානම වැඩි වෙනවා.” මහාචාර්යවරයා පැවසුවේය.

නෞකාවෙන් සිදුවූ හා සිදුවිය හැකි හානි සම්බන්ධයෙන් තක්සේරු කිරීම් කටයුතු කරන එම විශේෂඥ කමිටුවේම සාමාජිකාවක වන මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන පැවසුවේ මේ වන විට හානිය සම්බන්ධයෙන් තක්සේරු කිරීමේ කටයුතු සිදුවෙමින් පැවතුණත් නැව ගිලෙන විට ඇතිවිය හැකි ගැටලු සම්බන්ධනේ තවමත් නිශ්චිතව කිව නොහැකි බවය. “දැනට සම්පූර්ණ වෙරළ තීරයම අධි බලපෑම් කලාපය, මධ්‍යම බලපෑම් කලාපය හා අඩු බලපෑම් කලාපය ලෙස හඳුනා‌ගෙන දැනට තිබෙන තත්ත්වයන් පිළිබඳ විමර්ශන කටයුතු සිදුවෙනවා. රසායන ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් වලින් විවිධ ප්‍රදේශවල පාරිසරික පද්ධතීන් වලට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් මේ වන තක්සේරු කරමින් තිබෙනවා. ධීවර කර්මාන්තයට අදාළ සියලු අංශ වලට, සංචාරක කර්මාන්තයට, සත්ත්වයන්ට සිදුව ඇති හානීන් පිළිබඳව භෞතික වශයෙන් ගණනය කිරීම් සිදුවෙනවා. ඒ වගේම නැවේ සුන්බුන් ඇල්ලීම නිසා සිදුවූ සෞඛ්‍යමය ගැටලු, අම්ල වැසි ඇතිවීමේ හැකියාවන් පිළිබඳ ආදී විවිධ දේ පිළිබඳවත් පරීක්ෂණයට ලක්වෙනවා.” මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන සඳහන් කළාය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ, ගිනි ගැනීම වූ ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයට ද යම් බලපෑමක් සිදුව ඇති අතර එම තත්ත්වය රට තුළට ඒමේ හැකියාවක් තිබේ ද යන්න සම්බන්ධයෙන් පර්යේෂණ කළ යුතු බැවින් වායු දූෂණය සම්බන්ධයෙන් ද මිනුම් සිදුවන බවය. ඊට අමතරව වෙරළෙන් එකතු කරගන්නා සුන්බුන් එක් ස්ථානයකට රැගෙනවිත් තැබීම සිදුවන බවත් නෞකාව සම්බන්ධයෙන් වන අධිකරණ කටයුතු සඳහා ඒවා වැදගත් වන බවත් ඔහු සඳහන් කළේය.

“ගින්න තිබූ අවස්ථාවේ වායු දූෂණය සම්බන්ධ‌යෙන් මැනීම් සිදුකළා. ඒ වන විට නයිට්‍රජන් වාෂ්ප සහ කාබන් ඩයොක්සයිඩ් අධික සාන්ද්‍රණයක් පිටවුණා. ඇතැම් වෙලාවට අම්ල වැසි වැටීමේ ඉඩකඩ තිබුණත් මේ වන විට ඒ හානිය නැතිව ඇති කියලා හිතනවා. නමුත් ඒක විද්‍යාත්මකව තහවුරු කර ගන්නේ නැතිව හරියටම කියන්න අමරුයි.” ඒ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ලහඳපුර ය.කෙසේ වෙතත් මෙවැනි සිදුවීමක දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් යම් යාන්ත්‍රණයක් තිබුණ ද සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස මෙරට තුළ මීට වැඩි තාක්ෂණික හැකියාවන් තිබිය යුතු බව නීතීඥ දර්ශනී ලහඳපුර සඳහන් කළාය.

පිහිටීම නිසා වන බලපෑම්

ශ්‍රී ලංකාව ස්වභාවයෙන්ම පිහිටා තිබෙන්නේ ප්‍රධාන නැව් මාර්ගයක වන අතර එහි නෞකා ගමනාමනය වර්ධනය වෙමින් ද පවතී. 1992 වසරේ දී ගෝලීය නැව් ගමනාගමනයෙන් 17%ක් වූ ඉන්දියන් සාගරයේ සහ චීන මුහුදේ නැව් ගමනාගමනය 2012 වසර වන විට 25%ත් 30% දක්වා වර්ධනය වී ඇති බව සාගර විද්‍යාඥයෙකු වන ජීන් ටෝර්නාඩ්‍රේ (Jean Tournadre) විසින් 2014 දී අධ්‍යයන වාර්තාවකින් හෙළි කර තිබේ. අත්ලන්තික් සාගරයේ නැව් ගමනාගමනය 1992 වසරේ දී ගෝලීය නැව් ගමනාගමනයෙන් 40%ක් වූ අතර එය 2012 වසර වන විට 32% දක්වා පහත වැටෙද්දී පැසිෆික් සාගර කලාපයේ එය 35% සිට 39% දක්වා වර්ධනය වී ඇති බවත් ඔහු එම වාර්තාවෙන් පෙන්වාදෙයි.

මෙම තත්ත්වයන් සමග ලංකාවට ද මුහුණ දීමට සිදුවන අර්බුදයන්‌ගේ වර්ධනයක් ඇති විය හැකි අතර ඊට මුහුණ දීමට ප්‍රමාණවත් ක්‍රම සහ විධි මෙරට තුළ ස්ථාපිතව තිබේ ද යන්න ගැටලුවකි. ‘ද පර්ල් ප්‍රොටෙක්ටර්ස්‘ ( The Pearl Protectors ) විසින් Maritime Adversities Around Sri Lanka( 1994-2021) නමින් 1994 සිට 2021 කාලය දක්වා කලාපීය හා ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශවල සිදුවූ සමුද්‍රීය විපත් පිළිබඳව අධ්‍යයන වාර්තාවක් 2021 මැයි මාසයේ දී නිකුත් කරන තිබුණි. එම වාර්තාවෙහි 1999 සිට ශ්‍රී ලංකාව අවට නැව් ගිලී යාම් නිසා සිදුවු හානි, ගොඩබිම ආසන්නයේ තිබිය දී සිදුවූ තෙල් කාන්දුවීම් සිද්ධි, එකිනෙක ගැටීම නිසා වූ තෙල් කාන්දුවීම්, ගිනි ගැනීමට ලක් වූ නෞකා වන MSC DANIELA, MOL CHARISMA, 2020 MT NEW DIAMOND ආදිය පිළිබඳවත් ඊට අමතරව වෙනත් විවිධ සිදුවීම් හේතුවෙන් විශාල ප්‍රමාණයෙන් වරායන් හා වෙරළ ආශ්‍රිත කලාපවල වූ සිදුවීම් පිළිබඳව ද සවිස්තරාත්මකව දක්වා තිබේ. වාර්තාවේ පරමාර්ථය වී තිබුණේ ද ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ සමුද්‍රීය විපත් වැලැක්වීම හා ඒවා සම්බන්ධ ගැටලු විසඳීම වෙනුවෙන් ඵලදායී ප්‍රතිපත්ති හා නිසි අධීක්ෂණයක් හා ප්‍රමාණවත් සම්පත් තිබීමේ වැදගත්කම ඉස්මතු කිරීමය.

වර්ෂයනෞකාවඉන්ධන/තෙල්/රසායන ජලයට එකතුවීම
1999MV MELIKSAH (තුර්කි,භාණ්ඩ නෞකාවකි)පොහොර මෙට්‍රික් ටොන් 16,500ක් සහ ඉන්ධන තෙල් මෙට්‍රික් ටොන් 200ක් ජලයට එකතු විය.
2007MV AMANAT SHAHමියන්මාරයේ සිට ඉන්දියාවට තේක්ක ප්‍රවාහනය කළ බංග්ලාදේශ නෞකාව) මෙට්‍රික් ටෙන් 25කට අධික තෙල් කාන්දුවීම
2009MT GRANBAරසායන නිෂ්පාදන සහිත තුර්කි නෞකාව සල්ෆියුරික් අම්ලය මෙට්‍රික් ටොන් 6250
2012THERMOPYLEA SIERRAතෙල් මෙට්‍රික් ටොන් 70ක් පමණ කාන්දු වීම.
2012SAIGON QUEENවියට්නාම භාණ්ඩ නෞකාවකි
2018MUTHA PIONEERඉන්දියානු නෞකාව හානි වාර්තා වී නැත
ශ්‍රී ලංකාව ආසන්නයේ නැව් ගිලී යෑම්./ The Pearl Protectors

ලංකාව සූදානම් ද?

මේ දත්ත අපට කියන්නේ නැව් සම්බන්ධ මෙවැනි ගැටලු වලට ලංකාව මුහුණදෙන පළමු අවස්ථාව මෙය නොවන බවය. ඒවා මෙතරම්ම විනාශකාරී නොවුණත් ලංකාවේ සාගර කලාපයට බලපෑම් එල්ල කළ සිදුවීම් ගණනාවක අත්දැකීම් අප සතුය. එහෙත් තවමත් අප ඊට සූදානම් ද යන ප්‍රශ්නය ලංකාව ඉදිරියේ තිබෙන්නේය. මෙවැනි සිදුවීම් තුළ ලංකාව වඩා අර්බුදකාරී තත්ත්වයට පත් වන්නේ එබැවිනි.

කොළඹ නැව් ගතකරන්නන්ගේ‌ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාල මේ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි. “මෙවැනි ප්‍රශ්න මතුවූ අවස්ථා වලදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සම්මුතීන් ගණනාවක් තියනවා. මේ සම්මුතීන් වලත් සමහර කොටස් වලට ලංකාව අත්සන් කර නැහැ. එවැනි තත්ත්වයක් මත වන්දි ලබා ගැනීමේ අවස්ථාවල යම් යම් ගැටලු මතු වීමත් සිදුවෙනවා.” එමෙන් ම ඔහු පැවසුවේ එක්සත් ජාතීන්ගේ‌ සංවිධානයට අනුයුක්ත ආයතනයක් වන ජාත්‍යන්තර සමුද්‍ර සංවිධානය(International Maritime Organization) යටතේ ඇති අන්තර්ජාතික ගිවිසුම් වලට අත්සන් කළ ද රටේ ස්වදේශීය නීති පද්ධතිය ද ඊට ගැලපෙන ආකාරයට සකස් කර ගත යුතු බවය. එහෙත් ලංකාවේ නීති පද්ධතිය ඊට අනුගත ලෙස සකස් කර‌ නොමැති බැවින් මෙවැනි ආපදා සිදුවූ අවස්ථාවන් හි දී ලංකාව ගැටලු වලට මුහුණපාන බවය.

“මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න අවශ්‍ය වන ප්‍රතිපත්තිමය රාමු,නීතිමය රාමු, ආයෝජන රාමු කිසිවක් අපේ රටේ පාලකයන් හා බලධාරීන් සකස් කර නැහැ. ඒ නිසා පිහිටීම ගැන අපි හැමදාම කතා කළත් වසර හතළිහක් තිස්සේ ලංකාව ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයකින් එහාට ගිහින් නැහැ.” රොහාන් මාසකෝරාල සඳහන් කළේය. ඔහු පවසන්නේ නාවික ක්ෂේත්‍රය යනු විශාල පරාසයක විහිදුන ක්ෂේත්‍රයක් බැවින් සිංගප්පූරුව, ඩුබායි වැනි රටවල මේවා සම්බන්ධ නීති සම්පාදන, රක්ෂණ, ගලවාගැනීම්, අලුත්වැඩියා කිරීම්, මූල්‍යමය කටයුතු ආදී සියල්ලම ඇතුළත් විශාල ජාලයක් සහිත බවය.

“මෙවැනි ගින්නක් එක් වරම ඇති වීමට කොහේ හෝ දෝෂ තිබිය යුතුයි. මෙවැනි කාන්දුවීමක් තිබෙන බව මෙතැනට එන තුරුම අපි දැනගෙන හිටියේ නැහැ. ඒ ගැන ආරංචි වූ වහාම අපි නැව ඒ ස්ථානයේම තිබිය දී පරීක්ෂාවක් සිදුකළ නිසා වරායට ගැටලුවක් නොවීමට කටයුතු කරන්න පුළුවන් වුණා. නමුත් මෙවැනි සිදුවීමක් වෙන්නේ කොහොමද කියන දේ අපටත් අනෙක් අයටත් ගැටලුවක්. ඒවාට පිළිතුරු පරීක්ෂණ තුළින් සොයා ගැනීමට හැම කෙනෙක්ම උත්සාහ කරනවා.” ඒ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක ය. මේ සිදුවීමෙන් බොහෝ පාඩම් මෙරටට ඉගෙනගැනීමට හැකි වූ බවත්, ලංකාව වැඩි දියුණු කරගත යුතු බොහෝ කාරණා ඇති බැවින් ගලවා ගැනීමේ සමාගම් ආදිය ද මෙරට තුළ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා සිදුවන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය. ශ්‍රී ලංකාව මීට පෙර ද සමුද්‍ර ආපදාවන්ට මුහුණදුන් රටක් වුවත් X-PRESS PEARL නෞකාව ලංකා මුහුදු සීමාවේ ගිලී යාමට සැරසෙන්නේ දැවැන්ත පාරිසරික, සමාජ හා ආර්ථික මෙන්ම නොවිසඳුණු තවත් ගැටලු රාශියක් මෙරට හමුවේ ඉතිරි කර ය. එමෙන්ම මින් නැවත නැවතත් පැහැදිලි වන ප්‍රධාන කාරණයක් වන්නේ ප්‍රධාන වෙළඳ නාවික ගමන් මාර්ගයක පිහිටි දූපතක් වන ශ්‍රී ලංකාව නිරන්තර උපද්‍රවයන්ට මුහුණ දීමේ අවධානමක පැවැතියත් ඒවායින් ආරක්ෂා වීම සම්බන්ධයෙන් නිසි සූදානමක නොමැති බවය. X-PRESS PEARL නෞකාව ගිලෙමින් තිබෙන්නේ ලංකාවට බොහෝ පාඩම් කියා දෙමිනි. එබැවින් අනාගත උපද්‍රවවලින් හෝ රට ගලවා ගැනීමේ දැවැන්ත වගකීමක් දැන් මෙරට සියලු බලධාරීන් මෙන්ම පුරවැසියන් හමුවේද පවතින්නේය.