දිනකර චණ්ඩ විය සිහිලැස නැත දැනුණේ
ඵලබර වෘක්ෂයන් සැඟවී ඇත මෙදිනේ
රසබර කුරුළු කිචි බිචි නද නැත ඇසුණේ
මනහර වනය සොහොනක් මෙනි අද පෙනුණේ

ඉසුරු සොයා වන වනසා මව් දෙරණේ
ඉඳුරු දෙවිඳු නියඟය හා වෙති සටනේ
රුසිරු සැපත් අහිමි ය නැත මෙන් පොරණේ
මිතුරු කාසි පමණි ය මිහි මව සැලුණේ

සිහිනය එය ද ?  වනපෙත් මුදලට යට ද?
බොරදිය පිපස නිවනා යුරු මනහර ද?
සූරිය කිරණ දවනා ගත සිහිලැල් ද?
සැඩදිය සැප ද ? මිහිමව් සුව නොදැනුණි ද?

කෙළිලොල් කෙළි පාන රැළ මුව ගෝන
තුරුවැල් මත දඟ පා සියොතුන් රෑන
මනකල් තුටු රැඟුම් හා පොව්වන් පාන
ලේ වැල් වගුරවා කිම මස් කර ගේන ?

මොරදෙයි තුරු ලතා කැති පිහි පොරෝ දුටු
ඇදවෙයි සිරුරු එක් එක් අත ගසා කටු
සදවයි ජීවි සිරුරෙන් ඇඳ මේස පුටු
ගොරවයි මිහිමව, ” මම පළිගනිමි හිටු”

සැඩකර විය මිහි නෙතු කඳුළින් පිරුණේ
සමුදුර රුදුරු විය රළ අහසට නැඟුණේ
අරතර කඳු දෙදරා පොළොවට වැටුණේ
මහමෙර වේදනාවෙන් සතරට පැලුණේ

වනයෙන් ගෙනා ඵලවැල අල සුව ගෙනදේ
බැතියෙන් නෙලූ වනමල් කුසුමන් සුවඳේ
දැකුමෙන් සතුන් සිව්පාවුන් නෙත් පැහැදේ
නිතියෙන් සුපිරිසිඳු වායුව ලොව විහිදේ

වේලුණු දර ඉපල් ගත්තට කමක් නැතේ
පීදුණු ඵලවැල ඔබටයි මගේ පුතේ
පාරනු එපා වනසත් දිවි ඔබේ අතේ
වාවනු නොහැක වනලිය සුරකින්න පුතේ

අයෝධ්‍යා කිරිඇල්ල විසිනි