• වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින අලි ඇතුන් 14 දෙනෙකු 2015 දී අත්අඩංගුවට ගත් බව කියන ජාවාරම්කරුවන් වෙත ආපසු ලබා දීමට ශ්‍රී ලංකා අධිකරණයක් ගෙන ඇති ක්‍රියාමාර්ගය සංරක්ෂණවේදීන් විසින් දැඩි ලෙස විවේචනය කර ඇත.
  • එම අලි සංස්කෘතික උත්සව, සංචාරක ආකර්ෂණ ස්ථාන සහ තත්ත්ව සංකේත ලෙස පවා භාවිතා කිරීම සඳහා වනයෙන් පැහැරගෙන යාම පිළිබඳ කරන ලද පුළුල් විමර්ශනයකින් අනතුරුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජසන්තක කරන ලද අලි ඇතුන් සංඛ්‍යාව 38කි.
  • පසුගිය සැප්තැම්බරයේ උසාවිය විසින් නියෝග කරන ලද මෙම නිදහස් කිරීම, “සොරකම් විධිමත් කිරීමේ පියවරක්” ලෙස විවේචනයට ලක්ව ඇත, “අලි මාෆියාවේ” බලපෑම ආන්ඩුවේ සහ දේශපාලනයේ ඉහලම නිලයන් පුරා පැතිරී ඇති බවට සංරක්ෂණවේදීන් චෝදනා කරයි.
  • අද වන විට ශ්‍රී ලංකාව තුළ අලි ඇතුන් 210ක් වහල්භාවයේ සිටී: 102ක් රජයේ පහසුකම් යටතේ වන අතර ඉතිරිය ඉහළ පෙළේ පුද්ගලයන් සහ බෞද්ධ පූජකවරුන් ඇතුළු පෞද්ගලික භාරකරුවන් විසින් රඳවාගෙන සිටියි.

ශ්‍රී ලංකාවේ පරිසර ක්‍රියාකාරීන් විසින් වඳවීමේ තර්ජනයට ලක්ව සිටින අලි ඇතුන් නීතිවිරෝධී ලෙස අල්ලා ගැනීම සහ වෙළඳාම් කිරීමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින්ගේ භාරයට නැවත මුදා හැරීමේ අධිකරණ නියෝගය දැඩි ලෙස විවේචනය කර ඇත.

වනයේ උපදින අලි පැටවුන් ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද ජාවාරමක් අනාවරණය කරගත් විමර්ශනයකින් අනතුරුව 2015 වසරේදී ශ්‍රී ලංකාවේ වහල් අලි ඇතුන් (Elephas maximus maximus) 38ක් රජයේ භාරයට ගන්නා ලදී. කෙසේ වෙතත්, මෙම වසරේ සැප්තැම්බර් 6වන දින, නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව, අධිකරණය විසින් අලි ඇතුන්ගෙන් 14 දෙනෙකු නැවත ඔවුන්ගේ භාරකරුවන් වෙත මුදා හරින ලෙස නියෝග කර ඇත. ජාවාරම් කිරීමේ සැකයන් මත වසර හයකට පෙර මෙම සතුන් රාජසන්තක කරන ලද අතර එහි  විමර්ශන කටයුතු තවමත් සිදු වෙමින් පවතී.

“නීතිවිරෝධී ලෙස අලි පැටවුන් වනයෙන් අල්ලා ගැනීම ශ්‍රී ලංකාවේ සිදුවන භයානකම වනජීවී අපරාධය වන අතර, මෙම කටයුතු සිදුවෙමින් පවතින ආකාරය පිළිබඳව අපි අතිශයින් කනස්සල්ලට පත්ව සිටිමු” යැයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පැවසීය. අලි ඇතුන් මුදා හැරීම සම්බන්ධයෙන් බොහෝ අපැහැදිලි තත්වයක් පවතින බවත් ඔහු පැවසීය.

ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන සංවිධානයක් වන පාරිසරික යුක්ති කේන්ද්‍රය (CEJ) විසින් දැන් නඩු පවරා ඇති අධිකරණ නියෝගයෙන් පසු දින හිමිකරුවන් අලි ඇතුන් සන්තකයේ තබා ගත්හ.

මෑත අධ්‍යයනයකින් ශ්‍රී ලංකාවේ අලි පැහැරගැනීම් 55 ක් හඳුනාගෙන ඇත. 2009 වසරේ දකුණු බළන්ගොඩ නගරයේ දී හමුවූ මෙම පැටවා දින කිහිපයකට පසු මිය ගියේය. ඡායාරූපය: සජීව චාමිකර

සොරකම විධිමත් කිරීම

1980 සිට වනයෙන් සතුන් රැගෙන යාම නීතිවිරෝධී වූ නමුත් මෙම ගැටලුව පුළුල්ව ව්‍යාප්ත වීමටත් නවතම  වර්ධනයටත් හේතුව ලෙස පරිසර ක්‍රියාකාරීන් දකින්නේ ශ්‍රී ලංකාවේ වන අලි ඇතිකිරීමට රැගෙනයාම සම්බන්ධව බලයේ සිටින අයගේ ක්‍රියාකලාපන් බවයි.

අලි ඇතුන් නැවත අයිතිකරුවන් වෙත භාර දෙන ලෙස නීතිපතිවරයාගේ ඉල්ලීම අගෝස්තු 19 වන දින රජයේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් පසුව වහල් අලි තබා ගැනීමේ අවශ්‍යතා ඵලදායී ලෙස ලිහිල් කරන ලදී. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත (FFPO) යටතේ අලියෙකු ළඟ තබා ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව (DWC) විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් අවශ්‍ය වේ. නමුත් බලපත්‍රයක් නොමැතිව රඳවා තබා ගන්නා අලි ඇතුන් මෙම ලේඛන නොමැතිව ලියාපදිංචි කිරීමට අවසර දෙන ප්‍රතිපාදන ගැසට් පත්‍රය මගින් හඳුන්වා දෙන ලදී.

“අධිකරණ නඩුවක් විභාග වෙමින් පවතින අතරතුර එම අලි ඇතුන් නිසි ලෙස ලියාපදිංචි නොකර ලියාපදිංචි කිරීමට රෙගුලාසි ගෙන ඒම සොරකම විධිමත් කිරීමේ පියවරක්” යැයි ගුණවර්ධන මොංගාබේ වෙත අදහස් දක්වමින් පැවසීය.

මෙහි දැක්වෙන්නේ සුජීවා 2012 දීය. ඇයට වයස අවුරුදු 3 දී පමණ වනයෙන් අල්ලා ගෙන ඇත. ඇයට දැන් වයස අවුරුදු 15 ක් වන අතර ඇය මෑතකදී පැටවෙකු බිහි කළාය. ඡායාරූපය: සජීව චාමිකර 

බර අදින සතුන් 

ශ්‍රී ලංකාවේ, වහල් අලි ඇතුන් සියවස් ගණනාවක් තිස්සේ සංස්කෘතික උත්සවවල අනිවාර්ය අංගයක් වී ඇති අතර, වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයන් මත නරඹන්නන් ගමන් කරන අලි සෆාරිද ඇතුළුව අද ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක්ද ලබාඇත.

1980 දක්වා රජය විසින් අලි ඇතුන් වනයෙන් අල්ලා ගැනීමට අවසර ලබා දුන්නේය. එතැන් සිට, පින්නවල අලි අනාථාගාරය (PEO) සාර්ථක වහල් අභිජනන වැඩසටහනක් ද ක්‍රියාත්මක කරයි, වහල් අලි සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලුමේ ප්‍රධාන මූලාශ්‍රය බවට පත්ව ඇත.

අද වන විට ශ්‍රී ලංකාවේ අලි ඇතුන් 210 ක් වහල්භාවයේ සිටී. මෙයින් 102ක් රජය සතු පහසුකම්වල පවතින අතර, ඉතිරිය ඉහළ පෙළේ පුද්ගලයන් සහ බෞද්ධ පූජකවරුන් ඇතුළු පෞද්ගලික භාරකරුවන් විසින් තබාගෙන ඇත.

පුද්ගලික අයිතිකරුවන් සාමාන්‍යයෙන් අලි ඇතුන් ළඟ තබා ගන්නේ හේතු දෙකෙන් එකක් සඳහා ය: රැකියාව සඳහා හෝ තත්ත්‍වය සඳහා. පෙර කාණ්ඩය යටතේ ඇති අලි ඇතුන් සංස්කෘතික උත්සව, සංචාරක ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීමට පුහුණු කර ඇති අතර, දැව කැපීමේ කටයුතු සඳහා පවා යොදා ගනී. අවසාන කාණ්ඩයේ අය කීර්තියේ සහ පන්තියේ සංකේතයක් ලෙස තබා ඇත. මෙම අවස්ථා දෙකේදීම, වහල් අලි ඇතුන් සඳහා ඇති ඉල්ලුම පැහැදිලිවම පවතින අතර, අලි පැටවුන් වනයෙන් පැහැර ගැනීමට හේතු වන්නේ මෙය බව සංරක්ෂණවාදීන් පවසයි.

මෙම සිතියම මගින් 2015 වසරේදී නීතිවිරෝධී ලෙස ජාවාරම්කරුවන් විසින් වනයෙන් අල්ලාගෙන ඇති බවට අනාවරණය වී අල්ලා ගත් අලි ඇතුන් 38 දෙනෙකු රාජසන්තක කරන ලද ස්ථාන පෙන්වයි. සිතියම: සුපුන් ලහිරු ප්‍රකාශ්.

අලි පැටව් පිලිබඳ හදිසි තීරණ

2008 වසරෙන් පසු විවිධ සංස්කෘතික උත්සවවලට අලි පැටවුන් ගෙන ඒමට පටන් ගැනීමත් සමඟ සංවිධානාත්මක අලි ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ලකුණු පහළ විය. ශ්‍රී ලංකාවේ පුද්ගලිකව පවත්වාගෙන ගිය අලි ඇතුන් අතර අභිජනන වැඩසටහනක් නොතිබූ අතර, මෙම ගහනය තුළ අලි උපත් පිළිබඳ වාර්තා නොතිබූ බැවින්, පරිසරවේදීන් යමක් වැරදි යැයි සැක කිරීමට පටන් ගත්හ.

ඒ සමඟම නීතිවිරෝධී ලෙස අලි පැටවුන් ළඟ තබාගැනීමේ හුදකලා සිදුවීම් රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන්නට විය. සජීව චාමිකර ඇතුළු පරිසරවේදීන් පිරිසක් විසින් වසරක් පුරා සිදුකළ රහසිගත විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස 2013 වසරේ නීතිවිරෝධී ලෙස වනයෙන් රැගෙන ගිය බවට සැක කෙරෙන අලි පැටවුන් 23 දෙනෙකුගේ ලැයිස්තුවක් ප්‍රසිද්ධියට පත් විය. 2008 සිට 2018 දක්වා කාලය විශ්ලේෂණය කරමින් කළ අධ්‍යයනයකින් වනයෙන් අලි පැටවුන් පැහැරගත් අවස්ථා 55ක් අනාවරණය විය.

“නිසි පහසුකම් යටතේ වුවද, අනාථ අලි පැටවුන්ගෙන් 40% කට ආසන්න ප්‍රමාණයක් මිය යන බැවින්, නීති විරෝධී ලෙස අලි ඇතුන් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේදී, අවම පහසුකම් නිසා මරණ අනුපාතිකය බෙහෙවින් වැඩි වනු ඇත, එයින් පෙන්නුම් කරන්නේ මෙම අඛණ්ඩ වනජීවී අපරාධයට ගොදුරු වූවන් බොහෝ සෙයින් වැඩි බවයි.” අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන සුපුන් ලහිරු ප්‍රකාශ් පැවසීය.

අලි රංචුව පැටවුන්ව ආරක්ෂා කරයි. විශේෂයෙන්ම අලි අම්මා පැටවුන්ව ඉතා ආරක්ෂා කරයි. මෙයින් ඇඟවෙන්නේ අලි පැටවා ලබා ගැනීම සඳහා ජාවාරම්කරුවන් අලි මව මරා දැමීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි, චාමිකර මොංගාබේ වෙත පැවසීය.

නමුත් එවැනි හමුවීමකින් පැටවෙකු දිවි ගලවා ගත්තද, එය තවමත් අනතුරෙන් මිදී නොමැත. උඩවලව අලි සංක්‍රාන්ති නිවාසය (ETH) අනාථ පැටවුන් භාරගෙන රැකබලා ගනිමින්, පුනරුත්ථාපනය කර අවසානයේ නැවත වනයට මුදා හැරීම සිදු කරයි. මුදා හැරීමෙන් පසු, ඔවුන් තවමත් ජාවාරම්කරුවන්ට ගොදුරු විය හැකි අතර, පර්යේෂකයන් දැන් මෙම අලි පැහැරගැනීම් සඳහා ඉලක්ක කරන්නේද යන්න අධ්‍යයනය කරමින් සිටී.

හිලෑ අලි ඇතුන් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උත්සවවල අනිවාර්ය අංගයක් වන අතර ධාතු සහිත කරඬු රැගෙන යාම සඳහා බෞද්ධ ආගමික පෙරහැරවල නිතර භාවිතා කරනු ලැබේ. ඡායාරූපය: දිල්සිරි වැලිකඩ 

‘අලි මාෆියාව’

දේශපාලනඥයන්, ඉහළ නිලධාරීන්, වනජීවී නිලධාරීන් මෙන්ම පුහුණු පශු වෛද්‍යවරුන් පවා අලි ජාවාරමට සම්බන්ධ බවත්, ඒ සඳහා ඉහළ නායකයන්ගේ ආශිර්වාදය ලැබෙන බවත් පරිසරවේදී රුක්ෂාන් ජයවර්ධන පවසයි.

අල්ලාගෙන සිටින සියලුම අලි ඇතුන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ හි ලියාපදිංචි විය යුතු බැවින් අලි ඇතුන් පිලිබඳ නාමලේඛනය ජාවාරම විමර්ශනය කිරීමේ ආරම්භක ස්ථානය වේ. නමුත් 2015 වසරේදී මෙම අලි නාම ලේඛනය සති කිහිපයක් අතුරුදහන් විය. එය නැවත හමු වන විට, සමහර ඇතුළත් කිරීම් විනාශ කර හෝ සංශෝධනය කර තිබුණි. මෙය “අලි මාෆියාව” විසින් සිදු කරන ලද බලපෑමක් බවට සාක්ෂික් බව, සංරක්ෂණවේදීන් පවසති. “මෙයට අවස්ථාවක් දෙනු ලැබුවොත් නැවතත් මේදේම සිදු කරනවා” යැයි ජයවර්ධන කීවේය.

අලි ඇතුන් 38 රජයට පවරා ගැනීමට තුඩු දුන් 2015 විමර්ශනයෙන් පසුව, අලි ඇතුන් නැවත ඔවුන්ගේ භාරකරුවන් වෙත මුදා හැරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සැලකිය යුතු බලපෑමක් එල්ල විය.

2016 වසරේ කෙටි කාලයක් සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ සුමිත් පිලපිටිය පැවසුවේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයෙන් සතුන් නිදහස් කිරීම සඳහා උසාවි නියෝගයක් ඉල්ලා සිටීමට රටේ ඉහළම නායකයින්ට අවශ්‍ය වූ බවයි.

“වනජීවී සංරක්ෂණය සඳහා කැප වූ ජාතික නියෝජිතායතනයේ ප්‍රධානියා ලෙස, විවිධ සංස්කෘතික උත්සවවලදී ප්‍රමාණවත් අලි ඇතුන් සිටීම සහතික කිරීම මගේ වගකීමක් නොවේ,” ඔහු මොන්ගාබේ වෙත පැවසීය. “මගේ කාර්යය වූයේ වන සතුන් සංරක්ෂණය කිරීම සහ අලි පැටවුන් නීති විරෝධී ලෙස වනයෙන් අල්ලා නොගැනීම සහතික කිරීමයි. යෝජිත මාර්ගය අනුගමනය කිරීම මම තරයේ ප්‍රතික්ෂේප කළෙමි.” ඔහු තවදුරත් පැවසීය.

දැනට ළාබාල වයසේ පසුවන මෙම අලි ඇතුන් වසර හයකට වැඩි කාලයක් හුදකලාවේ ජීවත් වී ඇති අතර, අවම මිනිස් මැදිහත්වීමකින් සාර්ථකව නැවත වනයට යැවීමේ අවස්ථාව වැඩි දියුණු කර ඇත. ජාවාරම්කරුවන්ට ඔවුන්ගේ මාර්ගය තිබේ නම් සහ අලි ඇතුන් නැවත වහල්භාවයට ගෙන ගියහොත් එහි ප්‍රතිඵලය විනාශකාරී වනු ඇති බව Rally for Animal Rights & Environment (RARE) සංවිධානයේ පංචාලි පනාපිටිය පවසයි. හුදකලාව තුළ ඔවුන් “වන අලි”ලෙස වැඩී ඇති බැවින්, ඔවුන්ව නැවත හිලෑ තත්ත්වයට පත් කිරීම ඔවුන්ගේ ආත්මය තලා දැමීමක් සහ ඔවුන්ව “නැවත පුහුණු කිරීමට” ම්ලේච්ඡ උපක්‍රම භාවිතා කිරීමට අවශ්‍ය වනු ඇති බව ඇය පැවසුවාය.

Malaka Rodrigo විසින් Mongabay වෙබ් අඩවිය වෙත ලියන ලද Outcry in Sri Lanka as suspected elephant kidnappers get to keep the animals නම් ලිපියේ සිංහල පරිවර්තනයකි

This environmental investigation story was produced as a part of Stories from the Margins initiative supported by the  Earth Journalism Network (EJN) and Internews.