තරුෂි පිටිගල විසිනි.

වන අලි- මිනිස් ගැටුම ශ්‍රී ලාංකීය සමාජය තුළ නිරතුරුවම සාකච්ඡාවට බඳුන්වන කරුණකි. වන අලින් ගම් වැදීම, දේපල හා මිනිස් ජීවිත හානි කිරීම පිළිබඳව මෙන්ම වන අලි මරණ පිළිබඳවත් මාධ්‍ය මගින් නිරන්තරයෙන් වාර්තා කරනු ලබයි. වන අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩිපුරම වන අලින් මරණ වාර්තා වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි පසුගිය දා මාධ්‍ය මගින් මෙන්ම පර්යේෂණ වාර්තා මගින් ද වාර්තා විය.

වනජීවී දෙපාර්තමේන්තුවේ සහ පර්යේෂණ වාර්තාවන්ට අනුව පසුගිය දශකය ගත් කල වැඩිම අලි මරණ වාර්තා වූයේ 2019 වර්ෂයේ දී වන අතර එම සංඛ්‍යාව 407කි. එම වර්ෂයේම හානි වූ මිනිස් ජිවිත සංඛ්‍යාව 122ක් වේ. එම වාර්තාවන්ට අනුව 2020 වර්ෂයේදී අලි 322ක් සහ මිනිසුන් 113ක් මිය ගොස් තිබේ.

වසරක් පාසා අලි මිනිස් ගැටුම හේතුවෙන් සිදුවන ජීවිත හානි, දේපළ හානි සහ අලි මරණ සංඛ්‍යාවන් පිළිබඳ මෙම දත්ත සැලකීමේදී මෙම ගැටලුව කොතෙක් දුරට උග්‍ර වී ඇතිදැයි දැන ගැනීමට හැකි බවත් මෙම ගැටලුව සුළු කොට තැකිය හැකි ගැටලුවක් නොවන බවත් වනජීවී විද්‍යාඥ, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කාලිංග පද්මලාල් මහතා පැවසීය.

ජීවීන් විශේෂ දෙකක් හෝ දෙකකට වැඩි ගණනක් අතර ආහාර, වාසස්ථාන, ජලය සහ භූමිය වැනි ජීව විද්‍යාත්මක සහ පරිසර විද්‍යාත්මක කාරණා කෙරෙහි ඇතිවන ඍණාත්මක අන්තර් ක්‍රියා හේතුවෙන් මෙම ඝට්ඨනය ඇතිවන බවත් එය දීර්ඝ කාලීනව වර්ධනය හා ව්‍යාප්ත වීම වන සත්ත්ව හා මිනිස් ගැටුම් නිර්මාණය වීමට හේතුවන බවත් ආචාර්ය පද්මලාල් මහතා පැවසීය.

පරිණාමයේදී අපි දඩයම් යුගය පහු කරමින් වගා කිරීම හා එක්රැස් කිරීමට පෙළඹුනු පසුව මෙම ගැටළු ආරම්භ වූ බව ඔහුගේ අදහසයි.

“සත්වයින්ගේ වාසස්ථාන හා ඔවුන්ට අයත් භූමින් අල්ලාගැනීම, කැලෑ ප්‍රදේශ එළි කිරීම, කැලෑ ප්‍රදේශ හා සත්ව වාසස්ථානයන්හි ගුණාත්මක බව අඩු කිරීම, කැලෑ ප්‍රදේශ ඛණ්ඩනය, කසල එක් රැස් කිරීම් වැනි රජයේ සහ මහජනතාවගේ ක්‍රියා හේතුවෙන් මෙන්ම දේශගුණික විපර්යාසත් මෙම සතුන්ගේ වාසස්ථාන අහිමි වීමට බලපා තිබෙනවා” යැයි ඔහු පැවසීය. මිනිසාගේ භූමි පරිහරණ රටා සතුන්ට ආකර්ෂණීය මෙන්ම විනාශකාරී බවත් සියලුම සැලසුම් සහගත සහ සැලසුම් නොකරන ලද සංවර්ධන ව්‍යාපෘතීන් හේතුවෙන් මෙම ගැටළුව නිර්මාණය වීම සිදුවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අලි රංචුවක් කැකිරාව ආසන්න මාර්ගය හරහා ගමන් කරන ආකාරය. ඡායාරූපය: Wikimedia

දශක ගණනාවක් තිස්සේ සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින වන අලි-මිනිස් ගැටුම ප්‍රධාන කොටගත් වන සත්ත්ව මිනිස් ගැටුම හේතුවෙන්, එහි ප්‍රධාන පාර්ශවකරුවන් වන මිනිසා හා වනජීවීන් මුහුණ පාමින් සිටින ගැටලු සහ එම තත්ත්වය සඳහා සුදුසු විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථාන‌ය විසින් සංවිධානය කරන ලද වනජීවි-මිනිස් ගැටුම: ගැටලු විසඳුම් සහ කළමනාකරණය යන තේමාව යටතේ පැවැත්වූ හරිත සංවාදයේදී ආචාර්යය පද්මලාල් විසින් මෙම අදහස් ඉදිරිපත් කරන ලදී.

වර්තමාන තත්ත්වය

ලංකාවේ පළාත් අටක් තුළ දිස්ත්‍රික් 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ එකසිය 131 පුරා මෙම ගැටලුව ව්‍යාප්තව පවතී. මෙම ගැටලුව සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වැඩි ප්‍රමණයක් පිහිටා තිබෙන්නේ වියළි කලාපය තුළයි. වනජීවී දෙපාර්තමේන්තුව විසින් පරිපාලන සහ කළමනාකරණ කටයුතු සඳහා ශ්‍රී ලංකාව වනජීවී කලාප 10කට බෙදා දක්වා තිබේ. එම කලාප දහයෙන් ඌව, නැගෙනහිර, මධ්‍යම, පොලොන්නරු සහ වයඹ වනජීවී කලාපයන් තුල මෙම ගැටළුව උග්‍ර ලෙස දක්නට ලැබේ.

වන අලි හා මිනිස් ගැටුම වැඩිපුරම වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාවේ උතුරු මැද සහ නැගෙනහිර  පළාත තුළ වන අතර අඩුම වාර්තා වීම් ඇත්තේ සබරගමුව පළාත තුළයි. දිස්ත්‍රික් ලෙස සැලකීමේදී වන අලි මිනිස් ගැටුම් පිළිබඳ සිද්ධීන් වැඩිපුරම වාර්තාව ඇත්තේ අනුරාධපුර, පොළොන්නරු හා අම්පාර දිස්ත්‍රික්ක වලිනි.

අලි – මිනිස් ගැටුම් පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ. සිතියම: සුපුන් ලහිරු ප්‍රකාශ්

සංඛ්‍යා ලේඛන වාර්තාවන්ට අනුව, 2010-2019 වර්ෂය දක්වා අලි මිනිස් ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවී ඇති වාර්ෂික වන අලි මරණ අනුපාතය ඉතා සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර එම අගය 263කි. 1992 සිට 2001 දක්වා එම අගය 137ක්ද 2005 සිට 2010 දක්වා වාර්ෂික වන අලි මරණ අනුපාතය 200ක්ද වේ. 

ඉන්දියාවේ එම අගය 124ට අසන්න වන අතර කෙන්යාවේ එම අගය 5-120ත් අතර වේ. සුපුන් ළහිරු ප්‍රකාශ්, ඒ ඩබ්ලිව් විජේරත්න සහ ආචාර්යය පෘථිවිරාජ් ප්‍රනන්දු විසින් පසුගිය වසරේ සිදු කරන ලද Human-Elephant Conflict in Sri Lanka: Patterns and Extent නම් විද්‍යාත්මක පර්යේෂණ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ වන අලි හා මිනිස් ගැටුම් හේතුවෙන් ලෝකයේ වන අලි වැඩි ප්‍රමණයක් මියයෑමේ සිද්ධීන් වාර්තා වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි.

“ලෝකයේ ආසියානු අලියා ජීවත් වන රටවල් 13ක් ඇති අතර අප්‍රිකානු රටවල අප්‍රිකානු අලියා ජීවත් වෙනවා. මේ රටවල් සියල්ලන්ගෙන්ම වන අලි හා මිනිස් ගැටුම් හේතුවෙන් ලෝකයේ වන අලි වැඩි ප්‍රමණයක් මියයෑමේ සිද්ධීන් වාර්තා වන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. අලි – මිනිස් ගැටුම් හේතුවෙන් දෙවන වැඩිම මිනිස් මරණ සිදුවන රට වන්නේත් ශ්‍රී ලංකාවයි” Human-Elephant Conflict in Sri Lanka: Patterns and Extent පර්යේෂණ පත්‍රිකාවේ කතෘ, පරිසරවේදී සුපුන් ළහිරු ප්‍රකාශ් පැවසුවේය.  

වාර්ෂික අලි මරණ. සටහන: සුපුන් ලහිරු ප්‍රකාශ්

2010 – 2019 කාලසීමාව තුල මෙරට වාර්තා වූ අලි – මිනිස් ගැටුම් ආශ්‍රයෙන් සිදු මෙම අධ්‍යනය සිදු කොට ඇත. එම අධ්‍යනයට අනුව 1992- 2001 කාලසීමාව සමඟ සැසඳීමේදී අලි – මිනිස් ගැටුම් හේතුවෙන් සිදු වූ මිනිස් මරණ සංඛ්‍යාව 50%කින් වර්ධනය වී ඇති අතර 2005- 2010 කාලසීමාව සමඟ සැසඳීමේදී එම අගය 14% වර්ධනය වී ඇත. මේ අතරින් වාර්ෂිකව මරණයට පත් වී ඇති වැඩිම පිරිස පිරිමි පුද්ගලයින් වේ.

1992- 2001 කාලසීමාව සමඟ සැසඳීමේදී අලි – මිනිස් ගැටුම් හේතුවෙන් සිදු වූ අලි මරණ ප්‍රමාණය 92%කින් වර්ධනය වී ඇති අතර 2005- 2010 කාලසීමාව සමඟ සැසදීමේදී එය 31%කින් වර්ධනය වී ඇත. 

වාර්ෂික මිනිස් මරණ. සටහන: සුපුන් ලහිරු ප්‍රකාශ්

ඉන්දියාවේ අලි – මිනිස් ගැටුම් හේතුවෙන් සිදුවන මිනිස් මරණ ප්‍රමාණය ලංකාවට වඩා වැඩි බවත් ඉන්දියාවේ මෙම ගැටළුව හේතුවෙන් වැඩිපුර වාර්තා වී ඇත්තේ මිනිස් මරණ වන අතර ලංකාවේ වැඩිපුර වාර්තා වන්නේ අලි මරණ බවත් ප්‍රකාශ් විසින් පැවසුවේය.

“මෙම ගැටුම් තත්වය හේතුවෙන් මිනිසාගේ ජිවිත හා දේපළ හානි වීම් වලට අමතරව මෙම ගැටලුවට මුහුණ දෙන ජනයාගේ මානසික සෞඛ්‍ය කෙරෙහිද විශාල බලපෑමක් එල්ල වෙනවා. විශේෂයෙන්ම කාන්තාවන් හා කුඩා දරුවන් මෙම ගැටලුව හේතුවෙන් මානසික පීඩාවන්ට ලක් වෙනවා.” යැයි ආචාර්යය පද්මලාල් පැවසුවේය.

මේ අතරම වෙඩි තැබීම්, හක්ක පටස්, විදුලි සැර වැදීම් සහ වස දීම හේතුවෙන් අලි මිය යෑම සහ අලි පැටවුන් අනාථ වීම සිදුවනු ලබයි.  

හක්ක පටස් යනු ඉතා භයානක හා හිංසාකාරී අන්දමේ අමානුෂික ක්‍රියාවක් බවත් වගා බිම් වෙත පැමිණෙන වන අලි මරා දැමීම සඳහා වගා බිම්හි තබා ඇති හක්ක පටස් අලින්ගේ මුඛය තුලදී පිපිරී ඔවුන්ට ආහාර ගැනීමට හා ජලය පානයට නොහැකි වීමෙන්ද තුවාල වේදනාවද සමග දැඩි ලෙස දුක් විඳ මිය යනු ලබන බවත් ප්‍රකාශ් පැවසුවේය. මෙම හිංසාකාරී හක්ක පටස් යනු පුපුරන ද්‍රව්‍ය බැවින් එසේ නිත්‍යානුකුල නොවන පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගන්නන් හට නීතිය ක්‍රියාත්මක කල යුතු බව ඔහු වැඩිදුටරත් අදහස් දක්වමින් පැවසුවේය.

ගැටලුව කළමනාකරණය

අලි – මිනිස් ගැටුම කළමනාකරණය සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් ගැටුම් අවම කිරීමේ ව්‍යාපෘතීන් හා ප්‍රතිපත්තීන් රැසක් ක්‍රියාත්මක කොට ඇත. විදුලි වැට ඉදිකිරීම මේ අතරින් ප්‍රධාන තැනක් ගනි. 2010 – 2018 කාල සීමාව තුල කිලෝමීටර් 2402 ක දුර ප්‍රමාණයක නව විදුලි වැටවල් ඉදිකොට ඇත. මීට අමතරව ගම් වෙත පැමිණෙන වන අලි පලවා හැරීමේ කටයුතුද වන ජීවී දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි. වන අලි පලවා හැරීම්, අලි වෙඩි, වන්දි ගෙවිම් සහ වන අලි ප්‍රතිස්ථාපනය යන ක්‍රම මඟින් අලි – මිනිස් ගැටුම කළමනාකරණය සඳහා වන ජීවි දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව විශාල පිරිවැයක් දරනු ලබයි. නමුත් වසර 60කට ආසන්න කාලයක සිට අලි – මිනිස් ගැටුමට විසඳුම් සොයමින් පවති නමුත් තවමත් එහි පැහැදිලි ප්‍රගතියක් දක්නට නොමැත.

DWC විසින් අලි – මිනිස් ගැටුම් අවම කිරීමේ ක්‍රියාකාරකම් සඳහා වාර්ෂිකව (ඇ.ඩො.වලින්) වියදම් කරන අරමුදල්. සටහන: සුපුන් ලහිරු ප්‍රකාශ්

“2014 වර්ෂයේදී මෙම ගැටලුව කළමනාකරණය සඳහා DWC මගින් ඉතා ප්‍රගතිශීලි හා සාර්ථක සැලැස්මක් සැලසුම් කල අතර එම සැලැස්ම කැබිනට් අනුමැතියද ලැබූ සැලැස්මක් වුවා. ක්ෂේත්‍රයේ විශේෂඥයන් අධ්‍යනය කිරීමේදී එම සැලැස්ම සාර්ථක එකක් බව වැටහුන නමුත් එම ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමේදී දෙපාර්තමේන්තුවට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවුණා” යයි ආචාර්යය පද්මලාල් මහතා ප්‍රකාශ කළේය.

ආරක්‍ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශ කොට නැති වනාන්තර හෙවත් වෙනත් රජයේ වනාන්තර සඳහා නීතිමය රැකවරණයක්ව පැවති 2001/5 චක්‍රලේඛය 2020 වර්ෂයේදී අහෝසි කිරීමත් සමග මෙම ගැටලුව කළමනාකරණය කිරීම තවත් අපහසු වී ඇති බව ඔහුගේ අදහසයි. මීට අමතරව පැහැදිලි නිර්නායකයන්ගෙන් තොරව ගනු ලබන දේශපාලනික තීන්දු මෙම ගැටලුව කෙරෙහි බලපා ඇති බවත් දේශපාලනික බලපෑම් හේතුවෙන් දෙපාර්තමේන්තු නිලධාරීන් ඉතා කනස්සල්ලට පත් ව ඇති බවත් ඔහු විසින් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

අලි – මිනිස් ගැටුම් අවම කිරීමට ජාතික ක්‍රියාකාරී සැලසුමක් සැකසීම සඳහා 2020 වර්ෂයේ ජුනි මස කමිටුවක් රැස් කළ අතර එයට විද්‍යාඥයන්, ක්ෂේත්‍රයේ විශේෂඥයන්, විශ්ව විද්‍යාල ආචාර්යයවරුන්, වනජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු දෙපාර්තමේන්තු වැනි අලි – මිනිස් ගැටුමට සෘජුවම සම්බන්ධයක් ඇති දෙපාර්තමේන්තු රැසක ප්‍රධානීන් සහ නිලධාරීන්ද එම ගැටලුව පවතින ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු බොහෝ පිරිසකගේ දායකත්වයද ලැබුණි. එම සැලැස්ම උත්සවාකාරයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දුන් නමුත් තවමත් ඒ පිළිබඳව කිසිදු ක්‍රියාත්මක වීමක් සිදු වී නොමැති බව ප්‍රකාශ් මහතා වැඩිදුරත් ප්‍රකාශ කළ අතර  අලි – මිනිස් ගැටුම් අවම කිරීම සඳහා කාර්යය සාධක බලකායක් පත් කිරීමෙහි කඩිනම් අවශ්‍යතාවක් ඇති බවත් මෙම ගැටලුව සඳහා නිසි කළමනාකරණ සැලැස්මක් ලැබෙන තුරු මිනිසුන් හා වන අලි ජිවිත වලින් වන්දි ගෙවන බවත් ඔහු විසින් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ආචාර්යය පද්මලාල් මහතාගේ අදහස වන්නේ, වන අලි – සහ මිනිසුන් හට එක්ව වාසය කල නොහැකි බැවින් මෙම ගැටලුව නිරාකරණය කළ හැක්කේ ඔවුනොවුන්ගේ වාසස්ථානයන්හි වන අලි සහ මිනිසුන් වෙන් වෙන්ව වාසය කිරීමට ඉඩ සලස්වමින් සංරක්ෂණ ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමෙන් පමණක්ම බවයි.

වන සත්ත්ව හා මිනිස් ගැටුම යම් තාක් දුරකට පාලනය කළ හැකි ගැටළුවක් මිස සම්පූර්ණයෙන්ම විසඳා අවසන් කළ හැකි සංසිද්ධියක් නොවන බැවින් ඊට ගැලපෙන අයුරින් මෙම ගැටළුව කළමනාකරණය කළ යුතු බව හරිත සංවාදයට සහභාගී වූ විද්‍යාඥයන් කියා සිටියේය. ඒ අනුව ක්‍රමවත් පර්යේෂණයන් මත ලබා ගත් නිවැරදි දත්ත පදනම් කර ගනිමින් රජය, රාජ්‍ය  ආයතන, විශේෂඥයන් සහ මහජනතාව එක්ව කටයුතු කොට මෙම ගැටලුව කළමනාකරණය කරගත යුතුවේ.

මුලාශ්‍ර 

Prakash T.G.S.L, Wijerathne A.W, Fernando P. (2020) Human-Elephant conflict in Sri Lanka. Gajah 51 (2020) 16-25