ලසන්ති විජේතුංග විසිනි

දිනෙන් දින ඉහල යන පරිසර හායනය හමුවේ විවිධාකාර සත්ත්ව-මිනිස් ගැටුම් ගණනාවක් ශ්‍රී ලංකාව පුරා වාර්තා වේ. බොහෝ අවධානයට ලක්වුණු අලි-මිනිස් ගැටුම් හැරුණු විට වඳුරු- මිනිස් ගැටළුව ද රට පුරා ග්‍රාමීය වශයෙන් පමණක් නොව නාගරික ප්‍රදේශයන් පුරා පැතිරුණු හිසරදයක් ව ඇත.

වඳුරන් ලෙසින් පොදුවේ හැඳින්වුව ද ශ්‍රී ලංකාවේ වඳුරු විශේෂ තුනකි. එනම් දම් මුහුණැති කළු වඳුරා, රිලවා සහ අළු වඳුරා ලෙසිනි. මෙම වඳුරු විශේෂයන් තවත් උප විශේෂ ගණනාවකට බෙදෙන අතර දිවයිනේ සෑම ප්‍රදේශයකදීම පාහේ පුළුල් ව්‍යාප්තියක් පෙන්වමින් වාර්තා වේ. මොවුන් අතරින් දම් මුහුණැති කළු වඳුරා සහ රිලවා ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ වේ. 

මෙලෙස වඳුරු විශේෂ ගණනාවක් රට පුරා ව්‍යාප්ත වී තිබීම වඳුරු-මිනිස් ගැටුම රටේ සියළු ප්‍රදේශ ආක්‍රමණය කිරීමට හේතු වී තිබේ. දිනෙන් දින ඉහල යන වනාන්තර විනාශය, වන ඉඩම් කෘෂි ඉඩම් ලෙස පරිවර්තනය සහ විශාල වනාන්තර ඛණ්ඩනය ආදිය නිසා වඳුරන්ගේ වාසස්ථාන අහිමි වීම, ආහාර හිඟය සහ සංක්‍රමණය සීමා වී ආහාර ආදී අවශ්‍යතා සපුරා ගන්නා පිවිසුම් මාර්ග අවහිර වීම මෙම ගැටළුව උග්‍ර කර තිබේ. 

වඳුරන් අතරින් රිලවා වඩාත් කරදරකාරී බවට සැලකේ. වැඩි වශයෙන් ගෘහාශ්‍රිතව වාර්තා වීමත්, සර්ව භක්ෂක පුළුල් ආහාර රටාවක් සහිත බැවින් මිනිස් ආහාර පාන සඳහා වැඩි වශයෙන් අනුවර්තනය වීමත් මේ සඳහා බලපා තිබේ. විශේෂයෙන්ම ආගමික සහ සංචාරක ස්ථාන, පාසල්, කඩපිල්, සහ නාගරික නිවාස ආශ්‍රිතව විශාල හෝ කුඩා රංචු වශයෙන් දක්නට ලැබේ. බැලූ බැල්මට මොවුන් විශාල වශයෙන් වාර්තා වන පළිබෝධ විශේෂයක් ලෙස සැලකුණ ද සත්‍ය වශයෙන්ම වඳවී යාමේ තර්ජනයට ලක් වූ විශේෂයකි. 

දඹුලු රජමහා විහාරය ආශ්‍රිතව වෙසෙන රිලවුන්. ඡායාරූපය: Pixabay 

රිලවුන් පිළිබඳව සිදු කර ඇති ක්ෂේත්‍ර පරීක්ෂණ වලින් පෙන්වා දී ඇත්තේ මෙම සතුන් එක්වරක් මිනිස්සුන්ගේ ආහාර ලබාගතහොත් එම ආහාර වල ඇති රසයට සහ ආහාර ලබා ගැනීමේ පහසුව යන කරුණු මත නිරන්තරයෙන් එම ආහාර මතම යැපීමට හුරු වන බවයි. එලෙස නොකඩවා ආහාර ලැබීම නිසා රිලවුන්ගේ සීඝ්‍ර ගහණ වර්ධනයක් ද දක්නට ලැබෙන බව පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත. මොවුන් ගෘහාශ්‍රිත කෘමීන්, පක්ෂීන් වැනි සතුන් ආහාරයට ගනිමින් සහ මිනිස් ආහාර මත යැපෙමින් වනාන්තර වලින් බැහැරව ගෘහාශ්‍රිතව රැඳී සිටීමට වැඩි කැමැත්තක් දක්වන බැවින් ගැටළුව දිනෙන් දින උග්‍ර වෙමින් පවතී.

මෙසේ රිලවුන් ගෙවතු භෝග හෝ වෙනත් කෘෂි භෝග ආහාරයට ගැනීමෙන් නොනැවතී ගෙවත්තේ ඇති අනෙක් ශාක හෝ ශාක කොටස් විනාශ කර දැමීමට පෙළඹීම මෙන්ම ගෙවතු හරහා සංචරණයේදී ජල නළ මාර්ග, දුරකථන රැහැන්, රූපවාහිනී ඇන්ටනා සහ වහල වැනි දේපල වලට හානි සිදු කිරීම නිසා මිනිසාගේ වෛරයට පාත්‍ර වී තිබේ. තව ද ආහාර සොයා නිවාස තුලට කඩා වැදුනු අවස්ථාවන්හි දී කලබලයට පත්ව නිවැසියන්ව සපාකෑම් පිළිබඳව ද වාර්තා වී තිබේ. 

රිලවුන් තරමටම ආක්‍රමණශීලී නොවුන ද සෙසු වඳුරු විශේෂයන් හේතුවෙන් ද දිනෙන් දින ගැටළුකාරී තත්ත්වය උග්‍ර වෙමින් පවතී. රිලවුන්ට අමතරව වියළි කලාපය තුල ගැටළුකාරී ලෙස හැසිරෙන්නේ අළු වදුරා වන අතර තෙත් කලාපය තුල මිනිසුන් හා බෝග වගාවන් කෙරෙහි එම බලපෑම ඇති වන්නේ තෙත් කලාපීය දම් මුහුණැති කළු වඳුරන්ගෙනි. නමුත් මෙම වඳුරු විශේෂ දෙක රිලවුන් මෙන් නිවාස තුලට කඩා වැදීම් වැනි ආක්‍රමණශීලි ක්‍රියාවන් සිදු නොකරයි. ඊට හේතුව මිනිසුන් විසින් පිළියෙළ කරන ලද ආහාරයන්ට වඩා ශාක පත්‍ර හා බෝග ආහාරයන්ට දැඩි කැමැත්තක් දැක්වීමයි. එහෙත් මේ වනවිට ගෙවතු ආශ්‍රිත වගාවන්ට සහ ගොවි බිම් වෙත වඳුරන්ගේ බලපෑම තදින්ම දැනෙන්නට පටන්ගෙන ඇත.

අනුරාධපුරයේ ආගමික ස්ථානයන්හි රිලවුන්ට අමතරව අළු වඳුරන් ද බහුලව දක්නට ලැබේ. ඡායාරූපය: pixabay 

නොනවතින වගා සහ දේපල හානි දරා ගැනීමට නොහැකි වූ කල සාමාන්‍ය ජනයා විසින් විවිධ නීති විරෝධී ක්‍රම හරහා වඳුරු උවදුර මර්දනය කිරීමට උත්සාහ දරනු පෙනේ. ප්‍රධාන වශයෙන්ම ආහාර වලට විෂ දැමීම, හක්ක පටස් තැබීම, වෙඩි තැබීම සහ උගුල් ඇටවීම දැකිය හැකිය. මේ හේතුවෙන් වඳුරු ගහණයට බලපෑමක් ඇති වනවා පමණක් නොව අවට පරිසරයේ වෙසෙන වෙනත් සතුන් ද දැඩි අවධානමකට සහ තර්ජනයකට ලක්ව තිබේ. 

වඳුරන්ගේ තර්ජනය වලක්වා ගැනීම සඳහා ප්‍රාදේශීය මට්ටමෙන් විවිධ සරල උපාය මාර්ග අනුගමනය කරනු ද පෙනේ. ආහාර සමග මිරිස් තැබීම, වඳුරන්ට ග්‍රහණය කරගත නොහැකි ලෙස ඇටවුම් සකස් කර බෝග ආරක්ෂා කර ගැනීම, බිය වද්දා පලවා හැරීම මේ අතරට ගැනේ. තව ද පුරාණ දේශීය කෙම් ක්‍රම පිළිපදිමින් වගා කටයුතු සිදු කිරීමේ උත්සාහයන් ද දරනු පෙනේ. විශේෂයෙන් මේ කෙම් ක්‍රම අතරින් ‘නැකතට වැට පිරීමේ’ ක්‍රමය මුල්තැනක් ගනී. එනම් ජ්‍යෝතිෂ්‍යයට අනුව ලබාගන්නා නැකැත් වේලාවට ගොවිබිම වටා ඇති වැට සිටුවීම ආරම්භ කරයි. එවිට එම වගා කන්නය අවසාන වන තෙක් වගාවට සතුන්ගෙන් හානියක් සිදු නොවන බව ගොවිමහතුන් විශ්වාස කරයි. මෙවැනි ක්‍රම දැනටමත් දඹුල්ල අවට සමහර ප්‍රදේශවල ක්‍රියාවට නංවමින් පවතී. ගොවි මහතුන් සමඟ කල සාකච්ඡාවන්හිදී එය සාර්ථක ක්‍රමයක් වූ බවට ඔවුන් පැවසුව ද මෙහි විද්‍යාත්මක පසු බිම පිළිබඳව තවමත් තහවුරු වී නොමැත.

වඳුරු-මිනිස් ගැටුම අවම කිරීම උදෙසා පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් පර්යේෂණ රැසක් මෙහෙයවා ඇති අතර තෝරාගත් රිලා රංචු අල්ලා වඳ සැත්කම් කිරීමත්, රිලවුන්ට දරාගත නොහැකි සංඛ්‍යාතයකින් යුතු ශබ්ද තරංග නිකුත් කරන උපකරණ ඇටවීමත්, ඔවුන්ගේ ශරීරයේ දිලිසෙන සුළු වර්ණයක් ආලේප කර රංචුවේ සතුන් අතර ඇති ආකර්ෂණය බිඳ දමා ඔවුන්ව බිය ගැන්වීම තුළින් එම ප්‍රදේශයෙන් සතුන් පලවා හැරීමත් අත්හදා බලා තිබේ. එහෙත් එම පර්යේෂණ සාර්ථක නොවූ අතර ඒවා සියල්ල තාවකාලික විසඳුම් බවට මේ වන විට තහවුරු කරගෙන ඇත. එයට හේතුව වන්නේ රිලවුන් සහ වඳුරන් මෙම ක්‍රම සඳහා වේගයෙන් අනුවර්තනය වන බැවිණි. 

වඳුරු-මිනිස් ගැටුම හේතුවෙන් නිර්මාණය වී තිබෙන මෙම පාරිසරික, ආර්ථිකමය සහ සමාජීයමය ගැටළු පාලනය කර ගැනීමට නම් මෙම වන සතුන්ගේ හැසිරීම් රටා අධ්‍යනය අත්‍යවශ්‍ය අංගයක් වේ. එමෙන්ම ගැටළුවේ ස්වභාවය පිළිබඳව ජනතාවගේ අවබෝධය ඉහල නැංවීම මගින් බොහෝ ප්‍රශ්න වළක්වා ගත හැකි වනු ඇත. උදාහරණයක් ලෙස වඳුරන් ගෘහාශ්‍රිතව හෝ ජනාකීර්ණ ස්ථාන වල රැඳී සිටීමට හේතුව ඔවුන්ට ආහාර සැපයීම හෝ පහසුවෙන් ආහාර ලබා ගැනීමට ඇති හැකියාව විය හැකිය. නිසි ලෙස ආහාර බැහැර කිරීමේ පිළිවෙත් අනුගමනය කිරීමෙන් මෙම ගැටළුව තරමක් දුරට පාලනය කල හැක. තව ද, දැනටත් ඛණ්ඩනය වී ඇති සංචරණ මාර්ග සහ වනාන්තර ප්‍රවේශ මාර්ග ප්‍රති නිර්මාණය කිරීම හෝ නව මාර්ග නිර්මාණය කිරීම අවශ්‍ය වේ. වඩාත් දියුණු අධ්‍යයන හරහා වඳුරු-මිනිස් ගැටුම් අවම කර ගැනීම සඳහා නිසි පියවර ගත යුතුය.