තෙද රැස් වැඩි නිසා – සැතපුම් සිය ගණනක් දුර නිසා
හිරුට ළං වන්නට නොහැකි සඳ
බලා උන්නේ නඟින තුරු රෑ පුරා සඳ
ඉඳහිට දුටුවත් ඒ නුරා සඳ
හිමිවිය සදහට අමාවක
කළු වලා අතරින් ගලා ආ අනෝරා වැසි
හීන් පොදකට තුරල් වූ සඳ
සන්තාන ක්ෂීරපථය කළඹා
කුළුඳුලේ උපන්නා නිහාරිකාවක්
අවැසි නැත හිරු විලස තෙද රැස්
සිසිල පමණිය පැතුවෙ තරුවෙන්
පැතූ විලස ම සිසිල ගෙන නුඹ
මුරුගසන් වැසි කෝටි වරකට
නිවාලනු නොහැකිව තිබූ
වසර දස දහසක් කැකෑරුණු
ලෝ දිය ගං නිවා දැමුවා
වසර ගණනක් පෙරට යන සඳ
වැඩිණි ඔබ තුළ කුරිරු තෙද රැස්
දැනුණි එය හිරු රැසට වැඩියෙන්
නමුදු ඉවසා උන්නෙමී මම
ගලන ලෝදිය විඳ දරාගෙන
රතු යෝධ නුඹ අබියසින්
දිනෙන් දින නුඹ ඇදුණෙ අවරට
නමුදු වෙන්වනු බැහැ නුඹෙන්
සවන පුපුරන හඬකි එක් වර
බැලිමි ඔබ දෙස කඩිනමින්
නුඹ ගොසින් සැතපුම් ගණන් දුර
මවා සුපර්නෝවා පිපිරුමක්
හෙළමි තවමත් මුරුගසන් වැසි
සේදෙන්නට නුඹගේ කෙලෙස්
මමයි පෘථිවිය
සදා වැළපෙමි
කළු කුහරයක් වූ ඔබ ළඟ ඉදන්
අයෝධ්‍යා කිරිඇල්ල විසිනි.
Comments are closed for this post.