අයෝධ්‍යා කිරිඇල්ල විසිනි.

උදෑසන වූ ඒ බියකරු දියේ ගිලීමේ අත්දකීමෙන් මිදෙන්නට හවසත් පියුමිට මදිවිය. ඇය කාමරයෙන් පිටතට පැමිණියේ නැත. තාරක කාමරයට ආහාර ගෙනැවිත් දුන් අතර ආ විවේකීව සිටිමින් හොඳින් නිදාගත්තා ය. තාරක ආචාර්ය සුනිල්ට සිදුවූ අනතුර පිළිබඳව පවසා පසුදිනයේ පියුමි කැටුව එන බව පැවසුවේ ය.

පසුදා උදය උදා විය. ඇඟ සෝදාගත් ඈ පිටතට පැමිණ තාරක ඇමතුවා ය.

“තාරක..”

“කියන්න පියුමි…”

“අපි අද යමු නේද කෑම්ප් එකට?…”

“ඔව් දැන් ඔයාට අඩුයිනෙ.. අපි දවල්ට කාලම  යමු.. මම ඇරලවන්නම්… “

උදාසන ආහාරයෙන් අනතුරුව අසල වටපිටාව නැරඹූ පියුමි දහවල් ආහාරයෙන් පසු නැවත සිය මිතුරන් වෙතට යාමට සූදානම් වූවා ය.

“ඔව් පියුමි එහෙනම් දැන්ම යමු.. තව පරක්කු උණොත් රෑ වෙයි..”

ඔවුහු දෙදෙනා නිවසින් පිටත් වූහ.


“තාරක.. මේ…”

ඈ යන අතරමඟ මල් ආදිය නෙලාගෙන හිසේ ගවසා ගත්තා ය.

“මොකද්ද ඔයා මේ කරන නරක වැඩේ.. ?”
තාරක ඇසීය.

“නරක වැඩේ..?.. මේ මම ලස්සනයි නේද මල් ගැහුවම… “

“මල් නැතුවත් ඔයා ලස්සනයි.. හැබැයි තේරුමක් නැතුව මේ ලස්සන මල් කඩලා දාන එක අපරාදයක්.. මොකද මල් කියන්නෙත් ඉතින් ජීවිතයක්..”

තාරක කීය.

“ඒකත් ඇත්ත තමයි… බලාගෙන ගියාම මම නරකයි.. ආයෙ මම එහෙම කරන්නෙ නෑ තාරක..”

“අන්න හරි.. හොඳ ළමයා.. හැමෝම ඔහොම හිතනවනම් මේ ලෝකෙ කොච්චර ලස්සන තැනක් ද?”

“ඒක නම් ඇත්ත..”

මේ අතරේදී දෙදෙනාටම හොරා ඔවුන් අසලට ළං වෙමින් සිටියේ දළ ඇති දැවැන්ත වල් ඌරකුගේ සේයාවකි.

ඔවුන් දෙදෙනා දුටු එම විසල් වල් ඌරා ඊයක වේගයෙන් හඹා එන්නට වූයේ තාරකට මඳක් ඉදිරියෙන් ගමන් කළ පියුමි වෙතය.

“දෙවියනේ….”

පියුමි කෑ ගසමින් හැකි තරම් වේගයෙන් දිව යන්නට  වූවා ය.

“බලාගෙන පියුමි… ඔහොම නවතින්න.. මම බලාගන්නම්.. “

තාරක මොරදුන්නේ ය.

නමුත් වේගයෙන් ඉදිරියටම දිවූ ඈ වේගය පාලනය කරගත නොහැකිව ගසක හැපුණා ය.

වල් ඌරා ඇයට ළං වෙමින් සිටියේ ය. ඇය මරුමුවට පත් වීමට දැන් ඇත්තේ එක් නිමේෂයක් පමණි. ඈ මරහඬ දෙමින් උන්නා ය.
වල් ඌරාගේ දළ දෙක ඇත්තේ පියුමිගේ සිරුරේ ගෑවී නොගෑවී යන තරමිනි.

ඊයක වේගයෙන් දිව ආ තාරක වහා මැදට කඩා පැන්නේ ය. ඔහු වල් ඌරාගේ දළ දෙකින් අල්වාගෙන ඌ මෙල්ල කර වල් ඌරාව ඔසවා ඈතට විසිකර දැමුවේ ය.

තාරකගේ ශරීර ශක්තිය හ නිර්භීත බැව් දැක පියුමි පුදුම වූවා ය.

“තාරක දෙවියනේ.. ඔයා මගෙ ගාඩියන් ඒන්ජල් ද? “

ඈ ඔහුව තරයේ වැළඳගනිමින් කීවා ය.

කිසිත් නොකී තාරක සෙමෙන් ඇගේ හිස පිරිමැද්දේ ය.

“කියන්න.. ඔයාට කොහෙන්ද මෙච්චර බලයක්..  “
“එහෙම බලයක් මට නෑ පියුමි…”

“නෑ වෙන්න බෑ.. එදා මාව කන්දෙන් වැටෙද්දි පැනලා බේරගත්ත විදිය.. එතකොට වල් ඌරව උස්සලා විසි කරපු එක… අනිත් දේ ගෙදර තියන අමුතු අමුතු ගැජට්… මේ සේරගේම ලොකු වෙනසක් තියෙනවා..”

“ඔයාට විකාර.. එහෙම මොනාවත්ම නෑ..”

“හ්ම්.. අර ඌරාට මොනා උණාද දන්නෙ නැ..”

“ඌ හොඳින් ඇති හැබැයි ආයෙ මේ පැත්ත පළාතෙ වත් එන එකක් නෑ…”

එක්වරම ඇසුණේ බිහිසුණු නාදයකි.

“ඒ මොකද්ද තාරක ඒ? ලොකු සතෙක් කෑගැහුවා වගෙනෙ… “

“ඒ ඌරෙක්.. වල් ඌරෙක්ගෙ සද්දෙ.. “

“අරූ ද දන්නෙ නෑ… ඒත් අනතුරක් වගෙ නේද ? වේදනාවෙන් කෑගහනවා වහෙ ඇහුණෙ.. “
පියුමි කීවා ය.

“ඔව්.. ඒක හරි.. ඌ කෑගැහුවා තමා ඒ.. “

“අනේ පව් අපි ගිහින් බලමුද?”

“ඔයාව මරන්න ආව එකාව..? ගිහින් බලමුද කියලද ඔයා කියන්නෙ..?”

“ඔව් තාරක යමුකෝ… ලොකු දුරකින් නෙමෙයි ඇහුණෙ..”

“ඔව්.. ඒත්.. “

“ඇයි ඒත්? අපි යමු… එයා ආයෙම මාව මරන්න ආවත් ඔයා මාව බේරගන්නවනෙ ඉතින් ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නෑ..”

“ඒක ඇත්ත… ඒත්.. මම දන්නවා ඔතන වෙච්ච් දේ.. ඒ සද්දෙන් මට තේරුණා.. ඌට කවුරුහරි වෙඩි තිබ්බා.. “

“මොකක්..? වෙඩි සද්ද ඇහුණෙ නෑනෙ..”

“දැන් අපිව අන්දන්න මිනිස්සු පාවිච්චි කරන්නෙ සයිලන්සර් දාපු තුවක්කු එතකොට සද්දෙ එන්නෙ නෑ.. “

“එහෙනම් වෙඩි තියපු කෙනාවත් අල්ලගන්න අපිට පුළුවන් වෙයි තාරක.. ඒක තමා ඔයාගෙ රාජකාරිය..”

“ඒක ඇත්ත.. ඒ තඩි ඌරව අරන් දෙතින් දෙනෙක්ට වුණත් මෙච්චර ඉක්මනට පැන ගන්න අමාරුයි.. ඒත් ඔයා ඉන්නවා මා එක්ක මම කොහොමද ඔයාට අනතුරක් වෙන්න දෙන්නෙ..?”

“ඔය ඊයෙත් කළේ ඕකමයි තාරක.. අයියෝ හිතන්න එපා.. මට මොනා වෙන්නද? යමු ගිහින් ඒ අපරාධකාරයව අල්ලගමු.. ප්ලීස්..”

“ඔයා කියනවනම් හා.. ඒත් පොරොන්දුවක් වෙන්න ඕනෙ.. “

“කියන්න තාරක ඕනම දෙයක්…”

“මම ඒ මිනිස්සුන්ට මොනා කළත් ඔයාට බලාගෙන ඉන්න පුළුවන් ඒ ගැන මගෙන් මුකුත් ප්‍රශ්න අහන්න බෑ.. “

“ඔයා එයාලව මරන්න ද යන්නෙ?”
පියුමි ඇසුවේ බියෙන් මෙනි.

“අපෝ නෑ.. එහෙම මිනිස්සු මරන්නෙ නෑ.. අනික එහෙම මරන්නෙ කොහෙද අපිට අයිතියක්.. මනුස්සයා අයිති වෙන්නෙත් සොබාදහමටම තමයි.. ඔයාගෙන් ඉල්ලන්නෙ මගෙන් ප්‍රශ්න අහන්න එපා කියලා විතරයි..”

“හරි බොස්.. මම අහන්නෙ නෑ… ප්‍රොමිස්.. අපි යමු…”
පියුමි කීවේ ඔහුගේ අතකින් අල්වා ගනිමිනි.

“හරි එහෙනම්.. සද්දෙ ආවෙ මේ පැත්තෙන්..
‍යමු අපි..”

ඔවුහු ඒ දෙසට ගමන් කරන්නට පටන් ගත්හ.

මීළඟ කොටසින් හමුවෙමු.