තරුෂි පිටිගල විසිනි.

එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව සඳහා නායකයින් 120 ක් පමණ ග්ලාස්ගෝ හි රැස්වූ අතර, ව්‍යසනකාරී දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සඳහා මානව වර්ගයාට අවශ්‍ය හදිසි ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යා හැකිද යන්න තීරණය කිරීමට ගෝලීය සාකච්ඡා දියත් කළේය. මෙම සමුළුව ඔක්තෝම්බර් 31 සිට නොවෙම්බර් 12 දක්වා සති දෙකක කාලයක් පුරා සාර්ථකව පැවැත්විණි. මෙය දේශගුණික විපර්යාසයන්ගෙන් පෘථිවිය ආරක්ෂා කරගැනීමට ඇති “අවසාන හොඳම අවස්ථාව” ලෙස නම් කොට තිබුණි.

ලෝකය වාර්තාගත උෂ්ණත්වයන් සහ ආන්තික කාලගුණික තත්ත්වයන් අත්විඳිමින් සිටින බැවින්, පෘථිවිය භයානක ලෙස දේශගුණික ව්‍යසනයට සමීප වන බැවින්, හදිසි ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය පැහැදිලි කිරීම COP26 හි ප්‍රධාන අරමුණ විය.

මෙම දේශගුණික විපර්යාස සමුළුව මගින්, ප්‍රධාන විමෝචනයන් සිදුකරන රටවල් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවල් එක ස්ථානයකට එක්ව සාකච්ඡාවන් සහ අදහස් ප්‍රකාශ කිරීම විශේෂත්වයකි. මෙහි දී පැරිස් සම්මුතියේ පළමු ක්‍රියාදාමය ලෙස සලකන මූල්‍ය, විමෝචන සහ අනුවර්තන පිළිබඳ වැඩි කැපවීම් සමඟ පැරිස් ගිවිසුම ක්‍රියාත්මක කිරීම් පිළිබඳවත් අවධාරණය කිරීම විශේෂත්වයකි.

පැරිස් සම්මුතියට අනුව ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව කාර්මික මට්ටමට වඩා 2°C ට අඩු මට්ටමක තබා ගැනීම සහ උෂ්ණත්වය ඉහළ යාම 1.5°C දක්වා සීමා කිරීමට උත්සාහ කිරීම පාර්ශවයන්ට අවශ්‍ය වේ. කෙසේ වෙතත්, lPCC වාර්තාව මඟින් අනතුරු අඟවා ඇත්තේ 1.5°C ට වැඩි ඕනෑම අවස්ථාවකදී  කුණාටු, ගංවතුර, නියඟ, ලැව්ගිනි සහ මුහුදු මට්ටම ඉහළ යාම වැනි විපර්යාස නිරන්තර හා දරුණු ලෙස ඇති විය හැකි බවයි. 

1.5°C ක ඉලක්කය සජීවීව තබා ගැනීමට සහ දේශගුණයේ අයහපත් බලපෑම් වළක්වා ගැනීමට සිදුව ඇති බව විද්‍යාවෙන් පැහැදිලි වූ බැවින් දේශපාලන කැමැත්ත සහ කැපවීම සමඟින්, ග්ලාස්ගෝහිදී ලෝකයට ආඩම්බර විය හැකි ප්‍රතිඵලයක් ලබා දිය හැකි බව COVID-19 වසංගතයෙන් පසු පළමු ප්‍රධාන ගෝලීය රැස්වීමේදී නායකයින් අමතමින් COP 26 දී සභාපති ආලෝක් ෂර්මා පැවසීය.

එක්සත් ජනපදය, ඉන්දියාව, යුරෝපා සංගමය, චීනය සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සහ දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවල් කිහිපයක් ඇතුළුව ලෝක නායකයින් 40 කට අධික පිරිසක් නව ඉදිරි ගමනේ න්‍යාය පත්‍රයට පක්ෂව අත්සන් කල අතර එය  ලෝක ආර්ථිකයෙන් 70% කට වැඩි සෑම කලාපයක්ම නියෝජනය කරයි. 

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ග්ලාස්ගෝ හි COP26 ලෝක නායක සමුළුව අමතමින්. ඡායාරුපය: Wikimedia  

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් 2030 වන විට සෑම තැනකම පිරිසිදු සහ දැරිය හැකි තාක්‍ෂණය ලබා දීමේ ජාත්‍යන්තර සැලැස්මක් COP26 සමුළුවේදී ඉදිරිපත් කරන ලදී. 

පළමු ඉලක්ක පහ “ග්ලාස්ගෝ ඉදිරිගමන්” ලෙස නම් කර ඇති අතර ගෝලීය විමෝචනයෙන් 50% කට වඩා ආවරණය කරන බව අවදාරනය කළේය. එය බලය, මහා මාර්ග ඔස්සේ සිදුවන ගමනාගමනය, වානේ, හයිඩ්‍රජන් සහ කෘෂිකර්මාන්තය යන ප්‍රධාන අරමුණු පහක් ඔස්සේ සිදු වෙයි. 

පිරිසිදු බල ශක්තිය යනු සියලුම රටවලට වඩාත්ම දැරිය හැකි සහ විශ්වාසදායක විකල්පය බැවින් 2030 වන විට සියලු රටවල් සඳහා පිරිසිදු බලශක්ති අවශ්‍යතා කාර්යක්ෂමව සපුරාලීම. 2030 වන විට සෑම කලාපයකම නව සාමාන්‍ය සහ ප්‍රවේශ විය හැකි, දැරිය හැකි සහ තිරසාර ශුන්‍ය විමෝචන වාහන භාවිතයට යොමු කිරීම. කාර්යක්‍ෂම භාවිතය සහ ශුන්‍යයට ආසන්න විමෝචන වානේ නිෂ්පාදනය 2030 වන විට සෑම කලාපයකම ස්ථාපිත කර වර්ධනය කිරීම. දැරිය හැකි මිලකට පුනර්ජනනීය සහ අඩු හයිඩ්‍රෝ කාබන් 2030 වන විට ගෝලීය වශයෙන් ලබා දීම. දේශගුණයට ඔරොත්තු දෙන, තිරසාර කෘෂිකර්මාන්තය 2030 වන විට සෑම තැනකම ගොවීන් සඳහා වඩාත් ආකර්ශනීය සහ පුළුල් ලෙස භාවිතා කරන විකල්පය කිරීම යන ප්‍රධාන අරමුණු පහ ඔස්සේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

එක්සත් රාජධානියේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන ශුද්ධ ශුන්‍ය උපාය මාර්ගය මත ආදර්ශයට ගනිමින් මෙය සිදු වේ. මෙහිදී ඉදිරි දශකය තුළ පිරිසිදු තාක්‍ෂණ සංවර්ධනය සහ යෙදවීම වේගවත් කිරීම සහ පිරිවැය අඩු කිරීම සඳහා රටවල් සහ ව්‍යාපාර සෑම වසරකම ඔවුන්ගේ දේශගුණික ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීම සහ ශක්තිමත් කිරීම, ශුද්ධ ශුන්‍යයට සංක්‍රමණය වීමට අවශ්‍ය නවෝත්පාදන සහ මෙවලම් වෙත ප්‍රවේශ වීමට සංවර්ධනය වෙමින් පවතින ලෝකයට සහාය වීම මෙහි ප්‍රධාන අරමුණයි.

නවෝත්පාදන වේගවත් කිරීම සහ හරිත කර්මාන්ත පරිමාණය කිරීම සඳහා රටවල් සහ ව්‍යාපාර, ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මුලපිරීම් මාලාවක් හරහා සමීපව මෙම ක්‍රියාවන සිදු කරන බව මෙම සැලැස්ම මඟින් පෙන්වා දේ. මෙම පළමු අරමුණු පහ ක්‍රියාත්මක කිරීමෙන් ගෝලීය වශයෙන් නව රැකියා මිලියන 20 ක් නිර්මාණය කළ හැකි බවත් නැගී එන සහ දියුණු ආර්ථිකයන් හරහා ඩොලර් ට්‍රිලියන 16 කට වඩා එකතු කළ හැකි බවත් සමුළුවේදී අනාවරණය විය.

මෙම අරමුණු පහ ක්‍රියාත්මක කළහොත්, 2030 වන විට විමෝචනය අඩකින් අඩු කිරීමට හැකි වන තර එය උෂ්ණත්වය 1.5°C දක්වා ඉහළ යාමේ සීමාව පවත්වා ගැනීම සිදු කල හැකිවනු ඇත.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම 1.5°C දක්වා සීමා කිරීමට අවශ්‍ය හදිසි ක්‍රියාමාර්ග ලබා දීමට නම් මූල්‍ය බලමුලු ගැන්වීම ඉතා වැදගත් බවත්  අඩු කාබන් අනාගතයක් සුරක්ෂිත කිරීමට සහ දේශගුණික විපර්යාසවල විනාශකාරී බලපෑම් හේතුවෙන් ජිවත්වන ජනයා සහ අනෙක් ජිවිත ආරක්ෂා කිරීමට සහාය වීමට වසරකට ඩොලර් ට්‍රිලියන ගණන් අමතර ආයෝජන අවශ්‍ය වන බවත් COP26 සමුළුවෙහි සභාපති ආලෝක් ෂර්මා පැවසුවේය.

දේශගුණික විපර්යාසවල බලපෑම් සමග කටයුතු කිරීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට ආධාර කිරීමට, මූල්‍යකරණය වැඩි කිරීමට නම් රටවල් නව කැපවීම් කළයුතු අතර, එහිදී  නෝර්වේ රාජ්‍ය විසින් අනුවර්තන මූල්‍ය තුන් ගුණයකින් වැඩි කිරීමටත්, ජපානය සහ ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ අනුවර්තන මූල්‍ය දෙගුණ කිරීමටත්, ස්විට්සර්ලන්තය, එක්සත් ජනපදය සහ කැනඩාව අනුවර්තන අරමුදල එක් කිරීමටත් එකඟ විය.

එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, ජපානය, ඕස්ට්‍රේලියාව, නෝර්වේ, අයර්ලන්තය සහ ලක්සම්බර්ග් යන රටවලින් ද දේශගුණික මූල්‍යකරණය සඳහා නව කැපවීම් සිදු කිරීමට එකඟ වී ඇත. එමගින් සංවර්ධනය වෙමින් පවතින රටවලට වසරකට ඩොලර් බිලියන 100 බැගින් ලබා දීම සඳහා සැලසුම් කර ඇත.

වඩාත් දේශගුණික අවදානමට ලක්විය හැකි රටවල් සඳහා ප්‍රාග්ධන ප්‍රදාන ලබා දීම සඳහා දේශගුණික සැලසුම් ලබා දීමට එක්සත් රාජධානිය සහ ෆීජි සම සභාපතිත්වය දරන දේශගුණ මූල්‍ය වෙත ප්‍රවේශය පිළිබඳ කාර්ය සාධක බලකායේ නිර්දේශවලට ප්‍රතිචාර දැක්වීම සඳහා එක්සත් රාජධානිය පවුම් මිලියන 100 ක් ප්‍රකාශයට පත් කළේය. මූල්‍ය වෙත ප්‍රවේශය, මෙම සැලසුම් තුළ වැඩි දේශගුණික අභිලාෂයන් සඳහා දිරිගැන්වීම් ඇති කරන රටවල්හි විමෝචනය අඩු කිරීම සහ අනුවර්තනය වීමේ සැලසුම් සමඟ සෘජුවම සම්බන්ධ වේ.

නොවැම්බර් 2 වන දින පැවත COP26 හි තෙවන දිනයේදී නායකයින්ගේ මට්ටමින් දියත් කරන ලද එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය ප්‍රමුඛ මුලපිරීමක් වන ගෝලීය මීතේන් ප්‍රතිඥාවට සමුළුවේ දී විශේෂ අවධානයක් යොමු විය. මෙම ප්‍රතිඥාව අත්සන් කරන පාර්ශ්වයන් 2020 මූලික පදනමක් භාවිතා කරමින් 2030 වන විට ගෝලීය මීතේන් විමෝචනය අවම වශයෙන් 30% කින් අඩු කිරීමට දායක වීමට ජාතික මට්ටමේ ස්වේච්ඡා ක්‍රියාමාර්ග ගැනීමට එකඟ විය. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙමගින් 2050 වන විට 0.2°C උණුසුම් වීම ඉවත් කළ හැකි බවයි.

නව රටවල් 23ක් ඇතුළුව රටවල් 40කට වැඩි ප්‍රමාණයක් ගල් අඟුරු, වඩාත්ම දූෂිත පොසිල ඉන්ධන ඉවත් කිරීමට ප්‍රතිඥා දී ඇත. සාමාජිකයින්ට පෝලන්තය, යුක්රේනය සහ වියට්නාමය වැනි අධික ගල් අඟුරු භාවිතා කරන රටවල්ද ඇතුළත් වේ.

එයට අමතරව ඉතාලිය, කැනඩාව, එක්සත් ජනපදය සහ ඩෙන්මාර්කය ඇතුළු අවම වශයෙන් රටවල් 20ක් රාජ්‍ය මූල්‍ය ආයතන සමඟ එක්ව 2022 අවසන් වන විට විදේශ පොසිල ඉන්ධන සඳහා රාජ්‍ය මූල්‍ය නතර කරන බවට පොරොන්දු වූ අතර ඒ වෙනුවට එම මුදල් පිරිසිදු බලශක්තියට හැරවීමට එකඟ වී ඇත.

එක්සත් ජනපදය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, තුර්කිය, යුරෝපා සංගමය සහ චීනය ඇතුළු ලෝක නායකයින් 40කට වැඩි පිරිසක් 2030 වන විට ලොව පුරා දැරිය හැකි සහ පිරිසිදු තාක්‍ෂණය වේගවත් කිරීමේ එක්සත් රාජධානියේ මූලිකත්වයෙන් යුත් සැලැස්මකට එකඟ වී ඇත.

ජපානය වසර පහක් තුළ අමතර ඩොලර් බිලියන 10 ක දේශගුණික මූල්‍යයක් ලබා දී ඇත. එයින් අදහස් කරන්නේ ධනවත් රටවල් බලාපොරොත්තු වූවාට වඩා වසරකට ඉක්මනින් ඩොලර් බිලියන 100 ක ඉලක්කයට ළඟා විය හැකි බව එක්සත් ජනපද දේශගුණ නියෝජිත ජෝන් කෙරී ප්‍රකාශ කළේය.

රටවල් 45ක් ගොවිතැන වඩාත් තිරසාර කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමට පොරොන්දු විය. මීතේන් පිළිබඳ කැපවීම් මෙන්ම, හරිත කෘෂිකාර්මික භාවිතයන් සහ සොබාදහම ආරක්ෂා කිරීම සඳහා ආයෝජනය කිරීමට අත්සන් කරන්නන් පොරොන්දු විය. දේශගුණය සඳහා අරමුණු වලට මුලපිරීම ඇමරිකා එකසත් ජනපදය සහ එක්සත් අරාබි එමිරේට්ස් විසින් නායකත්වය දෙන නව මුලපිරීමක් වන අතර, එයට සහය දක්වන රටවල් 30 කට අධික සංඛ්‍යාවක් ඇත. තිරසාර කෘෂිකර්මාන්තයක් සඳහා නවෝත්පාදන වේගවත් කිරීම සහ ‘දේශගුණික-ස්මාර්ට් කෘෂිකර්මාන්තය’ සහ ආහාර පද්ධති නවෝත්පාදනය සඳහා දැනටමත් එක්සත් ජනපදයෙන් ඩොලර් බිලියන එකක් ඇතුලුව ඩොලර් බිලියන හතර ක් ලැබී තිබුණි.

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව පවතින සටන වෙනුවෙන් පැවැත්වූ තීරණාත්මක අවස්ථාව ලෙස සැලකෙන මෙම සමුළුවෙහි එකඟතාවයන් සාකච්ඡාවට ලක් වූ අයුරින් ක්‍රියාත්මක වුවහොත්  දේශගුණික විපර්යාසයන් යම් අයුරකින් හෝ ජය ගත හැකි බව විශේෂඥයන්ගේ අදහසයි.

මුලාශ්‍ර
UN Climate Change Conference UK 2021