අයෝධ්‍යා කිරිඇල්ල විසිනි.

“නැගිටින්න පියුමි දැන් වෙලාව හයාමාරයි… ඊයෙ කීයටද ඔයා ආවේ..? ඔයා එද්දි අපි සේරම නිදි.. ඇහරගෙන ඉඳල ඉඳල අන්තිමේ නිදාගද්දි අපි රෑ එකයි.. මහ රෑ හොයන්න යන්න බැරි නිසා තමයි උදේ වෙනකල් බලමු කියල කතාවුනේ… “

පියුමි අවදි වූයේ ටානියාගේ කටහඬිනි.

“ආපු වෙලාව නම් දන්නේ නෑ.. අනේ මට හොඳටම නින්ද ගියා…. ඒත්.. එයා.. කෝ….”

“කවුද එයා….”

“මාව අතරමං උන වෙලාවෙ බේරගත්ත කෙනා.. එයා තාරක…”

“තාරක කියලා කෙනෙක් අපේ බැජ් එකේ නෑනෙ පියුමි.. ඔයාට විකාරද? “

“නෑ නෑ මම ඇයි ඔයාට බොරු කියන්නෙ.. කැලේ ඇතුළේ ඉඳලා ආව තාරක කියලා කෙනෙක් තමයි මාව බේරගත්තෙ…”

පියුමි විස්තර කළා ය.

“කැලේ ඇතුළේ කොහෙන්ද කොල්ලො..? ඔයා හීනයක් දැකලා.. දැන් ඕක අමතක කරන්න.. අපි යං.. ඉක්මන්ට ඇඳුම් මාරු කරගෙන එන්න වෙනසකින්ම පටන් ගන්න ඕන නිසා ඔන්න  උදෙන්ම නාන්න දියඇල්ලකට යන්නයි යන්නෙ කට්ටියම…”

“නියමයිනේ අනේ.. මේක සර්වේ කෑම්ප් එකක් නෙමේ ට්‍රිප් එකක් ආවා වගේ..”

පිරිස දියඇල්ල වෙත යන අතරේදී පියුමි නැවතත් තාරකගේ කතාව ඈඳ ගත්තී ය.

“ඊයේ මම අතරමං උනා උදාර.. GPS එක වැඩ කළෙත් නෑ.. “

“ඉතිං…”

ආකාශ් ඇසුවේ බිය මුසුවය.

“කැලේ අතුලේ ඉඳං ආව තාරක කියලා බෝයි කෙනෙක් මාව බේරගත්තා… “

“තාරක කෙනෙක් අපේ බැජ් එකේ නෑනෙ..”

උදාර ද කීය

“ඔව් ඒත් එයා කිව්වෙ තාරක කියලා.. “

“ඔය තාරක කොයි වගේද..? “

කෙවිනුත් වෙනුරිත් ඇසුවේ එකවරමය.

“මාර හොඳ කෙනෙක් ම්ම්ම් සුදුයි… ඇස් නිල් පාටයි.. “

“හොල්මනක් ද දන්නෙ නෑ..”

“කට වහනවා ආකාශ් හොල්මන් කියලා දෙයක් නෑ.. ඒ අපේ සෙලවෙන මනස.. දැන් ඕක නවත්තගන්න.. අන්න දියඇල්ල පේනවා .. අනේ හරිම ලස්සනයි..”

“ඔයානේ ඉතින් අපේ කැප්ටන් අපි ඔයා කියන දේ අහනවා”

ටානියා කීවා ය.

“ඔව් ඒක හොඳ දෙයක්.. මොකද ලෙක්චරර්ස්ලා කියලමයි එව්වෙ ඔයාලව බලාගන්න කියලා…”

උදාර කීවේ ය.

පිරිස දිය නෑම සඳහ ඉදිරියට ඇදුණහ. වනය මැද වූ මනාලියකගේ වේලයක් බඳු වූ ආකර්ශණීය දියඇල්ල සම්පූර්ණයෙන්ම දුටු  පිරිස අමන්දානන්දයට පත් වූහ.

“හරිම ලස්සනයි.”

වෙනුරි කීවා ය.

“ඔව් අපේ මිනිස්සු මෙහෙට වැඩියෙ එන්නෙ නැති තාක් ඉතින් ලස්සනයි.. ආවොත් විනාසයි..”

කෙවින් කීය.

“ඒක නම් ඇත්ත.. කුණු නම් අතන මෙතන දාන්න එපා.. ඒ වගේම ඔන්න වැඩිය ඈතට යන්න එපා.. කරදරයක් උණොත් මමයි වගකියන්න ඔනෙ.. “

කියමින් උදාර අන් අයටත් වඩා සතුටින් කෑ ගසමින් දියේ සෙල්ලම් කළේ ය.

“තාරක..! “

“ඔයාගෙ කටේ දැන් තියෙන්නේ එච්චරයි පියුමි..”

ටානිය නුරුස්නා ලෙස කීවා ය.

“නෑ නෑ ටානි දැන් එයා මෙතන්ට ආවා… අර.. අර.. ගස් ගාව හිටියෙ.. මං ඔයාට කතාකරාම එයා දුවලා ගියා…”

“මං යනව එයාව හොයාගන්න “

පියුමි දියෙන් ගොඩට විත් තෙත පිටින්ම ඔහුව දුටු දිසාවට ගමන් කළා ය.

“පියුමි… මොකද මේ..? ඔයා කොහෙද ඔය යන්නේ..? “

උදාර ඇගේ පසුපසින් දිව ආවේ ය.

“මෙතන්ට තාරක ආවා… මං එයාව හොයාගෙන එයාට තෑන්ක් කරන්න ඕනේ… “

“මාත් එන්න ද…? “

“හා උදාර අපි යමු ඉක්මන්ට.. නැත්තං එයා යයි… “

“රවිඳු…. “

උදාර කෑගැසිය.

“මං පොඩ්ඩක් එහාට යනවා කට්ටියව බලාගන්න… “

*******************************************************************************

“ඔයා ඇත්තටම ඒ නිල් ඇස් තියෙන කොල්ලව දැක්කද පියුමි..?

“ඇත්තමයි උදාර… මං බොරු කියන්නෙ නෑ කියලා දන්නවනෙ..”

“තාරක.. තාරක.. “

පියුමිගේ නාදය දෝංකාරයද සමඟ එක්වරම ඔවුන්ට දැකගත හැකි විය.

එක්වරම ඔවුන්ට ඔහු දැකගත හැකි විය

“තාරක..”

පියුමි ඔහු වෙත දිවගියා ය.

“ඔයා මගෙ ජීවිතේ බේරලා කළේ ලොකු උදව්වක් තෑන්ක් යූ වෙරි මච් තාරක මාත් ඔයට ඕනෙම උදව්වක් කරනවා… “

ඈ ඔහුගේ දෑතින්ම අල්ලාගෙන පැවසුවා ය.

“ඒක ලොකු දෙයක් නෙමේ.”

“තාරක මෙයා අද උදේ ඉඳලම කියවන්නෙ ඔයා ගැන තමයි..”

උදාරගේ කටහඬ තරමක් වෙනස් ස්වරූපයක් ගත්තේ ය.

‘මේ උදාර අපේ කැප්ටන්… “

“හමුවීම සතුටක්… “

තාරක ඔහු වෙත සුරත දිගු කළේ ය.

උදාරද ඔහුට අත දුනි.

“කොහොමද ඔය මේ කැලේ ඉඳල වෙලාවට පියුමි ඉන්න තැනට ආවෙ?… “

“ආ මම මේ කැලේ තමා ජීවත් වෙන්නෙ..”

“මොකක්.. ඔයාගෙන් අපිට වැදි පාටක් පේන්නෙ නෑනෙ ඔයත් අපි වගේ…”

“නෑ.. නෑ.. අයියෝ මම වයිල්ඩ් ලයිෆ් එකේ මගෙ ඩැඩීත් එහෙමයි.. අපි දෙන්න ඉන්නෙ කැලේ ඇතුළෙ ගෙදරක ඒ ගෙදරට නම් ඔයාල ගොඩක් ආස වෙයි “

“අනේ… මං ආසයි ගේ බලන්න… “

පියුමි ආසවෙන් කීවා ය.

“දැන් එකොලහත් පහු වෙලා පියුමි අපිට තව පරක්කු වෙන්න බෑ අපිට අද වැඩ ගොඩක් තියෙනවා.. අනික සුනිල් සර් අපිට බනියි.. අපි වෙන දවසක එන්නම්කො තාරක..”

“හරි හරි අවුලක් නෑ මට ඔයාල ගැන කියන්නකෝ ඔයලගෙ ගෙවල් කොහේද..? දැන් මොන ඉයර් එකේද ඉන්නෙ ? “

තාරක ප්‍රශ්න වැලක් ඇසුවේ ය.

“අපි තාම ෆස්ට් ඉයර්… මම ආවෙ සෙකන්ඩ් ෂයි එකෙන්.. පියුමි නම් ෆස්ට් ෂයි.. මම උදාර දිල්ශාන් මෙයා පියුමි තාරිකා… මම රත්නපුරේ.. මෙයා.. ගම්පහ “

උදාර කියාගෙන ගියේ ය.

“මම තාරක අරවින්ද  මම ඔයාලට වඩා ටිකක් වැඩිමල්..”

ඔහු කීවේ ය.

“තාරක අයියා..”

පියුමි කීවේ සිනාසෙමිනි.

“හරි හරි.. අපි දැන් යමු පියුමි.. ආයෙම හම්බවෙමුකො.. “

“ඔව් ඉක්මන්ට යන්න දෙන්නම තාම තෙතයි.. “

තාරක සිනාසෙමින් කීය.

ඔවුන් දෙදෙනා තාරකට සමු දී නැවත දියඇල්ල ඇති දිසාවට ඇදුණි.

“උදාර පොඩි කොල්ලෙක්නේ මට වඩා වැඩිමල් පාටට පෙනුණට.. මං මෙයාලගෙ කෑම්ප් එක පැත්තෙ පස්සෙ යන්න ඕනෙ තව ටිකක් අඳුරගන්න… පියුමි නම් ගොඩක් හොඳයි වගෙ.. උදාරත් නරක නෑ… ඒත් පියුමි එදා හිතන්න ඇති මම දීපු ටැබ්ලට් එකට එයට හොඳ වෙලා ගියා කියලා.. එයා දන්නෙ නෑ.. මම එයාව වඩාගෙනයි අරන් ගියේ කියලා.. “

තාරක තමාටම කියාගත්තේ ය.

මීළඟ කොටසින් හමුවෙමු.