අයෝධ්‍යා කිරිඇල්ල විසිනි

“අපි ආවෙ මිස්ටර් නිහාල් ජයතිලකව මීට් වෙන්න…”

“හිතන හිතන වෙලාවට ලොකු මහත්තයව මුණගැහෙන්න පුළුවන් කියලා හිතුවද කොල්ලෝ…? “
ඔහුගේ කාර්යාලයේ මුර සේවයේ නිරතව සිටි මැදි වැයසැති මිනිසා ඇසීය.

“අපි එපොයින්ට්මන්ට් එකක් දාගෙන ආවෙ අංකල්… හරියටම දහයට… ඔන්න දැන් නමයයි පනස් අටයි…”
තාරක සිය අත් ඔරලෝසුව බලමින් පැවසීය.

“ආ එහෙමද? මොකක්ද නම කිව්වෙ? “
ඔහු ලොකු පොතක් පෙරළන්නට පටන් ගත්තේය.

“තාරක ජයවීර… පියුමි සෙනවිරත්න කියලා ඇති… “

” ආ ඉන්න… ඔව් ඔව් හරි මේ තියෙන්නෙ… සමාවෙන්න ඕනෙ… “
මුරකරු පැවසුවේ හිස කසමිනි.

“ආ ඒකට කමක් නෑ අංකල්… බොහොම ස්තුතියි…”

“හරි ඔහෝම ඉස්සරහට ගිහිල්ලා  දකුණට හැරිච්ච ගමන් තියෙන බිල්ඩිමේ තුන්වෙනි තට්ටුවට යන්න… එතන සර් ඉන්නවා…”
ඔහු ගේට්ටුවෙන් ඇතුළු වීමට දුන්නේ අප සතුව ආයුධ ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.

“හරි අංකල් අපි එහෙනම් යන්නම්…”
පියුමි කීවාය.

එම නිවස තනි නිවසක් නොවූ අතර ගොඩනැගිලි කිහිපයක එකතුවක් විය. විශාල උද්‍යානයේ නොයෙක් ගස් වර්ග මල් වර්ග වවා තිබූ අතර මසුන් සහිත අලංකාර පොකුණක්ද විය.

“කැලෑ කපන මනුස්සයා මෙහෙ තියාගෙන ඉන්න ලස්සන බලන්නකො තාරක… “

“ඔව්… සත්තු මරනවා මාළු ඇතිකරනවා… මිනිස්සු කියන්නෙ පුදුම ජාතියක් පියුමි…”

“ඔයා ඒ කිව්වෙ මටත් එක්කද තාරක? මාත් ඉතින් මනුස්සයෙක්නෙ…”

“මෙහෙමයි හැම මනුස්සයම අමුතුයි…  ඔයත් අමුතුයි… ඒත් ඔයා හොඳ කෙනෙක්…”

කතාවෙන්ම දෙදෙනා තෙවන මහළට ගොඩවී තිබිණි.

එවිටම තවත් සේවකයක් ඔවුන් ඉදිරියට පැමිණියේ ය.

“ලොකු සර්ව හම්බවෙන්න ආව දෙන්නා නේද? අන්න අර කාමරේ ලොකු සර් ඉන්නවා… ගිහින් හම්බවෙන්න…”

“ඔව් අයියෙ… හරි අපි යන්නම් බොහොම ස්තුතියි…”

පියුමි සහ තාරක, නිහාල් ජයතිලකගේ කාමරයට යන විට ඔහු මේසයට බරවී යමක් ලියමින් සිටියේය.

“මිස්ටර් නිහාල්… අපි ඔබතුමාව මුණගැහෙන්න ආවෙ…”
තාරක කියූ විට ඔහු හිස ඔසවා කාමරය තුළට එන මෙන් ඔවුනට හිසින් සන් කළේය.

ඔවුන් දෙදෙනා කාමරය තුළට ඇතුළු වූ අතර නිහාල්, ඔහුට ඉදිරියෙන් වූ හිස් පුටු දෙසට අත දිගු කර අසුන්ගන්ට පැවසීය. තාරකත් පියුමිත් අසුන් ගත් අතර මිනිත්තු දෙකක් පමණ තම ලේඛනයට එබී සිටි නිහාල්, හිස ඔසවා කතා කිරීමට පටන් ගත්තේය.

“ඔය දෙන්නා අපූරු හොයාගැනීමක් කළාලු නේද? ඉතින් ඇයි ඒක කියන්න මං ගාවටම එන්න හිතුණෙ…?”

නිහාල් අසද්දී පියුමි උඩ බිම බලන්නට විය. මන්දයත් තාරක ඒ කිසිවක් ඇයට පවසා තිබුණේ නැත.

“මෙහෙමයි සර්… අපි සිංහරාජෙ ට්‍රිප් එකක් ගියා… ඒ යනකොට අතරමං වෙලා ගල් ගුහාවකට යැවුණා… එතන තනිකරම තිබ්බෙ අර මං කිව්ව ජාති…”

“මොනවා…රත්තරන්…?”

“ඔව් සර් ඒක ලොකු නිධානයක්… ඉතින් අපිට කරගන්න දෙයක් නැති වුණා මොකද අතරමං වෙලා හිටියෙ… සර්ට සැකයි නම් මේක බලන්නකෝ…”

තාරක සිය කලිසම් සාක්කුවෙන් මැණික් ගල් ඇල්ලූ  විශාල මාලයක් ගන්නා විට නිහාල් මෙන්ම පියුමිද දෑස් දල්වා බලා සිටියෝය.

“මේක ඇත්තම රත්තරං සර්… ඉතින් ඕවා මේ රජයට කිය කියා හිටියනම් එයාලා තනියෙන් කොල්ලකන එකනෙ කරන්නෙ… සර්ට කිව්වම ඉතින් අපිටත් පොඩි ගාණක් හරි ලැබෙයිනෙ…”
තාරක කීය.

“ඒක නම් ඇත්ත… පොඩි ගාණක් නෙමෙයි කොල්ලෝ… මේ ඔත්තුවට ඔයාලට දෙන්නම් සීයට දහයක්ම… “

“සර් මාලෙ අරන් බලන්නකෝ සර්ට තේරෙයි…”
නිහාල් ජයතිලක රන් මාලය අතට ගත්තේය.

එක්වරම ඔහුගේ දෑස් කහ පැහැ ගැන්වෙනු පියුමිත් තාරකත් දුටුවෝය.

මීළඟ කොටසින් හමුවෙමු