අයෝධ්‍යා කිරිඇල්ල විසිනි.
අප දෙදෙනා ඇවිද ගියේ ශබ්ද නොනැඟෙන තරම් සීරුවෙනි. එක්වරම මා දුටුවේ ඡායාවකි.
“තාරක.. අර..”
“ෂ්… මම දැක්කා සද්ද කරන්න එපා…”
එම රුව දෙසට සෙමෙන් සෙමෙන් ළං වූ අපි දෙදෙනා වී විශාල ගසකට මුවා වී ඒ දෙස බලා සිටියෙමු.
මිනිස් රුවක් අසල බිම වැටී සිටියේ මා මරුමුවට පත් කිරීමට පැමිණි වල් ඌරා ය. මිනිසා ඌ පිරික්සමින් සිටි අතර වල් ඌරාට වෙඩි වැදී මරුමුවට පත් වී ඇති බැව් මට බැලූ බැල්මටම පෙනුණි.
“ඌට වෙඩි තියලා තාරක.. “
මම කීමි.
එක්වරම අප සිටි දිශාවට හැරී බැලූ මිනිසාගේ දෑසට මගේ දෑස හමු විය.
ඔහු වහා අප දෙසට එන්නට විය.
මම තාරකගේ අත තද කර අල්වා ගතිමි.
“බය වෙන්න එපා…”
තරක මිමිණී ය.
නමුත් එම මිනිසාගේ තිබුණේ මහා නපුරු පෙනුමකි.
“කවුද උඹලා.. මොනාද මේ මහ කැළේ කරන්නෙ..?”
ඔහු ඇසුවේ අප දෙසට සිය දඩයම් තුවක්කුව එක්ක කරමිනි.
“අපි මේ කැලේ ඇවිදින්න ආවා…”
තාරක කී අතර මම ඔහු දෙස කුතුහලයෙන් බැලුවෙමි.
ඔහු වනජීවී නිලධාරියකු බව මොහුට සඟවන්නේ ඇයි? මා අසල සිටින නිසා මට අනතුරක් වේ යැයි බියෙන් ද?
“ආ එහෙමද ? හැබැයි මේ කැලේ කියන්නෙ අපේ අඩවිය.. මේකට එහෙම හැමෝටම යන්න එන්න බෑ..”
තාරක කිසිත් නොකියා ඉවසුවේ ය.
නමුත් මට තවදුරටත් එසේ සිටිය නොහැකි විය. මොහු කෙතරම් භයානක පුද්ගලයකු වුවද වනය ගැන තනි අයිතියක් ඔහුට ලැබෙන්නේ කෙසේද?
“මේ අහන්න.. මෙතන ඉන්නෙ වනජීවී එකේ නිලධාරියෙක්.. එයාට වගකීමක් තියෙනවා මේවා ගැන.. ඔයා නේද මේ වල් ඌරාව මරුවෙ..? ඇයි එහෙම කළේ..?”
තාරක හිස දෙපසට වනද්දී මම දිරිගෙන ඔහුගෙන් ඇසීමි.
“වනජීවී… මේකා..”
දඩයක්කරු කොක් හඬ ලා සිනාසුණේ ය.
“මේකේ ඉන්න හැම වනජීවී එකෙක්වම අපි දන්නවා.. අලුතෙන් ආවත් අපි දන්නවා.. ඒත් මෙහෙම එකෙක් දැකලා නෑ.. අනිත් එක ඔව්.. ඌරා මැරුවෙ මං තමා පුංචි නෝනා.. මසට විකුණන්න.. අපි සත්තු මරනවා ගස් කපනවා.. අපි වනජීවී එකට බයක් නෑ.. මොකද උන් රූකඩ.. අපේ ලොක්කන්ගෙ අතේ නැටවෙන රූකඩ..”
ඔහු තවදුරටත් කීවේ සිනාසෙමිනි.
“තාරක.. “
මම ඔහුගේ අත කෙනිත්තුවෙමි.
“මැරිච්ච ඌරට පණ දෙන්න බෑනෙ දැන්.. අපි මෙතනින් යමු..”
“ඔයාට ගාණක් නැද්ද තාරක..? මේ අපේ පරිසරේ විනාශ වෙලා යන්නෙ.. තව අවුරුදු දහයක් පහලවක් යද්දිම මේ කැලේ අන්තිම සතත් මැරේවි.. අන්තිම ගහත් කැපේවි.. එතකොට..”
මම බෙරිහන් දුනිමි.
“පුංචි නෝනගෙ කට ටිකක් වැඩියි නේද ? ඔය බයිලා අදාල නෑ… ඔය ටික අපේ ලොක්කෙක් ඉස්සරහා කිව්වනම් පුංචි නෝනට වෙන දේ හිතාගන්න බෑ..”
“ඇයි මට මොනා කරන්නද? මාවත් අර ඌරව වගෙ වෙඩි තියලා මරලා දාන්න ද?”
මම ඔහු ඉදිරියට ගියේ තාරකගේ අත ගසා දමමිනි.
“අනේ ඔයා වගෙ ලස්සන කෙල්ලෙක්ව කොහොමද එහෙම වෙඩි තියලා මරන්නෙ.. ඊට කලින් විඳගන්න කොච්චර දේවල් තියෙනවද ? ඔයාව මරන්නෙ නෑ.. “
“ආ බොස් ඇවිත්..”
දඩයක්කරු කීය.
දඩයක්කරුට පසුපසින් ආ තවත් මිනිසෙක් මා ඉදිරියට පැමිණියේ අත දිගු කරමිනි. ඔහුගේ අත මගේ සිරුර වෙත ළඟා වන විටම මට දැනුණේ මහා සුළඟක් හමා ඔහු විසි වී යන අයුරිනි.
තාරක, එම මිනිසා දිගු කළ අත කඩා, ඔහු ඔසවා විසි කර තිබිණි. මා බලන විට ඔහු සිහිසුන්ව පසෙකින් වැටී සිටියේ ය.
තාරක සිටියේ බැලීමට අපහසු තරම් රක්ත දෑසකිනි. එවිටම දඩයක්කරුගේ තුවක්කුව තාරක දෙසට එල්ල වූ අතර එයින් උණ්ඩයක් නිකුත් විය. එය ඔහුගේ ළය මතට පතිත වනු මම දුටුවෙමි.
“තාරක…”
මම බෙරිහන් දුනිමි.
උණ්ඩය ගණනකට වත් නොගත් තාරක ඉදිරියට පැන දඩයක්කරුගේ තුවක්කුව උදුරා ගත්තේ ය.
“උඹලගෙ භූමිය රැක්කෙ නැත්තම්.. ජීවිත ඉතිරි වෙන්නෙ නෑ මෝඩ මිනිස්සුනේ.. තේරුම් ගන්න ඒක.. ඒක තේරුම් කරවන්නයි මං ඇවිත් ඉන්නෙත්.. අනික මා එක්ක ඉන්න මේ ගෑනු ළමයට අතක් තිබ්බොත් උඹලා ඉතුරු වෙන්නෙ නෑ.. අත තියන්න කලින් අත කැඩුවෙ.. “
තාරක ඉතා පහසුවෙන් තුවක්කුව දෙකට කඩා දමද්දී දඩයක්කරු සිටියේ දෑස් අදහාගත නොහැකිවය. කමිසය සිදුරු කළ උණ්ඩයේ සළකුණ තිබියදී පවා මෙතරම් හපන්කම් කරන්නෙ කෙසේ දැයි දඩයක්කරුට මෙන්ම මට ද පුදුමයට කාරණාවක් විය.
“මේ භූමිය අපි කොහොමහරි රැකගන්නවා.. උඹලා වගෙ පව්කාරයන්ගෙ ලේ හළලා හරී..”
“ඔ.. ඔ.. ක..”
තාරක, ගොතගසමින් සිටි දඩයක්කරු ද ඔසවා අනෙක් මිනිසා දෙසටම විසි කළේ ය.
“තාරක… ඔයාට.. වෙඩි වැදුණා.. සේරම මම නිසා.. කෝ.. ඔයාට අමාරුයි.. “
මම ඔහුගේ උණ්ඩයෙන් සිදුරු වූ කමිසය මෑත් කළෙමි.
එහි වෙඩි වැදීමෙන් සිදු වූ තුවාලයක් තිබුණේ නැත.
මම පුදුමයෙන් තාරක දෙස බැලීමි.
මීළඟ කොටසින් හමුවෙමු.
Comments are closed for this post.