දිනකර චණ්ඩ විය සිහිලැස නැත දැනුණේ
ඵලබර වෘක්ෂයන් දිලුණේ නැත මෙදිනේ
රසබර විහඟ කන්කළු නද නැත ඇසුණේ
මනහර වසත් කල නුඹ සැඟවුණේ කොතැනේ ?
ඈතින් පෙනෙන සඳවත රහසෙම හැඬුවා
හීනෙන් දකින වස්සානය හද රඳවා
දෑසින් වැටෙන කඳුලැලි මිහිමව තෙමුවා
පාමින් නඟන හසරැල් රැළි අද නැතුවා
සුවඳැති රෝස කුසුමන් සතොසින් සැලුණා
අදරැති රැඟුම් පා සමනලයින් ඇදුණා
මිහිරැති පැණි වලින් මී වදයන් පිරුණා
සොඳුරැති වසත් සමයක් අපටත් තිබුණා
රඹකැන් ඉදී සුවඳින් ලෝකය පිරුණා
දඹරන් විලස දිලෙමින් අඹ ගෙඩි පැසුණා
විළිකුන් පේර මොර රඹුටන් රස දැනුණා
සතොසින් ගෙවූ වස්සානය හද මැවුණා
මනරම් රැඟුම් පාමින් තුටු සිනහ පපා
සිතුවම් අසිරි මවමින් තුරු අතර දපා
විස්කම් පොඩි පාමින් කැළ විහඟ උපා
කෙතරම් වෙහෙසුණත් අද දුක විඳියි අපා
අවුලා ගිමන් ගිනි වස්සානය මැකුණේ
වෙව්ලා බියෙන් කම්පාවෙන් ලොව සැලුණේ
මෙව්ලා මිණි සරින් ජය නද නැත ඇසුණේ
කොවුලා සොවින් තැවෙමින් සැඟවුණෙ කොතැනේ ?
සමනල් සියොත් කැළ ළසොවින් සිටිති බලා
සුවිසල් තුරුලතා පල දැරු පාළු වෙලා
නෙක මල් මුකුලිතයි හොරැහින් කඳුලු සලා
මනකල් වසත් කල ගිමනට යටත් වෙලා
සොඳුරුය වසත් කල එය සිහිනයක් වුණේ
රුදුරුය ගිමන් කල කටුකයි වෙහෙස දැනේ
අඳුරුය වසන් කළ අසිරිය ඈත පෙනේ
ඉදිරිය කුමන කල වේදෝ තව නොදැනේ
අයෝධ්‍යා කිරිඇල්ල විසිනි
Comments are closed for this post.