අයෝධ්‍යා කිරිඇල්ල විසිනි

“ඇත්තටම අපි පුදුම බයකින් හිටියෙ තාරක ඔයාට කරදරයක් කළාද කියලා”
ටානියා කීවේ පියුමිගේ කර වටා අතක් දමා ගනිමිනි.

“කරදර වුණා වෙන වෙන කරදර… තාරක හිටියෙ නැත්තම් තමයි මං ඉවර වෙන්නෙ… මේ ඒක නෙමෙයි මේ කැලේ වනසන අයට විරුද්ධව අපිට මුකුත් කරන්න බැරිද?”
පියුමි ඇසුවා ය.

“මෙහෙමයි පියුමි… වනජීවී එකට තමයි ඒකට අයිතිය තියෙන්නෙ… ඒත් ඕවට සම්බන්ධ ලොකු ලොකු තැන් නිසා ඉතින් එයාලටත් කට වහගෙන ඉන්න තමා වෙලා තියෙන්නෙ… “
අසේල සර් කීය.

“ඩොක්ටර් අසේල හරියටම හරි… ඒත් මෙහෙම කට වහගෙන ඉන්න එකෙන් අපිට නැතිවෙන්නෙ අපේ පරිසරය… අපේ අනාගතය… ලංකාව කාන්තාරයක් වෙලා නවතීවි…”
උදාර කීවේ වේදනාවෙනි.

“අපි උද්ඝෝෂණ කරන්නද උදාර…? කවුද අපිව ගණන් ගන්නෙ? නැති ප්‍රශ්න වලට අත දාන්න ගිහින් වෙන්නෙ අපිට ප්‍රශ්න වැඩි වෙන එක විතරයි…”
ආකාශ් කීය.

“අයියෝ ආකාශ්… ඔයා නම් කියලා වැඩක් නෑ… ඔහොම කම්මැලි  වුණොත්… දුර්වල වුණොත් නෙගටිවි හිතුවොත් කවදාවත්ම කිසි දෙයක් හරියට කරගන්න නම් හම්බවෙන්නෙ නෑ…”
පියුමි කීවා ය.

“හරි හරි දැන් කතාවෙන් ඔන්න කෑම්ප් එකටම ඇවිත්… ඔයාලගෙ ලෙසන් එකක් පටන් අරගෙන තියෙන්නෙ… පියුමි… ඔයා ඩොක්ටර් සුනිල් හම්බවෙන්න යන්න… අනිත් අය ලෙසන් එකට..”
අසේල සර් පැවසූ විට පිරිස විසිර ගියහ.


ආචාර්ය සුනිල් හට සියල්ල පැවසූව ද තාරක කියූ පරිදි දියේ ගිලීමේ සිදුවීම පැවසුවේ නැත. තරකගෙන් ඇයට කිසිදු අනතුරක් සිදුව නොතිබූ  නිසා ආචාර්ය සුනිල් පියුමිට දොස් නොනැඟූ මුත් නැවත මෙවන් ගමනකට අවසර නොදෙන බව අවධාරණයෙන් කියා  සිටියේ ය.   එමෙන්ම තාරකගේ සැබෑ අනන්‍යතාව ඈ සැමගෙන්ම සැඟවූවා ය. තාරක පිටසක්වල ජීවියකු වුවද යහපත් අයෙකි. ඔහුගෙන් ඇයගේ දිවි බේරුණා මිස දිවි අනතුරේ වැටුණේ නැත. එබැවින් තවමත් ඔහු නොපැවසූ මෙහෙයුමේ කොටසක් වීමට ලැබීම පියුමිට මහත් සතුටක් විය. ඒ මෙහෙයුම කුමක් විය හැකිද? එය පෘතුවිය ආක්‍රමණය කිරීම නම් විය නොහැක. එහෙත් අනිවාර්යෙන්ම මන්දාකිනි පසු කරගෙන ඔහු පැමිණ ඇත්තේ සුළු දෙයකට ද විය නොහැක.

ඉන්පසු පියුමි නැවත තම සගයන් වෙත ගිය අතර සුපුරුදු ලෙස සිය අධ්‍යනය කටයුතු වල නිරත වූවා ය. එහෙත් ඇගේ සිත වටා පිටසක්වල ජීවීන් හොල්මන් කරමින් තිබිණි.
මැනුම් කඳවුර තව දින දෙකකින් අවසන් වීමට නියමිතය. මේ දින දෙක තුළ තාරකගේ මෙහෙයුමට උදව් කරන්නේ කෙසේ ද? ඈ සිතමින් උන්නා ය.

සවස් වරුවේ ඇය මවිතයට පත් කරමින් තාරක නැවතත් ඇය වෙත පැමිණ සිටියේ ය.

” ආ මේ තාරක ඇවිත් ඉන්නෙ… චණ්ඩි කමක් කළා කියලා ආරංචියි…”
ආචාර්ය සුනිල් පැවසීය.

“එහෙමමත් නෑ සර්… පියුමි උන් එක්ක කටගහන්න ගියානෙ… උන් කෙල්ලට මොනාහරි කරයි කියලා තමයි මම උන්ට ගැහුවෙ..”

” එහෙනම් ඒ පියුමි නිසා… මාර වයිල්ඩ් ලයිෆ් ඔෆිසර් කෙනෙක් තමයි… තමන් ඉන්න කැලේ වනසනවා මුකුත් කරන්නෙ නෑ… කෙල්ලට කරදර කරයි කියලයි චණ්ඩි වුණෙ…”

කෙවින් සිනාසෙමින් කියද්දී පියුමිගේ මුහුණ රතු විය. උදාර සිටියේ රවමිනි.

“එහෙම දෙයක් නෑ… ඔය මිනිස්සු කණ්ඩායම ගැන මං දැන් සති දෙකක් තිස්සෙ ඇහැ ගහගෙන ඉන්නෙ… උන් කැලේට කරන්න පුළුවන් උපරිම හානිය කරනවා… ගස් කපනවා… සත්තු මරනවා… ඒ විතරක් නෙමෙයි නිධානත් හාරනවා…”

“සති දෙකක් තිස්සෙ ඇහැ ගහගෙන නම් ඇයි මුකුත් නොකරන්නෙ?”
උදාර ඇසීය.

“අර මම කළා වගෙ උන්ට ගහලා බැනලා එලෙව්වත් අල්ලගෙන ගිහින් පොලිස් කූඩුවට දැම්මත් මේක නතර වෙන්නෙ නෑ… එතකොට වෙන්නෙ තව කණ්ඩායමක් මෙතනට එන එක… ඒ නිසයි මම ඉවසගෙන ඉන්නෙ…”
තාරක කීය.

“අපිට ඕවා විසඳන්න බෑ තාරක… ඔන්න ඔහෙ පැත්තකට වෙලා ඉන්න එක තමා හොඳම දේ”
ආකාශ් කීවේ ය.

“ඒක නම් හරියන්නෙ  නෑ… ඉවසනවා කියන්නෙ පැත්තකට වෙලා ඉන්නවා කියන එක නම් නෙමෙයි… හොඳ ප්ලෑන් එකක් ගහනවා කියන එක… මොකද අපි මේ සටන කරන්න ඕනෙ මේ කැලෑ කන කණ්ඩායමේ ඉන්න පොඩි පොඩි අය එක්ක නෙමෙයි… මෙයාලා රූකඩ විතරයි… අපි සටන කරන්න ඕන මේ රූකඩ මෙහෙයවන අයත් එක්ක…”
තාරක කීය.

“බුදු අම්මෝ අපිට අපේ ජීවිතත් නැති වෙයි ඕවා කරන ලොකු ලොක්කන්ට පාඩම් උගන්නන්න ගිහින්…”
ආකාශ් කීය.

“ආකාශ්… ජීවිතේ නැති කරගෙන හරි මම නම් ඒ දේ කරනවා… මොකද අපිට ජීවිතේ දීලා තියෙන්නෙ මේ සොබාදහම… ඉතින් මට බෑ සොබාදහමට ද්‍රෝහි වෙන්න…”
පියුමි කීවේ තාරක දෙස බලමිනි.

“තැන්ක් යූ පියුමි මා එක්ක ඉන්නවට… ඒත් මට ඔය හැමෝගෙම උදව්ව ඕනෙ…”

“අනිවාර්යෙන්ම අපි ඉන්නවා තාරක… ඔයා කරන්නෙ හොඳ වැඩක් දරුවො…”
ආචාර්ය සුනිල් ද පැවසීය.

“හරි ඉතින් අපි මොකද කරන්නෙ මේකට…?”
උදාර ඇසුවේ ය.

“හිතන්න ඕනෙ… ඉක්මනටම…”
තාරක කීය.

“කට්ටිය දැන් යන්න එහෙනම් අන්න මුදිතා මිස් ඔයාලව හොයනවා… “
සුනිල් සර් කියද්දී පිරිස විසිර ගියහ.

“පියුමි මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද?”

“අපොයි පුළුවන් තාරක… ඔයා එක්ක කතා කරන්න තමයි මං මේ ඉවසිල්ලක් නැතුව ඉන්නෙ… මෙහෙයුම ගැන මට කිව්වෙ නෑනෙ…”
අන් අය ගිය පසු පියුමි කීවා ය.

“මෙහෙයුම… මේක තමා පියුමි මෙහෙයුම… අපිට ජීවිතේ දුන්න පරිසරය රැකගන්න එක… “

තාරක කීය.

මීළඟ කොටසින් හමුවෙමු.