අයෝධ්‍යා කිරිඇල්ල විසිනි

“මේ ළමයට හොඳටම අමාරුයි… හොඳම දේ අපි ඉස්පිරිතාලෙකට අරන් යන එක…”

“ඔව් මුදතා මිස් හරි…”
උදාර ද කීය.

“එපා… එයා හොස්පිටල් යන්න නම් කැමති වෙන එකක් නෑ… අපිට මෙහෙ තියාගෙන හොඳ කරගන්න පුළුවන් වෙයි”
පියුමි කඳුලු පිසදමාගනිමින් කීවාය.

තාරක සිය බලයන් යොදා නොගත්තේ ඔහුගේ අනන්‍යතාව එළිවිය හැකි නිසා විය යුතුය. එබැවින් කෙතරම් අසාධ්‍ය වුවද ඔහුව රෝහලකට ඇතුළත් කිරීමෙන් ඔහුගේ සිරුරේ වෙනස් කම් අනාවරණය වී ඔහුගේ අනන්‍යතාව හෙළි වීමට ඉඩ ඇත.  කල්පනාකාරීව කටයුතු කළ පියුමි ඔහුව රෝහලකට ගෙන යාමට අවශ්‍ය නොවනු ඇතැයි පැවසුවේ එබැවිනි. 

“එහෙම හරියන්නෙ නෑනෙ පියුමි… තත්වෙ බරපතලයි… “
උදාර කීය.

“නැහැ… එයාට සනීප වෙයි මං විශ්වාස කරනවා ඒක… අපි එයාව ටෙන්ට් එකකට අරන් ගිහින් බෙහෙත් දාමු…”
පියුමි තරයේම කීවාය.

“එහෙම බෑ පියුමි… මේක ලේසි පහසු දෙයක් නෙමෙයි… භයානකයි හිතුමතේ වැඩ කරලා තාරකගෙ ජීවිතේට හානියක් වෙන්න දෙන්න බෑනෙ…”
ආචාර්ය සුනිල් කීය.

“එපා… කොහෙවත්… යන්න… බෑ…. මෙහෙ… ඉන්නම්…”
දෑස් විවර කළ තාරක කෙඳිරිගාමින් කීවේය.

“අනේ මන්දා කැමැත්තක් මෙයාව ටෙන්ට් එකකට අරගෙන යමු…”
උදාරත් අසේල සරුත් කෙවිනුත් තිදෙනාම තාරකව ඔසවාගෙන කූඩාරමක් වෙත ගියෝය.


“තාරක…”

“ම්…”

“දැන් කොහොමද ඔයාට…?”

“ඇත්තටම මට ඉබේ හොඳ වෙන්න පුළුවන් පියුමි… ඒත් ඒක කළොත් කට්ටිය සැක හිතාවි…”

තාරක කීවේ සිය බැන්ඩේජ් පටි පිරිමදිමිනි.

“මට තේරෙනවා… ඔයා එයාලට ගැහුවෙ නැත්තෙ කට්ටිය හිටපු නිසා නේද?”

“ඔව්… මං ඒලියන් කෙනෙක් කියලා වෙන කවුරුවත් දැනගන්න ඕනෙ නැහැ… මම ඔතන ගහගන්න ගියා නම් හැමෝටම සැක හිතෙනවා… සාමාන්‍ය කෙනෙක් වගෙ ඉන්නයි මම හදන්නෙ…”

“ඉතින් අපි මේකට මොකද කරන්නෙ තාරක…?”

“ඔයා අරක ආකාශ්ගෙන් ඇහුවද?”

“අනේ නෑ තාරක සොරි… මම දැන් ගිය ගමන්ම අහන්නම්… ඔයාට වෙච්චි කරදරේ නිසා මට ඒක අමතක වුණානෙ…”

“මං නෙමෙයි කරදරේ වැටිලා හිටියෙ ඔයා… අං බය වුණ තරම… අර අණක් ගුණක් නැති මිනිස්සු ඔයාට වෙඩි තියයි කියලා…”

“මං ජීවිතේ ගැන ආසාව ඇත්තටම අතෑරලා තිබ්බෙ…”

“විකාර… ඔයාට මුකුත් වෙන්න මම ඉඩදෙන්නෙ නෑ… අනික ඔයා තමයි මේ සටන ඉස්සරහට ගෙනියන කෙනා…”

“සටන? එතකොට ඔයා?”

“මං ඔයාලගෙ කෙනෙක් නෙමෙයි පියුමි… මේ දේ ඔයාට බාර දීලා මට ආපහු යන්න වෙනවා…”

“ඔයාලගෙ ලෝකෙට?”

“ඔව් පියුමි…”

“ඒත් එහෙ ඉන්න අමාරුයිනෙ… ඔයා ආස මෙහෙටනෙ… අපි එක්ක මෙහෙ ඉන්න තාරක…”

“ඒක කරන්න බෑ… මම ඔයාට මේ වගකීම දීලා ඉක්මනින්ම යනවා… මට යන්න වෙනවා… “

“මට මොකක්ද කරන්න තියෙන්නෙ?”

“මේකයි ප්ලෑන් එක… අපි ආකාශ්ගෙන් දැනගන්නවා කවුද මේවා පිටිපස්සෙ ඉන්නෙ කියලා… හදිස්සියෙවත් ඒක කරන්න බැරි නම් මට පුළුවන් පොඩි වැඩක් කරලා හොයාගන්න… ඊළඟට අපි දෙන්නා ඒ මනුස්සයා හොයාගෙන යන්න ඕන…”

“අපි දෙන්නා? අපි කොහොමද යන්නෙ එහෙම? එහෙම යන්න පුළුවන් ද?”
පියුමි ඇසුවේ පුදුමයෙනි.

“පුළුවන් පියුමි… ඒක අමාරු වෙන්නෙ නෑ… “

“ඊට පස්සෙ…?”

“ඊට පස්සෙ ඉතින් පහුවෙනිදා ඉඳලම මේ ජාවාරම නවතීවි… “

“අපි එයාලව මරනවද තාරක?”

“විකාරද ළමයො? කිසිම හානියක් කරන්නෙ නෑ අපි… ඔයාට මම ඒ දේ  කරන විදිය කියලා දුන්නම  ඔයාට පුළුවන් ඉස්සරහට වෙන අනිත් විනාශ නවත්තගන්න…”

“එහෙනම් ඒක ලොකු දෙයක්… එතකොට අපි හෙට ආපහු ගියාම තමා මේක කරන්න වෙන්නෙ නේද? “

“ඔව් හෙට ඔයාලා මෙහෙන් යනවනෙ… මට හෙට ඉඳලා තව සතියක් ඉන්න පුළුවන්… ඒ අතරෙ අපි මේක විසඳමු…”

“එහෙනම් ඔයා ඉන්නෙ තව සතියයි…”

“හ්ම්… පියුමි… පුළුවන් ඉක්මනින් ආකාශ්ගෙන් අහන්නකෝ එහෙම නැත්තම් මගෙ ප්ලෑන් බී එකට යනව නම් අදම නැත්තම් හෙට උදේම ඒක කරන්න වෙනවා…”

“හරි තාරක… ඔයා ඔහොමම ඉන්නකෝ… මං දැන්ම ඉක්මනින්ම ආකාශ්ව හම්බවෙලා එන්නම්…”

පියුමි ඉක්මනින්ම ආකාශ් සොයා  ගියා ය.


“පියුමි… දැන් කොහොමද තාරකට? අපරාදෙ ඒ මනුස්සයා ගුටි කෑවෙ… එදා ඕක ගොඩින් බේරගත්තා නම් ඔය මුකුත් නෑ…”

” එයාට එදා තරහ ගියා… මට කරදර කරන්න ගියාම… අනේ මන්දා මේ ජරා මිනිස්සු…”

“ම්… ඔයාට කරදර කරන්න ගිය එක වැරදියි තමයි ඒත් උන් එක්ක පැටලෙන්න හොඳ නෑ…”

“එයාලා කවුද කියලා දන්නවද ආකාශ්…?”

“මං උන්ව දන්නෙ නෑ පියුමි… ඒත් උන් කාගෙ අයද කියලා නම් පොඩි අදහසක් තියෙනවා…”

“කාගෙ අයද ආකාශ්?”

“අපිට පැටලෙන්න බෑ ඕකට… “

“ඒ ඇයි…?”

“ඕකෙ උඩින්ම ඉන්නෙ මිස්ටර් නිහාල් ජයතිලක… “

“නිහාල් ජයතිලක…?”
පියුමි පුදුමයෙන් ඇසුවාය.

“හ්ම්… ඔව් හිතන්නවත් බෑ නේද? “

“කොහෙ හිතන්නද ආකාශ් ? ඒ මනුස්සයා තරම් හොඳ කෙනෙක් නෑ මේ රටේ මිනිස්සුන්ට…”

“ම්… ඒක වෙස් මූණක් අපි ඔය මොනාටවත් නැත්තෙ ඒකයි… මං හැමදාම කළේ ඇඟ බේරගෙන පැත්‍තකට වෙලා ඉන්න එක… ඒක අදටත් එහෙමයි…”

ආකාශ් කීවේ ලොකු හුස්මක් ගනිමිනි.

මීළඟ කොටසින් හමුවෙමු.