අයෝධ්‍යා කිරිඇල්ල විසිනි

කඳවුරේ අවසාන දිනය ද නිමාවී සියල්ලන්ම නැවතත් තම නිවෙස් බලා ඇදුණේ තාරකට සමු දෙමිනි. නමුත් ඔහුගේ දුරකතන අංකය බොහෝ අයගේ දුරකතන වල සටහන් වූ අතර ඔහු පියුමිට පැවසුවේ දින දෙකක් ඇතුළත මෙහෙයුම සඳහා ඇයව සම්බන්ධ කරගන්නා බවයි. ඇය විසින් ආකාශ් පැවසූ නම හෙළි කර තිබූ අතර ඔහු සොයා යාමට පොටක් පාදාගැනීම දින දෙකක් තුළ සිදුකිරීම තාරකගේ අරමුණ විය.

“පියුමි… කොහොමද දූ ට්‍රිප් එක…?”

“ඒක නම් නියමයි අම්මෙ… ඒත් අපිට කැලේ වනසන හොරු වගයක් හම්බුණා… පුදුම මිනිස්සු…”

“ඔයාලා පැටළෙන්න ගියාද දූ අපොයි…”

“නෑ නෑ අම්මෙ එහෙමටම නෑ…”
පියුමි කීවේ සත්‍ය සඟවමිනි.

“එහෙදි මරු යාළුවෙක් හම්බුණා තාරක කියලා.. වනජීවී එකේ එක්කෙනෙක්… එයාගෙ වැඩකට මාත් සම්බන්ධ වෙන්නයි යන්නෙ…”

“ඒ කිව්වෙ…?”

“පරිසරය සුරකින මෙහෙයුමක්… “

“මොකක්..? රණ්ඩු වලට යන වැඩට නම් අපෙන් අවසර නෑ ඔන්න…”
මව කීවාය.

“නෑ නෑ බය වෙන්න එපා… එහෙම වෙන්නෙ නෑ සාමකාමී ප්‍රතිපත්ති තියෙන්නෙ… අනිත් එක එයා ළඟදිම එයි ඒ වැඩේ පටන් ගන්න… අපි යන්නෙ ඒ පරිසර විනාශ වලට මුල් වෙන අය හොයාගෙන සාකච්ඡා කරන්න…”

“ඕක භයානකයි ළමයො… අන්තිමට වෙන්නෙ පොලීසි ගානෙ යන්න වෙන එක… ජීවිතෙත් අවදානම්…”
ඇය කීවේ බියෙනි.

“නෑ නෑ තාරක ඒ සේරම බලාගනීවි…”

“අනේ මන්දා… එතකොට ඔයාගෙ සෙට් එකේ අනිත් අය මේකට සම්බන්ධ නැද්ද දූ…?

“ඉන්නවා ඉන්නවා මං විතරක් නෙමෙයි…”
ඈ තවත් බොරුවක් කීවාය.

“එහෙනම් කමක් නෑ මොනා වුණත් පරිස්සමෙන්…”

“මං පරිස්සමෙන් තමා අම්මෙ ඉන්නෙ… බය වෙන්න එපා…”
පියුමි කීවේ සිය මව වටා දෑත් යවමිනි.


තවත් දිනකට උදය උදා විය. පියුමි අවදි වූයේ සිය ජංගම දුරකතනයේ ශබ්දයෙනි.

“හෙලෝ පියුමි…”
ඒ තාරකගේ හඬයි.

“ඔව් කියන්න තාරක… වැඩේ හරිද?”

“ඔව්… සේරම හරි… අපිට අද හවසම වැඩේ පටන් ගන්න තිබ්බා… ඒත් එපොයින්ට්මන්ට් එක ලැබුණෙ අනිද්දා උදේ දහයට…”

“එපොයින්ට්මන්ට් එක කියන්නෙ නිහාල් ජයතිලකව හම්බවෙන්නද?”
පියුමි ඇසුවාය.

“ඔව් ඔව් ඒ මනුස්සයාව හම්බවෙන්න තමයි… මම කොහොමහරි කරගත්තා වැඩේ…”

“ඔයා නියමයි තාරක…”

“නියමයිද කියලා බලමු අනිද්දට… ඇත්තටම මේක ගොඩක් හිතලා කරන්න ඕන වැඩක්…”

“කෝ ඉතින් ඔයා මට මොකද්ද කියලවත් කියන්නෙ නෑනෙ…”

“කිව්වට තේරෙන්නෙ නෑ පියුමි… ඔයා බලාගෙන ඉන්න එතකොට තමයි තේරෙන්නෙ…”

“හරි දැන් මං අනිද්දා උදේ දහයට කොහෙටද එන්න ඕනෙ…?”

“ඔයාව ගන්න මම එන්නම් ගම්පහ ටවුන් එකට… කමක් නැත්තම් ගෙදරට වුණත් එන්න පුළුවන්…”

“ආ ගෙදරට එන එක හොඳයි තාරක මං අම්මටත් කිව්වා මේ ගැන…”

“ඒක හොඳයි එහෙනම් මම උදේ 8 වගෙ වෙද්දි ඔයාලගෙ ගෙදර එන්නම්… මට ලොකේෂන් එක දාලා තියන්න…”

“හරි තාරක මම ලොකේෂන් එක දාන්නම්…”

“හරි පියුමි එහෙනම් තියන්නම් බායි…”

“බායි තාරක පරිස්සමෙන් ඉන්න…”

ඈ ඇමතුම විසන්ධි කළාය. අනිද්දා උදේ 10 වීමට තවත් පැය තිස් හයකටත් වඩා ඇත. එබැවින් සිතාගත නොහැකි තාරකගේ උපක්‍රමය ගැන සිතීමෙන් වෙහෙසට පත් නොවන බව දැනගත් පියුමි, නාන කාමරය වෙත ගියේ සිය මුව දොවා ගැනීමටය.


එදිනත් පසු දිනත් ගෙවී ගියේ ඉතා මන්දාගාමීවය. කෙසේ සිතුවත් පියුමිගේ සිතේ කැකෑරෙමින් තිබුණේ ලංකාවේ ප්‍රබලයකු වූ නිහාල් ජයතිලකගේ නමයි.

කියූ විලසටම උදෑසන අට වන විට තාරක පැමිණ සිටි අතර පියුමි ද ගමනට සූදානම්ව සිටියා ය.

“හෙලෝ ආන්ටි මම තමා තාරක… පියුමි මං ගැන කියලා තියෙන්න ඕන…”
තාරක පැවසුවේ දොර විවර කළ පියුමිගේ මවටය.

“ආ ඔව් ඔය ළමයා එක්කනේ අර මොකද්ද කරනවයි කිව්වෙ… වනජීවී එකේ කිවා නේද? “

“ආ ඔව් ආන්ටි ඒ මම තමා…”

“මොනවා වුණත් ළමයිනේ කල්පනාවෙන්… කැලෑ කපන එක වැරදියි… සත්තු මරන එක වැරදියි… ඒත්  ඔය ලොකු ලොකු අතු එක්ක හැප්පිලා දිනන්න හරි අමාරුයි… ඒ නිසා පරිස්සමෙන්…”

“මට තේරෙනවා ආන්ටි පොඩ්ඩක්වත් බය වෙන්න එපා… අපි එහෙම ප්‍රශ්න ඇති කරගන්නෙ නෑ…”

“අද ඔය දෙන්නා විතරද යන්නෙ එතකොට?”

“මේකයි අම්මෙ අද යන්නෙ කොළඹනෙ අනිත් අය ඉන්නෙ දුර මේ වැඩේට ළඟ දෙන්නා තමා සම්බන්ධ වෙන්නෙ…”
පියුමි ඉක්මනින් කීවාය.

“හරි එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න…”

“හරි අම්මේ… ගිහින් එන්නම්…”

“ගිහින් එන්නම් ආන්ටි…”

පියුමිත් තාරකත් සිය මෙහෙයුම කරා පිටත් වූහ.

මීළඟ කොටසින් හමුවෙමු.