තිස් අවුරුද්දකට අධික කාලයක් පැවති යුද්ධය අවසන් වූ පසු ශ්‍රී ලංකාව තුල මහාමාර්ග, ගොඩනැගිලි, වාරිමාර්ග, විදුලි බලාගාර, වැනි මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතින් සඳහා විශාල අවධානයක් යොමු වූ අතර ගොඩනැගිලි හා නිවාස සංකීර්ණ, සංචාරක හෝටල් වැනි ව්‍යාපෘතින් සඳහා පෞද්ගලික අංශය පවා කාර්යය බහුල විය.
ශ්‍රී ලංකාවේ ජන ජීවිතයේ ගුණාත්මක සංවර්ධනයක් සඳහා සංවර්ධන ව්‍යාපෘතීන් සිදු කීරීම අත්‍යවශ්‍ය බවත්, ගෝලීයව පවතින නව තාක්ෂණය, නව දැනුම හා නව අදහස් සඳහා මුල් තැන දෙමින් හා සාර්ථක සලැස්මකට අනුව ව්‍යාපෘතින් සිදු කිරීම තුලින් ඉතා සාර්ථක තිරසාර සංවර්ධන ව්‍යාපෘතීන් සිදු කල හැකි බව ක්ෂේත්රයේ විශේෂඥයන් ප්‍රකාශ කරයි. ඔවුන් මෙම අදහස් ප්‍රකාශ කලේ විමර්ශනාත්මක වාර්තාකරණය මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබු “සංවර්ධනයේ නාමයෙන්: ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල පරිසරය සහ සමාජ-ආර්ථික ප්‍රතිවිපාක” යන තේමාව ඔස්සෙ සංවිධානය කරන ලද වැඩසටහනක් අතරතුරදීය.
මෙම වැඩසටහන සඳහා සම්පත් දායකයින් ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සිවිල් ඉංජිනේරු අංශයේ මහාචාර්යවරියක වන මහාචාර්ය ශිරෝමි කරුණාරත්න, මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල්, පරිසර විශේෂඥ, උපදේශිකා, රමණි ඇල්ලේපොල, සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රදීප් තන්තිරිගේ යන ක්ෂේත්රයේ ප්‍රවීණයන් සහභාගි විය.
මෙම සංවාදය මෙහෙයවීම් සිදුකරනු ලැබුයේ විද්‍යා ලේඛකයෙකු, මාධ්‍යවේදියෙකු සහ සංවර්ධන සන්නිවේදන විශේෂඥයෙකු වන නාලක ගුණවර්ධන විසිනි.
“බොහෝ දෙනා EIA හි අඩු පාඩු පිලිබඳව කතා කලත් සම්පූර්ණ ක්‍රියාවලිය සැලකීමේදි . EIA යනු අංග සම්පුර්ණ වාර්තාවක් ලෙස මා දකින්නෙ නෑ. මා සිතන ආකාරයට අසම්පූර්ණ පරිසරයක් සඳහා සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කල නොහැකි කාර්යයක්. නමුත් පසුගිය සමයේදී වූ මහා පරිමාණ යටිතල පහසුකම් ඉදිකිරිම් ක්රියාවලින්ගේදී ඒවා තිරසාර ඉදිකිරීම් ලෙස ඉදිකිරිමෙහි ලා EIA වාර්තාවන් විශාල කාර්යයක් ඉටු කළා” යැයි රමණි ඇල්ලෙපොල ප්‍රකාශ කළාය.
“බොහෝ දෙනා සිතන්නෙ EIA වාර්තාවක් තිබෙන්නෙ ව්‍යාපෘතින් ප්‍රතික්ශේප කිරීමට බවයි. නමුත් සත්‍ය එක නොවේ. නමුත් EIA වාර්තාවක් තිබෙන්නෙ ව්‍යාපෘතීන් තවදුරටත් තිරසාර කිරීමටයි.” ඇල්ලෙපොල වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
ඉදිකිරීම් හා සංවර්ධන ව්‍යාපෘතින් සිදුකිරීම සාමුහික කර්තව්‍යයක් බවත් සංවර්ධනය ව්යාපෘතින්ගෙ සාර්තකත්වය රඳා පවතින්නෙ ඉඳිකිරීම පරිසරයේ කොටසක් ලෙස විශ්වාස කිරීම මත බව මහාචාර්ය ශිරෝමි කරුණාරත්න ප්‍රකාශ කළාය.
“EIA තිරසාර සංවර්ධනය අරමුණු කර ගන්නා ව්‍යාපෘතියක ආරම්භක මෙවලමක් ලෙස සැලකිය හැකි වූවත් මේ වන විට ඒ සඳහා තව නොයෙකුත් මෙවලම් පවතිනවා.” යැයි මහචාර්යය කරුණාරත්න පැවසුවේය.
‘LCA’ සංකල්පය ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නා බවත්, එහිදි නිර්මාණය කරනුයේ ගොඩනැගිලි හෝ වෙනත් යටිතල පහසුකමක් ලෙස නොසලකන අතර ඉඳිකිරිමෙහි සම්පූර්ණ ජීවන චක්‍රයක් පිලිබඳවම සලකනු ලබන බව මහචාර්යය කරුණාරත්න මෙහිදී අදහස් දක්වමින් පැවසීය.
“එහිදී අප කිසියම් ඉදිකිරීමක සැලසුම් සැකසීමේ සිට එම ඉදිකිරිමේ ප්‍රයෝජන ලබාගෙන අවසන් වන කාල සීමාව දක්වා සියලුම අවස්ථාවන් පිලිබඳව සලකනු ලබනවා.”යැයි මහාචාර්ය කරුණාරත්න ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවෙ සංවර්ධනය ව්‍යාපෘතින් සැලකීමේදී ගෝලීය ආකල්ප පිලිබඳව එතරම් සැලකිල්ලක් නොදැක්වීම විශාල අඩුවක් බව ආචාර්යය ප්‍රදීප් තන්තිරිගේ පැවසුවේය. සංවර්ධනය ව්‍යාපෘතින් සම්බන්ධ කරයුතු වලදී රට රටවල්හි එක් එක් දේශ සීමා ලෙස සලකමින් කටයුතු කළ නොහැකි බවත් සමස්ථ පෘථිවිය ලෙස සලකමින් සංවර්ධන ව්‍යාපෘති කළයුතු බවත් ඔහු විසින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
“යුරෝපීය රටවල් හි සංවර්ධන ව්‍යාපෘතීන් සැලකීමේදී ඔවුන්ගේ රාජ්‍ය මට්ටමේ සැලැසුම් මෙන්ම සැලසුම් ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට තරමක දිගු කාලයක් ගනු ලබනවා ඇතැම් ව්‍යාපෘතීන් සිදු කිරීමට වසර දහයක් පමණ ද ඇතැම් ව්‍යාපෘතින් සිදු කිරීමට වසර පනහකට අධික කාලයකුත් ගත කරනු ලබනවා.”යැයි ආචාර්යය තන්තිරිගේ ප්‍රකාශ කළේය.
ඇතැම් ව්‍යාපෘතීන් සැලසුම් කළ ආරම්භ විශේෂඥයන් ව්‍යාපෘතින් අවසන් වන විට ජීවතුන් අතර නොසිටි නමුත් කල් ගතකරමින් ඉතා සාර්ථක තිරසාර සංවර්ධනයන් ඔවුන් සිදුකරන බවත් ආචාර්යය තන්තිරිගේ වැඩිදුරටත් පැවසුවේය.
“ගිය වසර පහක කාලය ඇතුළත ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තුල තිරසාර සංවර්ධනය සහ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ව ධනාත්මක ආකල්ප ඇති වී තිබෙන ආකාරය මා අත්දැක තිබෙනවා.” යැයි ආචාර්ය තන්තිරිගේ ප්‍රකාශ කළේය. එයට හොඳම උදාහරණය වන්නේ මෑත අතීතයේදී සූර්ය පැනල පිළිබඳව යහපත් ආකල්ප ගොඩනැගී ඇති බවත් බොහෝ දෙනා තම නිවෙස් වහලෙ සූර්ය පැනල කිරීමට පෙලඹී තිබීම බවත් යැයි ආචාර්ය තන්තිරිගේ වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.
මෙහිදී මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතින් සඳහා දැනට පවතින සමහර යල්පැන ගිය නීතී හා රෙගුලාසු වලංගු නොවන බව සහ ඒවා යාවත්කාලීන කලයුතු බව ඇල්ලෙපොල විසින් මෙහිදී අදහස් දැක්වමින් පැවසුවාය.
සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේදී පාරිසරික සාධක හා සහ අනාගත පාරිසරික අභියෝග පිළිබඳව නොසලකමින් කටයුතු කිරීමෙන් සැක තිරසාර සංවර්ධනයක් සිදු කළ නොහැකි බව සටහන සඳහා සහභාගි වූ සඳහා සහභාගි වූ විශේෂඥයින් විසින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡා මාලාව විමර්ශන හා වාර්තාකරණ මධ්‍යස්ථානයේ ‘Stories from the Margins’ වැඩසටහන යටතේ එන මහජන දැනුවත් කිරීමේ වැඩසටහනක් වන අතර, එයට Earth Journalism Network සහ Internews විසින් අනුග්‍රහය දක්වමින් සිදු කරන ලද්දකි.
Comments are closed for this post.