ඔසප් අපද්‍රව්‍ය තිරසාර ලෙස බැහැර නොකිරීම දිගුකාලීන ගැටලුවක් වී ඇත. මන්ද ඒ වෙනුවෙන් දැරීමට සිදුවන උපචිත පාරිසරික පිරිවැය අතිමහත්ය. එය භාවිතා කිරීම හා හැසිරවීම හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු රාශියක් වේ.  නිදසුනක් ලෙස මෙන්ස්ටෲල් කප් වැනි පරිසර හිතකාමී සනීපාරක්ෂක නිෂ්පාදන වෙත මාරුවීම පිළිබඳ සංවාදය ඉදිරියට ආ නමුත් එහි ප්‍රගතිය අමිහිරි වන්නේ මන්ද?

ලාභ නොලබන ආයතනයක්වන ‘ටොක්සික්ස් ලින්ක්’හි  වැඩසටහන් සම්බන්ධීකාරක ආකාන්ෂා මෙහ්රෝත්‍රා පවසන පරිදි දැනුවත්භාවය නොමැතිකම සහ අකාබනික නිෂ්පාදන මත වැඩි වශයෙන් යැපීම පරිසර හිතකාමී සනීපාරක්ෂක නිෂ්පාදන වෙත මාරුවීම දුෂ්කර කරයි. ඔවුන් විසින් ඉන්දියානු කාන්තාවන් විසින් ඔසප් අපද්‍රව්‍ය බැහැර කිරීමේ පිළිවෙත් පිළිබඳ වාර්තාවක් මෑතකදී නිකුත් කරන ලදී.

“විශේෂයෙන් ‘මෙන්ස්ටෲල් කප්’ සහ ‘ටැම්පොන්’ වැනි ඇතුළත් කළ හැකි නිෂ්පාදන සම්බන්ධයෙන් වැරදි වැටහීම් මෙන්ම තහනම් කිරීම් ද ඉන්දියානු සමාජය තුළ ගැඹුරින් මුල් බැස තිබේ. එමෙන්ම ඉන්දියාවේ කාබනික අපද්‍රව්‍ය ලෙස බැහැර කල හැකි සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම, අඩු ආදායම්ලාභී පවුල් මෙම නිෂ්පාදන පිළිබඳ සැක සංකා මතු කරයි” යැයි ඇය ඩවුන් ටු අර්ත් වෙත පැවසුවාය.

ජුනි 3වන දින ප්‍රකාශයට පත් කරන ලද ඔසප් නිෂ්පාදන සහ ඒවා බැහැර කිරීම යන මාතෘකාව යටතේ නාගරික ප්‍රදේශවල මෙම ප්‍රවණතා පිළිබඳව අවබෝධයක් ලබා දී ඇත. කාබනික සනීපාරක්ෂක නිෂ්පාදන වෙත මාරුවීම ඉතා දුෂ්කරවන අතර බොහෝ විට දැනුම, ප්‍රවේශය සහ අපකීර්තිය නිසා එය අඩාල වේ.

සමීක්‍ෂණය මඟින් සනාථ වුයේ ඔසප් අපද්‍රව්‍ය වෙන් කල එක් අයකු හෝ නොසිටි බව සහ ඒ සියල්ලම පාහේ භුමි ගොඩකිරීම් සඳහා යොදා ඇති බවයි. නමුත් 2016 දී ඝන අපද්‍රව්‍ය කළමනාකරණ (SWM) රීතීන්ට අනුව, නිර්දේශ කරන ලද්දේ සියලුම ඔසප් අපද්‍රව්‍ය මහා පරිමාණ ජෛව වෛද්‍ය අපද්‍රව්‍ය භාෂ්මක වෙත මාරු කොට දහනය කළ යුතු බවයි.

කාන්තාවන් සිතන දේ

‘ටොක්සික්ස් ලින්ක්’ අධ්‍යයනය මඟින් ඉන්දියානු කාන්තාවන් විසින් ඔසප් නිෂ්පාදන බැහැර කිරීමේදී අනුගමනය කරනු ලබන ඔසප් පිළිවෙත් සහ වෙළඳපොලේ ඇති විවිධ ඔසප් නිෂ්පාදන පිළිබඳ දැනුවත් කිරීම සහ අරමුණු කර ගෙන ඇත. ලැබී ඇති දත්ත කට්ටලය ප්‍රධාන වශයෙන් නවදිල්ලිය, මහාරාෂ්ට්‍ර සහ උත්තර් ප්‍රදේශ්හි කාන්තාවන් 487 දෙනෙකු යොදා ගනිමින් ලබා ගෙන ඇත.

එහිදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 80කට ආසන්න ප්‍රමාණයක් අකාබනික ඉවත දැමිය හැකි සනීපාරක්ෂක නිෂ්පාදන භාවිතා කළහ.

2016 ඝන අපද්‍රව්‍ය කළමනාකරණ (SWM) රීතී මඟින් විස්තර කර ඇති ජෛව වෛද්‍ය අපද්‍රව්‍ය කළමනාකරණ රීතිවලට අනුව, කපු, තුවාල ආවරණ, ප්ලාස්ටර්ස්, ඇඳ ඇතිරිලි ඇතුළු රුධිර හා ශරීර තරල වලින් දූෂිත වූ ද්‍රව්‍ය ජෛව වෛද්‍ය අපද්‍රව්‍යවන අතර ඒවා දහනය හෝ මයික්‍රෝවේව් කොට ව්‍යාධිජනකව විනාශ කල යුතුය.

සමීක්ෂණයට ලක් කළ කාන්තාවන්ගෙන් 1.4% ක් පමනක් දහන ක්‍රමය භාවිතා කරන ලද අතර 54.8% ක් කියා සිටියේ අපද්‍රව්‍ය ඔතා වෙනම භාජනයකට විසි කරන බවයි. නමුත් ඊට සමාන්තරව දිල්ලි අගනුවර අපද්‍රව්‍ය පිරිසිදු කරන කම්කරුවන් 55 දෙනෙකු යොදා ගනිමින් ‘ටෝක්සික් ලින්ක්’ විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ, ඔවුන්ගෙන් 83.6%ක් නිතිපතා එකතු කරන අපද්‍රව්‍ය අතර සනීපාරක්ෂක අපද්‍රව්‍ය සොයා ගත් බවයි. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට සියයක්ම ඔසප් අපද්‍රව්‍ය සාමාන්‍ය අපද්‍රව්‍ය වලින් වෙන් කිරීම ප්‍රතික්ෂේප කළහ.

කාන්තාවන්ගෙන් අඩකට වඩා (57.5%) බැහැර කරනු ලබන සනීපාරක්ෂක (ඔසප්) අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීමෙන් අත්වන ඉරණම සහ පරිසරයට එහි බලපෑම පිළිබඳව අවබෝධයක් නොමැති බව අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ. එහෙත් ඔවුන්ගෙන් සියයට 88ක් පරිසර හිතකාමී විකල්ප වෙත මාරුවීමට කැමැත්තෙන් සිටියහ. 51% ක් තිරසාර සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා වැඩි මුදලක් වැය කිරීමට කැමැත්තෙන් සිටියහ.

“ප්‍රවේශ්‍යතාවය පැමිණෙන්නේ ඉල්ලුමෙනි. කාබනික හා පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා වැඩි ඉල්ලුමක් තිබේ නම්, වෙළඳපල සමෘද්ධිමත්වන අතර දැනුවත්භාවය පිළිබඳ ඉහළ හැඟීමක් ඇති වනවා” යැයි ඇය පැවසුවාය.

වෙන් කිරීම වැදගත් වන්නේ ඇයි?

SWM 2016, අනුව සනීපාරක්ෂක අපද්‍රව්‍ය, නිෂ්පාදකයා හෝ වෙළඳ නාම හිමිකරුවන් විසින් සපයන ලද බෑග්වල ආරක්ෂිතව ඔතා, එවැනි අපද්‍රව්‍ය අනෙක්වා සමඟ මිශ්‍රවීම වළක්වා ගැනීම සඳහා වෙන වෙනම අපද්‍රව්‍ය එකතු කරන්නන් හට භාර දිය යුතුය. 

සමීක්ෂණයට ලක් කළ අපද්‍රව්‍ය සේවකයින්ගෙන් 70%කට ආසන්න සංඛ්‍යාවක් හෙළි කළේ ගෘහස්ථ අපද්‍රව්‍ය සමඟ මිශ්‍රව සනීපාරක්ෂක තුවා ඇති බවයි. නමුත් ඔවුන්ගෙන් 67.3% කට ඔසප් අපද්‍රව්‍ය සමඟ සම්බන්ධ වීම ඔවුන්ගේ සෞඛ්‍යයට අහිතකර විය හැකි දැයි නොදැන සිටියහ.

සමීක්ෂණයෙන් හෙළි වූයේ 29%ක් අපද්‍රව්‍ය එකතු කිරීමේදී හෝ හැසිරවීමේදී කිසිදු පෞද්ගලික ආරක්ෂක උපකරණයක් භාවිතා කර නොමැති බවයි. ඒවා ටෙටනස් සහ හෙපටයිටිස් වැනි රෝග ඇති කළ හැකි ස්ටැෆිලොකොකස්, ඊ කොලයි, සැල්මොනෙල්ලා ටයිෆස් වැනි හානිකර ක්ෂුද්‍ර ජීවීන්ට නිරාවරණය වී, රෝග ඇති කළ හැකිය.

නිසි ආකාරව වෙන් නොකිරීමෙන් දිගුකාලීන බලපෑම් ඇති විය හැක. අවසානයේ අපගේ භුමි රසායනික ද්‍රව්‍ය හා ප්ලාස්ටික් අඩංගු සනීපාරක්ෂක තුවා වලින් ගොඩවනු ඇත. මෙම ප්ලාස්ටික් නිෂ්පාදන අපගේ පරිසරයට නැගී එන තර්ජනයක්වන මයික්‍රොප්ලාස්ටික් ලෙස හැඳින්වෙන කුඩා අංශු බවට පරිවර්තනය විය හැකිය.

“ඔසප් අපද්‍රව්‍ය ජෛව වෛද්‍ය අපද්‍රව්‍ය ලෙස වර්ගීකරණය කිරීම වැදගත්වන අතර එමගින් නිවැරදි තාක්ෂණයන් භාවිතයෙන් නිසි ලෙස බැහැර කිරීම සිදු කළ හැකිය” යනුවෙන් ඇය පැවසුවාය.

හානිය කුමක්ද?

ඔසප් අපද්‍රව්‍ය නුසුදුසු ලෙස කළමනාකරණය කිරීමෙන් දිගු කාලීන බලපෑම් ඇතිවේ. එක්සත් රාජධානියේ පුද්ගලයෙකුගෙන් වසරකට එක් වන ඔසප් අපද්‍රව්‍ය හේතුවෙන් කිලෝග්‍රෑම් 5.3ට ආසන්න කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් විමෝචනය කරන බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ඔසප් අපද්‍රව්‍ය වැසිකිළි වලවල් හෝ ජල පද්ධතීන් වෙත බැහැර කිරීමෙන් ඒවා ජලය සමඟ සෘජුව සම්බන්ධ වන අතර එය පානීය ජලය අපවිත්‍ර කරන බැක්ටීරියා සඳහා ඉතා හොඳ බෝවන ස්ථාන ලෙස කටයුතු කරයි.

එම අපද්‍රව්‍යවල අඩංගු ප්ලාස්ටික් සංරචක පිරිහීමට වසර 400 ක් පමණ අවශ්‍ය වන අතර එසේ සිදු වන්නේද කාබනික එළිමහන් පරිසරයක අපද්‍රව්‍ය දිරාපත් වූ විට පමණි. වාතය නොමැති බැවින් පොලිඑතිලීන් බෑග්වල ඉවතලන අපද්‍රව්‍ය ජීර්ණය වීමට සාමාන්‍ය ජීර්ණ කාලය මෙන් දෙගුණයක් පමණ ගත වේ. නැතහොත් කිසි විටෙකත් ජෛව හායනය නොවීමටද ඉඩ ඇත.

මෙම නිෂ්පාදනවල ඇති තනි භාවිත ප්ලාස්ටික් සංරචක බොහෝ දුරට අවම වශයෙන් ඉදිරි වසර 500 පුරාවට භුමි පිරවුම් ආශ්‍රිතව රැඳී තිබිය හැක.

මෙහි බොහොමයක් සෞඛ්‍යමය ගැටළු ද තිබේ. අකාබනික සනීපාරක්ෂක නිෂ්පාදනවල බිස්පිනොල්-ඒ (bisphenol A) සහ බිස්පිනොල්-එස් (bisphenol S) අඩංගු වේ. ප්ලාස්ටික් සෑදීමට භාවිතා කරන ඇතැම් කාර්මික රසායනික ද්‍රව්‍ය මෙම නිෂ්පාදනවල අඩංගු වන අතර එමඟින් මානව කලලරූපී වර්ධනයට බාධාවක් විය හැකිය.

වැඩි තෙතමනයක් අවශෝෂණය කර ගැනීම සඳහා, වාණිජමය වශයෙන් ලබා ගත හැකි බොහෝ ඔසප් නිෂ්පාදනයන්හි රයොන් නම් කෘතිම තන්තු අඩංගු කර ඇත. රයොන් විරංජනය කිරීමේ ක්‍රියාවලියේදී ඩයොක්සින් – සුප්‍රසිද්ධ පිළිකා කාරකය විමෝචනයවන අතර එය අක්මා අක්‍රිය වීමට හේතු වේ.

නිෂ්පාදකයින් බොහොමයක් සනීපාරක්ෂක තුවා ‘නැවුම්’ ලෙස තබා ගැනීම සඳහා විගන්ධකකාරක එකතු කරන නමුත් මේවා හෝමෝන අක්‍රීය කිරීම සඳහා හේතුවන අතර, පිළිකාකාරක විය හැකි රසායනික ද්‍රව්‍යද ඒවාහි අඩංගුව  ඇත. 

Anshika Ravi විසින් Down to Earth වෙබ් අඩවිය වෙත ලියන ලද Stigma, lack of awareness, accessibility: What’s holding eco-friendly shift in menstrual waste disposal නම් ලිපියේ සිංහල පරිවර්තනයකි.